BREAKING
Top Ad
Life

ගැබිණි සමයේ හා ප්‍රසූතියෙන් පසු කාන්තා මනැස ගැන නොතැකීමේ ඛේදවාචකය - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

T

The Leader

February 13, 2024 • 3:52 AM

ගැබිණි සමයේ හා ප්‍රසූතියෙන් පසු කාන්තා මනැස ගැන නොතැකීමේ ඛේදවාචකය - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින දහයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීමට නොහැකි වීම මුල් කොට සිත් තැවුලට පත් මවක සිය නිවෙස අසල ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමේ ශෝචනීය සිද්ධියක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ඉකූත් 10 වන දා වාර්තා විය.
  • අනතුරුව ඇය දින 11 ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා පසුගියදා නිවෙසට පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
  • පසුව තම කිරි නොමැතිව දරුවා හඬන අයුරු අසා සිටීමට නොහැකි බව පැවසූ ඇය ළිඳට පැන දිවි නසාගෙන ඇති බවට විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී තිබේ.
  •   ඉහත සඳහන් ඛේදනීය සිදුවීම වෙත හුදු ඉලක්ක ගත ප්‍රකාශයක් නොවූවද කිසියම් කාන්තාවක දරු ප්‍රසූතියකින් කෙටි කාලයක් තුළ දිවි නසා ගැනීම සම්බන්ධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළ යුතුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කාන්තාව පසුගියදා මුලතිව් රෝහලේ දී සිය කුළුඳුල් දරුවා බිහිකර ඇත. අනතුරුව ඇය දින 11 ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා පසුගියදා නිවෙසට පැමිණ ඇති බව ප්‍රදේශවාසීහු පවසති. පසුව තම කිරි නොමැතිව දරුවා හඬන අයුරු අසා සිටීමට නොහැකි බව පැවසූ ඇය ළිඳට පැන දිවි නසාගෙන ඇති බවට විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී තිබේ.

 

ඉහත සඳහන් ඛේදනීය සිදුවීම වෙත හුදු ඉලක්ක ගත ප්‍රකාශයක් නොවූවද කිසියම් කාන්තාවක දරු ප්‍රසූතියකින් කෙටි කාලයක් තුළ දිවි නසා ගැනීම සම්බන්ධ මනෝ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළ යුතුව තිබේ. ඊට හේතුව එම ජීවිත හානි බොහොමයක් පශ්චාත් ප්‍රසව විශාදය නම් රෝග තත්වය මුල් විය හැකි බැවිනි. එහි වඩාත් ඛේදනීය තත්වය වනුයේ එසේ ජීවිත හානිවලට හේතු වන එම රෝගී තත්වය සම්බන්ධයෙන් එම කාන්තාව ගේ පවුලේ සාමාජිකයන් තුළ පවත්නා පූර්ව දැනුවත්කම මුල් කොට ඇය වෛද්‍ය අංශ වලට යොමු කොට එම ජීවිත බේරා ගැනීමට පහසු හැකියාවක් පැවතීමත් බොහොමයක් දෙනා එය නොතකා හැරීමත් ය.

 
කාන්තාවක ගේ කුසේ දරුවකු පිළිසිඳ ගැනීම ඇරඹීමෙන් පසු සිදුවන කායික ව්‍යුහයේ වෙනස්කම් බොහෝ දෙනකුට රහසක් නොවේ. එහෙත්, ඒ සමඟම එම කතුන් තුළ හට ගන්නා මානසික වෙනස්කම් පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනකු තුළ ප්‍රමාණවත් දැනීමක් නොමැති බව අපට ද නොයෙක් වර නිරීක්ෂණය වී තිබේ. ඊට හේතුව එදා මෙදා තුර අප රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ කායික සෞඛ්‍යය කෙරෙහි ඇති අවධානය මානසික සෞඛ්‍යය කෙරෙහි යොමු නොවීම ය. ඒ අනුව කාන්තාවක ගැබ් ගැනීමෙන් පසු ඇය හා ඇගේ පවුල සමඟ සහසම්බන්ධතා ගොඩනඟා ගන්නා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල තුළ ගැබිණි කාන්තාවකගේ මානසික සෞඛ්‍ය සංරක්ෂණය සම්බන්ධයෙන් පවත්නා දැනුම තව දුරටත් තහවුරු කළ යුතු බව අපගේ වැටහීම ය.

 

 

කාන්තාවක ගැබ් ගැනීමෙන් පසු ඇය තුළ ඇති වන ආහාර රුචිය සම්බන්ධ විෂමතා පිළිබඳව බොහෝ දෙනෙක් දනිති. “දොළ දුක” ලෙස ජන වහරේ එන විවිධ කෑම වර්ග අනුභවයට සේම විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන විශේෂ රුචිය සම්බන්ධයෙන් යම් දැනුවත් කමක් සමාජය තුළ පවතී. එහෙත්, ගැබිණි සමය තුළ බොහෝ කතුන් තුළ ඇති වන මානසික ව්‍යාකූලතා සම්බන්ධ නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනකු තුළ නැත. එම සමය තුළ අහේතුක කණස්සලු සහගත බවක් ඇතිවීම,සැමියා ඇතුළු පවුලේ ඥාතීන් තමන්ට පෙර මෙන් ආදරයක් හා තමන් පිළිබඳ උනන්දුවක් නොමැති බව සිතීම, නොරිස්සුම් සහගත බව,තම සමීපතමයන් කෙරෙහි අහේතුක නොමනාපකම් ගොඩනඟා ගැනීම, ඇතැම් විට සාමාන්‍ය තත්වයට වඩා හැඟීම්, ආවේග බහුල බවක් පළ කිරීම වැනි තත්වයන් ගැබිණි බවත් සමඟ ඇති වන මොළයේ ජෛව රසායනික විෂමතා මත පදනම් වන්නකි.

