BREAKING
Top Ad
Life

ප්‍රදේශ රැසක උණුසුම ඉහළ යාමට බලපා ඇති හේතු මොනවා ද?

T

The Leader

February 22, 2025 • 2:42 AM

ප්‍රදේශ රැසක උණුසුම ඉහළ යාමට බලපා ඇති හේතු මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවති අධික වැසි සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව උණුසුම අධික කාලගුණයක් මේ දිනවල පවතී.
  • උතුරු, උතුරු මැද, බස්නාහිර, වයඹ, දකුණු පළාත් සහ රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.
  • ඒක වායුගෝලයේ උෂ්ණත්වයට වඩා වැඩියි." පොලොවට ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය, සුළගේ වේගය, වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැනි සාධක හරහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය මනින බව ඔහු පෙන්වා දුන්නේය.
  • ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් අනුව උණුසුම් දර්ශකය නිර්මාණය වී ඇති අතර මෙය මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කරන ලද නවතම අනාවැකිවලට අනුව පළාත් හා දිස්ත්‍රික්ක කිහිපයක මේ දිනවල අධික අවධානයක් යොමු කළ යුතු කාලගුණ තත්ත්වයක් පවතී.

අවධානය යොමු කළ යුතු ප්‍රදේශ මොනවාද?

උතුරු, උතුරු මැද, බස්නාහිර, වයඹ, දකුණු පළාත් සහ රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.

bathingඅධික උණුසුම නිසා දහවල් කාලයට බොහෝ දෙනා ජල ස්නානයට යොමු වී තිබේ

'මිනිස් සිරුරට දැනෙන උණුසුම අධිකයි'

මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමට බීබීසි සිංහල කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සම්බන්ධ කරගනු ලැබීය.

"ඔය තියෙන්නේ අපි මනින ටේම්පරේචර් එක නෙමෙයි. ඕක ඇවිල්ලා අපි ඉන්ඩෙක්ස් එකක් පාවිච්චි කරලා කැල්කියුලේට් කරන අගයක් නේ. ඕක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය කියලා කියන්නේ. ඒක වායුගෝලයේ උෂ්ණත්වයට වඩා වැඩියි."

පොලොවට ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය, සුළගේ වේගය, වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැනි සාධක හරහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය මනින බව ඔහු පෙන්වා දුන්නේය.

ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් අනුව උණුසුම් දර්ශකය නිර්මාණය වී ඇති අතර මෙය මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වේ.

එම දර්ශකයට අනුව සෙල්සියස් අංශක 27- 38 අතර සමාන්‍ය උෂ්ණත්වය වන අතර 39-45 අතර උෂ්ණත්වය අවධානය යොමු කළ මට්ටමේ පවතී.

එමෙන්ම සෙල්සියස් අංශක 46-52 අතර උෂ්ණත්වය වැඩි අවධානම් සහිත වන අතර 52 ට ඉහළ අගය අනතුරුදායක තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි.

උණුසුම වැඩි වෙන්න බලපාන හේතු මොනවාද?

ඉහත නම් කරන ලද පළාත් සහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙම දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ට වැඩි අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනාවැකි පළ කරයි.

"වැස්ස අඩු නිසා දිවා කාලයේ වළාකුළු අඩුයි අහසේ ඒ නිසා සුර්ය විකිරණ හොඳින් ලැබෙනවා එතකොට වායුගෝලය ගොඩක් උණුසුම් වෙනවා ඒක එක හේතුවක්. සුළං වේගයත් තරමක අඩු අගයක් තියෙන්නේ ඒකත් බලපානවා. මේ දවස්වල වායුගෝලයේ පහළ මට්ටමේ සාපේක්ෂ ආර්ද්‍රතාව ටිකක් වැඩියි ඒකත් සමාන්‍යයෙන් බලපානවා." යැයි අධික උණුසුමට හේතු පැහැදිලි කරමින් අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.


අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ඇතිවන අප්‍රේල් මාසය වන විට උෂ්ණත්වය වැඩි අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ද ඔහු පැවසුවේය.

deptකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනය

උදේට සීතලයි, දවල්ට රස්නෙයි

උණුසුම ඇතිවන ආකාරය ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැහැදිලි කළේය.

