BREAKING
Top Ad
Life

ඔබේ සුළු අමතක වීම් ඔබට සියල්ල අහිමි කරන රෝගයක ආරම්භය විය හැකි බව ඔබ දන්නවා ද?

T

The Leader

November 4, 2024 • 9:46 AM

ඔබේ සුළු අමතක වීම් ඔබට සියල්ල අහිමි කරන රෝගයක ආරම්භය විය හැකි බව ඔබ දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සරත් (සැබෑ නම නොවේ) යනු මාගේ පවුලේ සමීප ඥාතියෙකි. ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලූ උසස් පෙළ ගණිත අංශයේ දක්ෂ ගුරුවරයෙකු විය.
  • තියුණු මතකයක් ඇති ගුරුවරයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව ද, 2018 වසර දක්වා ම උපකාරක පන්ති ද කළේ ය.
  • 2018 වසරේදී රැකියාවක් සඳහා මම රටින් පිටව ගිය අතර, ඔහු දුරකතනයෙන් මා සමග විටින් විට කතා කළේ ය.
  • එහෙත්, 2019 වසරේ මාස කිහිපයක් ගත වෙද්දී ඔහු මා ඇමතුවේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන් ම සංයුක්ත ගණිතය ඉගැන්වූ ඔහු වසර 40කට අධික කාලයක් ඉගැන්වීමෙහි නිරත වූ අතර ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ වන විට උසස් රැකියාවල නිරත වෙති.

තියුණු මතකයක් ඇති ගුරුවරයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව ද, 2018 වසර දක්වා ම උපකාරක පන්ති ද කළේ ය.

2018 වසරේදී රැකියාවක් සඳහා මම රටින් පිටව ගිය අතර, ඔහු දුරකතනයෙන් මා සමග විටින් විට කතා කළේ ය.

එහෙත්, 2019 වසරේ මාස කිහිපයක් ගත වෙද්දී ඔහු මා ඇමතුවේ නැත.

ඔහුගේ ඇමතුම් නතර වූ හෙයින් මම ඔහුගේ දියණියගෙන් ඒ පිළිබඳව විමසූ විට ඇය පැවසුවේ, “තාත්තා දැන් ටිකක් අමුතු යි. සමහර දේවල් මතක නෑ” යනුවෙනි.

පසුව, නිවාඩුවක් ලබා මා යළි ශ්‍රී ලංකාවට පැමිණ ඔහු හමුවීමට ගිය විට “ඔයාගේ නම මොකක් ද?” යනුවෙන් මගෙන් විමසූ විට මා සිතුවේ ඔහු බොරු අමතක වීමක් කරනු ඇතැයි කියා ය.

එහෙත්, ඒ වන විට ඔහුට සිය දියණියන්ගේ පවා නම් අමතක වී තිබිණි.

මා විදෙස්ගත රැකියාවෙන් ඉවත්ව 2020 වසරේදී යළි ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහුගේ මතකය මදින් මද අඩු වෙමින් පැවතිණි.

පසුව, දත් මැදීම, සෝදා ගැනීම ආදී කටයුතු පවා ඔහු නොකරන බව පෙනී ගිය හෙයින් එම කටයුතු ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් කරන ලදී.

විශේෂඥ වෛද්‍යවරයෙකු පැවසුවේ, ඇල්සයිමර් තත්ත්වයේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයකින් ඔහු පෙළන බව ය.

ඒ සඳහා ප්‍රතිකාර නොමැති බවත්, හොඳින් රැක බලා ගන්නා ලෙසත් වෛද්‍යවරයා උපදෙස් දී තිබිණි.

මීට වසර කිහිපයකට පෙර අතිශය ක්‍රියාකාරීව සිටි ඔහු මේ වන විට ඇඳක් මත වැතිරී බලාගත් අත බලාගෙන සිටී. වරෙක නිදා ගනී. වරෙක හිස් බැල්මකින් සීලිම මත බලා සිටී.

මා ඉහත විස්තරය ලියා තැබුවේ, ඩිමෙන්ෂියා රෝගය නිසා හදිසියේ සිදුවන ශාරීරික සහ මානසික පරිවර්තනය පැහැදිලි කිරීම සඳහා ය.

සුළු අමතක වීම් ඩිමෙන්ෂියා රෝගයේ මුල් කාලීන ලක්ෂණයකි

ඩිමෙන්ෂියා රෝගය යනු කුමක් ද?