 

එහෙත්,දොළ දුක ගැබිණියක සතු ස්වභාවික තත්ත්වයක් සේ සළකන අප සමාජයේ බොහොමයක් ඉහත සඳහන් චින්තන, කථන සහ චර්යාත්මක විෂමතා සළකනුයේ ඇගේ බොළඳ හැසිරීම් හා නරක ගති ලෙසිනි. මෙම තත්වය ඇතැම් විට දරු ප්‍රසූතියෙන් පසු තවත් ඉහළ නැංවිය හැකි අතර

දරු ප්‍රසූතියෙන් දින දෙකේ සිට සති දෙකක් දක්වා විශේෂයෙන් ඉස්මතු වන මෙම තත්වයන් හැඳින්වෙනුයේ ළදරු නීල (Baby blues ) වශයෙනි. එහිදී අහේතුකව සුසුම් හෙළමින් කණස්සළු ස්වභාවයක් පළ කිරීම, එදිනෙදා කටයුතු අඩාල කර ගැනීම, ජීවිතය සම්බන්ධ කලකිරීම් සහගත බව, නින්ද අහිමිවීම ආදී වශයෙන් වන ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ.

 

DisplayFileFormFileName

 

එහෙත්, දරු ප්‍රසූතියෙන් සති දෙක තුනකට පසු එම කාන්තාවගේ එම මානසික මට්ටම සාමාන්‍ය අතට මුත් ඇතැම් කතුන් තුළ එම තත්වය ඒ ආකාරයෙන්ම හෝ තරමක් වැඩි වශයෙන් දක්නට ලැබේ. එවිට එය මනෝ වෛද්‍යමය වශයෙන් සායනික රෝග තත්වයක් වන පශ්චාත් ප්‍රසව විශාදය (Postpartum depression) ලෙස හඳුනා ගන්නට මනෝ වෛද්‍යවරුනට පිළිවන.


මෙහිදී මෙම ලක්ෂණ තව දුරටත් ප්‍රවර්ධනය වීමේ දී එම කතුනට මව්කිරි එරීම පවා අඩාල වන අතර එය මුල් කොට ඔව්හු බලවත් චිත්ත සන්තාපයට පත් වෙති. තමන්ට එරෙන කිරි ප්‍රමාණය දරුවාට ප්‍රමාණවත් නොවේය යනුවෙන් ද ඇතැම් මව්වරු සිතති එමෙන්ම එසේ වීම මත තමනට දරුවා හදා වඩා ගැනීමට නොහැකි වේය යන අහේතුක බියට පත් වන ඔවුනට තම මාතෘත්වය සේම ජීවිතය ද එපා වන ලෙසක් දැනෙන්නට පුළුවන. එමෙන්ම මෙවන් ඇතැම් මවුන් තුළ දරුවා ප්‍රමාණවත් ලෙස කිරි නොඋරණ බව, දරුවා නිතර මහ හඬින් හඬන බව සේම දරුවා තුළ කිසියම් අමනුෂ්‍ය බලපෑමක් එල්ල වන බව ආදී ප්‍රකෘතියෙන් බැහැර සිතුවිලි ඇති වීමට පුළුවන. මේ අතර තවත් සමහරු දරුවා ගේ සිරුර සෙවල ස්වභාවයකින් යුතු බව දරුවාගේ සිරුරේ රෝම බව ආදී ප්‍රකෘතියෙන් ඉදුරාම බැහැර මෝහමය අදහස් වලට නතු වෙති. මෙම තත්වය තව දුරටත් උග්‍රවීම මත එවන් මව්වරුන් දරුවා සහ තමන් පිළිබඳව ඇති කර ගන්නා එවන් විකෘති අදහස් මුල්කොට දරුවාට විපතක් කිරීමට හෝ තමන්ට විපතක් කර ගැනීමට යොමු වන අවස්ථා ද සරල නොවේ.

 

0f2bf 645x400 1561581985189

  

එනිසා තම බිරිඳ, දියණිය, ලේලිය, හෝ නෑණන්ඩිය ගැබ් ගත් සමයේ සිට දරු ප්‍රසූතියෙන් මාස කිහිපයක් යන තෙක් ඇගේ සිතුම් පැතුම් කතා බහ සහ හැසිරීම් සම්බන්ධ සියුම් විමසුමකින් පසුවීමත් එවන් කතු සම්බන්ධ මානසික ව්‍යාකූලතා මුල් කොට වෛද්‍ය අංශ වෙත යොමු කිරීමත් පවුලේ සැමගේ වගකීම ය.

 

pregnatlady w Dr 768x512

 

මේ අතර අප ජන සමාජයේ පවත්නා තවත් පොදු දුර්වලතාවයක් වනුයේ නොවැදගත් ඇතැම් දේ වැදගත් කොට තැකීමත් වැදගත් ඇතැම් දේ නොවැදගත් කොට තැකීමත් ය. රාජ්‍ය ප්‍රතිපත්ති තුළ පවා ඇතුලත් මෙම බරපතල අඩුපාඩුව නිසා සිදුවන ඛේදවාචක අපට වඩා යථාර්ථවාදී ලෙස සිතීමට පෙළඹී ඇති දියුණු ජන සමාජ තුළ දක්නට නැත. ඒ අනුව ගැබිණි සමයේ සිට ප්‍රසූතියෙන් පසු සමය තෙක් කාන්තා මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමේ ජාතික අවශ්‍යතාව දැඩිව හුවා දක්වනු කැමැත්තෙමි.

සටහන : රේණුකා දමයන්ති

Screenshot 2024 02 13 at 7.04.51 PM

 

 

 

 

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

 උපුටා ගැනීම : vinivida.lk 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...