BREAKING
Top Ad
Life

උදුම්බරා... කඳුළු නොසලාම නික්ම ගියාය

T

The Leader

September 14, 2023 • 5:47 AM

උදුම්බරා... කඳුළු නොසලාම නික්ම ගියාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (සැප් 09දා යෙදුණු සුනිලා අබේසේකරගේ 10වැනි අනුස්මරණය නිමිත්තෙනි)
  • සුනිලා අබේසේකර නම් වූ ඒ අපූර්ව ගැහැනියගේ ඒ ලයාන්විත හඬෙහි වර්ණ සහ හැඩතල මංජුල වෙඩිවර්ධන කවියා හඳුනා ගන්නට උත්සාහ ගෙන ඇත්තේ මෙසේය.
  •   ඇගේ ඒ හඬ සහ ගායනා ශෛලියේ අපූර්වත්වය හඳුනා ගත් සහෘදයන් ඒ හඬට අසීමිත ලෙස පෙම් බැන්දාහ.
  • එහෙත් ඒ බවක් ඇය හඳුනා නොගත්තාද?
අකුරු ප්‍රමාණය (Font Size):

හෙමින් සැරේ පියාවිදා...

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ...



ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ චිත්‍රටයේ එන එම ගීතයේ දෙවැනි පද පෙළත් සමඟ සවනත මුසුවන ඒ ලයාන්විත හඬම ලාංකේය සිනමාවේ පසුබිම් ගායනයට අපූර්වතම සංවේදිතාවක් මුසු කෙළේය. ඒ හඬම ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ‘උදුම්බරා හිනැහෙනවා...’ ගීතයේ දෙවැනි කොටසෙහි වදන් පෙළ ඔස්සේ යළි ප්‍රතිරාව නැඟුණේය.

ආදරයේ... ඔබ ඔබමයි...

මා ඔබ නොව... ඔබ මා නොව...

දවසක්දා...

හඳුනාගත්තොත් ඔබ මා...

කෙතරම් අපූර්ව හඬක්ද? ඒ හඬට සමාන වූ හඬක් එදා මෙදා තුර සිංහල ගීයකින් අප සවනත වැකුණේ නැත. ඒ හඬ අප රැගෙන යන්නේ අනන්ත වූ හැඟුම් දහරාවකටය. ඒ හැඟුම් කෙසේ නම් වචනයට නඟන්නද? සුනිලා අබේසේකර නම් වූ ඒ අපූර්ව ගැහැනියගේ ඒ ලයාන්විත හඬෙහි වර්ණ සහ හැඩතල මංජුල වෙඩිවර්ධන කවියා හඳුනා ගන්නට උත්සාහ ගෙන ඇත්තේ මෙසේය.

කැවුඩියන් කරව් නඟනා, පිළිරාව ...

යුග සවන් පෙළයි, පවසන්නද කාට ...

ඔය හඩින් ගලන එතකොට අනුරාග ....

ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව...
 sunila.jpgඇගේ ඒ හඬ සහ ගායනා ශෛලියේ අපූර්වත්වය හඳුනා ගත් සහෘදයන් ඒ හඬට අසීමිත ලෙස පෙම් බැන්දාහ. එහෙත් ඒ බවක් ඇය හඳුනා නොගත්තාද? හඳුනා ගත්තාට සැකයක් නැත. එහෙත් ඇය ඒ ගායන පෞරුෂය වර්ධනය කරගන්නට නොවෙහෙසුණාය. එය වර්ධනය කරගනිමින් ගීත කෝකිලාවක වන්නට නොපැතුවාය.

ගායනය පමණක්ද? ඇය රංගනයට අත්පොත් තබන්නට වූයේ ඇගේ මල්වර වියේදීය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොළු හදවත’ චිත්‍රටයේ මේනකාගේ කටකාර නැඟණිය ලෙසද, ‘දෙලොවක් අතර’ චිත්රපටයේ දඟකාර දැරියක ලෙසද, ඇය කළ රංගනය සුවිශේෂී විය.

හෙන්රි ජයසේනගේ ‘මකරා’ නාට්‍යයේ ‘මකරා’ට බිලිවන්නට ගිය එලීසාගේ රංගනය එදා නාට්‍ය ලෝලීන්ට රසඳුනක්ම විය. ධර්මසේන පතිරාජගේ ‘පාරදිගේ’ චිත්රපටයේ ස්වර්ණාගේ යෙහෙළියක ලෙස ඇය කළ රංගනයද මතකයෙන් ඈත් නොවනසුළුය. එහෙත් මේ අසාමාන්‍ය ගැහැනියට ගීත කෝකිලාවක වන්නට වුවමනාවක් නොවූවා සේම රංගන ශිල්පිනියක වන්නට වුවමනාවක් තිබුණේද නැත.

චාල්ස් අබේසේකර නමැති නිදහස් මතධාරියාගේ, බුද්ධිමතාගේ දයාබර දියණිය වූ සුනිලා කුඩා කල සිටම ජීවිතය දෙසත් සමාජය දෙසත් වෙනස්වත් විවෘතවත් බලන්නට තරම් මනසක් අවදි කරන්නට පියාගේ ඇසුර ඉවහල් වූවාට සැකයක් නැත.