ඩිමෙන්ෂියා යනු විවිධ හේතු නිසා මොළයේ සෛල විනාශ වීමෙන් ඇති වන රෝගී තත්ත්වයක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

“ඩිමෙන්ෂියා කියන්නේ මතකය, කල්පනාව, බුද්ධිය අඩු වෙලා තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යන රෝග තත්ත්වයන් ගණනාවකට කියන පොදු නම. ඩිමෙන්ෂියා වර්ග ගණනාවක් තියෙනවා. ඒකෙන් ලෝකයේ බහුලව ම තියෙන්නෙ ඇල්සයිමර් කියන තත්ත්වය. ඊට පස්සේ වැස්ක්‍යුලර් ඩිමෙන්ෂියා හෙවත් රුධිර නාල අඩපණ වීමෙන් ඇති වන රෝග තත්ත්වයක් දෙවෙනියට තියෙනවා. ඒ වගේ විවිධ හේතු නිසා මොළයේ සෛලවලට සිදුවෙන හානිවලින් තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ.”

“මොන විදිහට හැදුණත්, මතකය සහ ක්‍රියාකාරීත්වය නැති වෙලා කවල, පොවල බලාගන්න වෙන තත්ත්වයට ඇවිත් ජීවිතය නැති වීම දක්වා වර්ධනය වන රෝගයක් ඩිමෙන්ෂියා කියන්නේ.”

ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වන්නේ කවුද?

ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ පවසන පරිදි ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත්තේ, වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් ය.

ඊට අමතරව, හුදෙකලාව ප්‍රිය කරන, විනෝදය කෙරෙහි අවධානයක් යොමු නොකරන, වයස්ගත වූ විට හුදෙකලා වන පුද්ගලයින් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතී.

ඉහත සඳහන් කළ සරත් ද විනෝදය ගැන අවධානය යොමු නොකළ, බොහෝවිට හුදෙකලා ජීවිතයකට ප්‍රිය කළ අයෙකි.

ඊට අමතරව, ඒකාකාරී ජීවන රටාවන්ට පුරුදු වී සිටින, රැකියාවේ පීඩනයන්ගෙන් පෙළෙන, ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවන පුද්ගලයින් ද මෙම අවදානමට ලක්විය හැකි බව ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ සඳහන් කළේ ය.

ඩිමෙන්ෂියා රෝගයට බලපාන සාධක මොනවා ද?

ඩිමෙන්ෂියා රෝගය සඳහා පහත සඳහන් සාධක බලපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වයස (අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයින්ට වැළඳීමේ ඉඩකඩ වැඩි ය)

* අධිරුධිර පීඩනය
* දියවැඩියාව
* ස්ථූලභාවය සහ අධිබර
* දුම්පානය
* අධික ලෙස ඇල්කොහොල් පානය කිරීම
* ශාරීරික ක්‍රියාකාරකම්වල නොයෙදීම
* හුදෙකලා වීම
* මානසික ආතතිය

ඩිමෙන්ෂියා යනු මොළයේ සෛල විනාශ වීමෙන් ඇති වන සුව කළ නොහැකි රෝගී තත්ත්වයකි


ප්‍රතිකාරයක් නැද්ද?

ඩිමෙන්ෂියා රෝගය වර්ධනය වූ පසු ඊට ප්‍රතිකාර කිරීමෙන් එය සුව කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කළ හැකි එක ම දෙය වන්නේ, මුල් කාලීනව රෝග ලක්ෂණ වටහාගෙන ප්‍රතිකාර ගැනීම ය.

“දැන් සොයාගෙන තියෙනවා මුල් අවධියේදී මේ තත්ත්වය තේරුම් අරන් වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත් යම් ආකාරයකට පාලනය කර ගන්න පුළුවන් කියලා,” ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ ද තහවුරු කළේ ය.

ඒ අනුව, මුල් කාලීනව එම රෝගී තත්ත්වයේ ලක්ෂණ හඳුනාගැනීම මෙහිදී අතිශයින් වැදගත් වේ.

ඩිමෙන්ෂියා හඳුනාගැනීමේ මුල් කාලීන ලක්ෂණ මොනවා ද?

* ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ඩිමෙන්ෂියා බවට සැක කළ හැකි රෝග ලක්ෂණ රැසක් පවතින බව ය.
ඒවා මෙසේ ය.

* මෑත සිදුවීම් සහ සිද්ධි අමතක වීම

* ඇතැම් දේ තැබූ තැන් අමතක වීම

* ඇවිදිමින් හෝ රිය පදවමින් සිටියදී මාර්ගය අමතක වීම

* හුරුපුරුදු ස්ථානවලදී පවා ව්‍යාකූලත්වයට පත්වීම

* වේලාව පිළිබඳව අවබෝධයක් නැති වීම

* ගැටලු විසඳීම සහ තීරණ ගැනීම අසීරු වීම

* කතා කිරීමේදී සංවාදය පවත්වාගෙන යාම අසීරු වීම සහ වචන අමතක වීම

* හුරුපුරුදු කාර්යයන් කිරීම දුෂ්කර වීම

* වස්තූන් පිහිටි දුර පිළිබඳ අවබෝධයක් නොමැති වීම

* එම රෝග ලක්ෂණවලට අමතරව, හැසිරීමෙහිදී පහත දැක්වෙන ව්‍යාකූලතා ද ඇති විය හැකි ය.