"අපිට ලැබෙන සූර්යාලෝකය ලැබෙන්නේ කෙටි තරංග ආයාමවලින්. ඒවා ගොඩක් පොලොව උරාගන්නවා. සමාන්‍යයෙන් ජලය, සාගරය වගේ ඒවා විශාල ප්‍රමාණයක් උරාගන්නවා. ඊට පස්සේ එයා උරාගෙන රත් උනාම තාපය විදියට ඒවා නිකුත් කරනවා ආපහු. ඒවා යන්නේ දිග තරංග ආයාම විදිහට. ඒවාට අපි කියනවා තාප විකිරණ කියලා. ඒකෙන් තමයි වායුගෝලය රත්වෙන්නේ."

දිවා කාලයේ අධික උණුසුමක් පැවතිය ද උදෑසන පවතින සීතල කාලගුණ තත්ත්වය පිළිබඳ බීබීසි සිංහල, අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්ගෙන් විමසීමක් කළේය.

"දවල් කාලයේ හොඳට හිරු රශ්මිය එනවානේ එනකොට පොලොව රත්වෙනවානේ, ඊට පස්සේ රත් වෙච්ච පොලොවෙන් තාප විකිරණ විමෝචනය වෙනවා. රාත්‍රී කාලයේ වෙන්නේ විකිරණ ලැබෙන්නේ නැහැ එතකොට පොලොවෙන් තාප විකිරණය විමෝචනය කරලා උදේ වෙනකොට මේක අඩු වෙලා යනවා. එතකොට උදේ පාන්දර වගේ වෙනකොට පොලොව සිසිල් වෙනවා ඒකෙන් තමයි උදේ පාන්දර සිසිල් ගතියක් දැනෙන්නේ."


උණුසුම අඩු වෙන්න කොච්චර කාලයක් යනවා ද?

පවතින උණුසුම් සහිත කාලගුණය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මෙරිල් මෙන්ඩිස් පැවසීය.

කෙසේ වෙතත් පෙබරවාරි 24 පමණ වන විට යම් වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බැවින් එවිට පවතින තත්ත්වය යම් තරමකට සමනය වනු ඇති බව ද ඔහු පැවසුවේය.

එහෙත් මාර්තු අවසන් සතියේ සහ අප්‍රේල් මස මුල් සතියේ මෙරටට වැඩි උණුසුමක් දැනෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනාවැකි පළ කරයි.

"සුර්යයා සමකයට මුදුන් වෙනවා මාර්තු 21 වගේ වෙනකොට. ශ්‍රී ලංකාවට මුදුන් වෙනවා අප්‍රියෙල් 05 වගේ වෙනකොට. එතකොට අපේ ඒරියා එකට හොඳට හිරු එළිය ලැබෙනවා. හොඳට රත් වෙනවා, වායුගෝලය ගොඩක් උණුසුම් මෝසම් සුළං වර්ධනය වෙනකම්, මැයි මාසේ අග වගේනේ නිරිත දිග මෝසම එන්නේ. එතකම් මේ තත්ත්වය අඩු වැඩි වෙමින් යනවා." යැයි මෙරිල් මෙන්ඩිස් පැවසීය.


පවතින උණුසුම් සහිත කාලගුණය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ බලධාරීන් පවසයි.

hotපවතින උණුසුම් සහිත කාලගුණය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ බලධාරීන් පවසයි
උණුසුමට මුහුණ දෙන්න උපදෙස් පිලිපදින්න

පවතින උණුසුම් අධික අවධානම් තත්ත්වය හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය ගැන ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනයාට උපදෙස් නිකුත් කර තිබේ.

* වැඩ බිම් තුළ - ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.

* නිවස තුළ - වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන්න.

* වාහන තුළ - කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන්න.

* එළිමහනේ - අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න, සෙවණ ඇති ස්ථානවල රැදෙන්න, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

* ඇඳුම් - සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ පෙර සුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මගින් මේ පිළිබඳව නිකුත් කෙරෙන නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස මෙන්ම 011- 7446491 දුරකතන අංකය ඔස්සේ වැඩි විස්තර ලබා ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.


| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...