DM 20130924 A0100
සුනිලා ලාංකේය සමාජ දේහය කුණු වී සැරව ගලන සැටි දුටුවේ සිය භද්‍ර යෞවනය නොඉක්මවූ වයසේ සිටය. එවක් පටන් ඇය මේ මජර සමාජ ක්‍රමය වෙනස් කරන විකල්ප සමාජ ව්‍යාපාර සහ දේශපාලන ව්‍යාපාර සමඟ අත්වැල් බැඳගත්තාය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සම්ප්‍රාප්තියත් සමඟ සුනිලා සිය හඬ මුසු කරන්නේ ‘විමුක්ති ගී’ වෙනුවෙනි. අනතුරුව ‘කාලයේ රාවය’ ප්‍රසංගය උදෙසාද ස්වකීය හඬ මුසු කළාය.

‘විමුක්ති ගී’ ගැයීමෙන් පමණක් ජනතා විමුක්තිය උදා නොවන බව සුනිලා වටහා ගත්තේ වයසින් මුහුකුරා යෑමත් සමඟය. එතැන් පටන් ඇය ස්වකීය අවධානය යොමු කරන්නේ ස්ත්‍රීය වෙතය. මේ ධනේශ්වර ක්‍රමය තුළ ස්ත්‍රීන් කොටු කර තබන සංස්කෘතික බැඳීම් පිළිබඳ මෙන්ම ස්ත්‍රීය හුදෙක් වෙළෙඳ භාණ්ඩයක් ලෙස යොදා ගැනීම වෙනුවට ඇය සමාජ සංවර්ධන කාර්යයෙහි ලා, අර්ථවත් ලෙස යොදා ගැනීම පිළිබඳව කල්පනා කළාය. ලොව පුරා ස්ත්‍රී විමුක්ති සංවිධාන සමඟ අත්වැල් බැඳ ගන්නා ඇය ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැප කළාය.

ලාංකේය සමාජය තුළ හුදෙක් කුටුම්බයට කොටු කළ ස්ත්‍රීයට ඔවුන්ගේ ශක්තීන් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නටත් ඔවුන් සමාජ ක්‍රියාකාරිනියන් ලෙස ඔසවා තබන්නටත් ඇය කළ කැපවීම අසීමාන්තිකය. ලාංකේය සමාජ දේහය තුළ වර්ගවාදී උවදුර පැතිර යෑමත් සමඟ සුනිලා තම සමාජ භාවිතයේ ධාරිතාව තවත් පුළුල් කරමින් වර්ගවාදයට එරෙහිව යමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද ජීවිතය කැප කරන්නට වූවාය. ස්ත්‍රී අයිතීන් සහ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇය කළ අසීමිත කැපවීම වෙනුවෙන් ඇය අන්තර්ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

Sunila UPR Nov 2012

යථෝක්ත සමාජ මෙහෙවර හමුවේ සුනිලා අබේසේකර සතු වූ අපූර්ව හඬද රංගන හැකියාවද යටපත් වූයේය. එහෙත් සුනිලා ඒ පිළිබඳ තැකීමක් නොකළාය. ඇගේ සමස්ත සමාජ භාවිතයට අසම්මතයකි. ලිංගික නිදහස සහ කුටුම්භ්ගත ස්ත්‍රීන් පිළිබඳ කතිකාව තුළ ඇය ස්වකීය භාවිතාවෙන්ම සිය අනන්‍යතාව සනිටුහන් කළාය. සම්මත විවාහය වෙනුවට ස්ත්‍රියක ලෙස අනන්‍යතාවද රැකගනිමින් සමාජ ක්‍රියාකාරිනියකට මවකගේ භූමිකාවද නොඅඩුව ඉටු කළ හැකි බව සිය භාවිතයෙන්ම සනාථ කළාය.

රතු කුර්තාවක් හැඳ, ඊටම ගැළපෙන මල් වැටුණු ලුංගියක්ද හැඳ සුනිලා අබේසේකර නම් වූ ඒ සුන්දර ගැහැනිය මීට වසර 10කට පෙර අපෙන් සමුගත්තේද සම්මතයට පයින් ගසමිනි. ඇයගේ අත් පාවල සුදු මේස් නොතිබිණි. පෙට්ටිය මත බහා සිටියේ ජීවමාන සුනිලාමය. ඇගේ සිරුරේ පැහැය මඳකුදු වෙනස් වී නොතිබිණි. ගිටාර් වැයුමත් සමඟ ගැයුණු ගීතිකා මැද ඇගේ අවසන් සමුගැනීම ඇයට ආදරය කළ සියල්ලන්ටම ඉකි ගැසුණු අතිශය හැඟුම්බර මොහොතක් විය.

එහෙත්, උදුම්බරා...

කඳුළු නොසලාම නික්ම ගියාය.

සිනමා විචාරක ගුණසිරි සිල්වා


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...