* මතකය නැති වීම ගැන කණස්සල්ලට පත්වීම, දුක්වීම, කෝපයට පත්වීම

* පෞරුෂත්ව වෙනස්කම්

* නුසුදුසු හැසිරීම්

* වැඩ කිරීමෙන් සහ සමාජ ආශ්‍රයෙන් ඉවත්වීම

* අන් අයගේ හැඟීම් පිළිබඳව අඩු උනන්දුවක් දැක්වීම


ඩිමෙන්ෂියා රෝගයට ඔබ නැඹුරු වී ඇතැයි තහවුරු වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද?

ඩිමෙන්ෂියා රෝගයෙන් මිදීමට සහ එය වැළඳුණු පුද්ගලයින්ට රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා කළ හැකි ස්වයං ක්‍රමවේදයක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

* ශාරීරික වශයෙන් ක්‍රියාකාරීව සිටින්න.

* සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කරන්න.

* දුම් පානය සහ ඇල්කොහොල් පානය නතර කරන්න.

* නිසි වේලාවට වෛද්‍යවරයා හමුවන්න.

* වැදගත් දේ මතක තබා ගැනීම සඳහා දෛනික කාර්යයන් ලියා තබා ගන්න.

* ඔබේ විනෝදාංශවල නිරත වන්න, ඔබට සතුටක් ගෙන කාර්යයන්හි නිරත වන්න.

* ඔබේ මනස ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා නව ක්‍රම උත්සහ කරන්න.

* මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කරන්න, සමාජය සමග සම්බන්ධතා පවත්වන්න.

ඊට අමතරව, ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඕනෑ ම ගැටලුවක් සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය 0113-140844 යනුවෙන් විශේෂිත දුරකතන අංකය ඇමතිය හැකි බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෙබ් අඩවියේ දැක්වේ.

කෙසේ වෙතත්, එම දුරකතන අංකය භාවිතයේ පවතී ද යන්න විමසූ අවස්ථාවේ, රෝහලේ පරිපාලන කාර්යාලයේ නිලධාරිනියක පැවසුවේ, එය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ය.

ඒ හේතුවෙන්, මානසික සෞඛ්‍ය ගැටලු සඳහා භාවිත වන පොදු ක්ෂණික දුරකතන අංකය වන 1926 අමතා උපදෙස් ලබා ගත හැකි බව එම නිලධාරිනිය පැවසීය.

ඩිමෙන්ෂියා රෝගය පිළිබඳව ඔබ අවධානය කළ යුත්තේ ඇයි?

* වර්තමානය වන විට ලොව පුරා ඩිමෙන්ෂියා රෝගීන් මිලියන 55කට අධික පිරිසක් සිටිති. ඉන් 60%කට අධික ප්‍රතිශතයක් වාර්තා වන්නේ, පහළ සහ මධ්‍යම ආදායම් ලබන රටවලිනි. සෑම වසරක ම මිලියන 10කට අධික නව රෝගීන් වාර්තා වේ.

* ඩිමෙන්ෂියා රෝගය ඇති වන්නේ විවිධ රෝග සහ අනතුරු නිසා මොළයට හානි සිදුවීමෙනි. ලෝකයේ වඩාත් පොදු ඩිමෙන්ෂියා තත්ත්වය ඇල්සයිමර් රෝගී තත්ත්වය වන අතර, ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 60-70%ක් එම තත්ත්වයේ පවතී.

* ඩිමෙන්ෂියා රෝගය දැනට ලෝකයේ මරණ සිදුවීමට බලපාන 7 වන ප්‍රධානතම හේතුව වන අතර ගෝලීය වශයෙන් වැඩිහිටි පුද්ගලයින් අතර ආබාධිතභාවය සහ යැපීම් තත්ත්වයට පත්වීමට බලපාන ප්‍රධාන හේතුවකි.

* 2019 වසරේදී ගණන් බැලූ පරිදි එම වසරේදී ඩිමෙන්ෂියා රෝගය නිසා ලොව පුරා ආර්ථිකයන්ට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක අලාභයක් සිදුව තිබිණි.

* ඩිමෙන්ෂියා රෝගය හේතුවෙන් සෘජුව සහ වක්‍රව කාන්තාවෝ පිරිමින්ට වඩා පීඩාවට පත්වෙති. ඒ, ඩිමෙන්ෂියාවට ගොදුරු වීමෙන් සහ ඩිමෙන්ෂියා රෝගීන් රැකබලා ගැනීමෙනි.


(කුමුදු ජයවර්ධන)
බීබීසී සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...