BREAKING
Top Ad
Life

ක්‍රමයෙන් අඩුවන විවාහ: 'මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි'

T

The Leader

March 4, 2025 • 11:56 PM

ක්‍රමයෙන් අඩුවන විවාහ: 'මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේද සාහිත්‍යට අනුව පුද්ගල ජීවිතයේ පරමාර්ථ 04කි. එනම් ධර්ම සම්පත්තිය, අර්ථ සම්පත්තිය, කාම සම්පත්තිය සහ මෝක්ෂ සම්පත්තිය යි.
  • නමුත් මෑත වසරවල සිට මෙරට තුළ විවාහයන් අවම වෙමින් පවතින බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්ෂික විවාහ ලියාපදිංචි කිරීම්වල‍ට අදාළ දත්ත නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වේ.
  • ගෙවුණු 23 වසර තුළ විවාහයන් සිදුව ඇති ආකාරය   ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබ ඇති දත්තවලට අනුව මෙරට විවාහ වීමේ ප්‍රවණතාවයන්හි අඩුව ගතවූ වසර 05ක කාලය තුළදී වාර්තා වී තිබේ.
  • විශේෂයෙන් 2018 වසරේ සිට මෙරට තුළ විවාහයන් ලියාපදිංචි වීමේ ප්‍රවණතාවයේ යම් අඩුවක් පෙන්නුම් කිරීම දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මනුෂ්‍යයෙකුගේ ජීවිතය සාර්ථකත්වයට පත්වන්නේ විවාහයෙන් යැයි සමාජයීය වශයෙන් පිළිගත් කරුණක් සහ විශ්වාසයක් පවතී. එමෙන් ම 'විවාහ වීම' පවුල යන සංකල්පය සහ 'සමාජ සම්මුතීන්' පවත්වා ගැනීමට උපකාරී වේ.

මනුෂ්‍යයෙකුගේ ජීවිතය සාර්ථකත්වයට පත්වන්නේ විවාහයෙන් යැයි සමාජයීය වශයෙන් පිළිගත් ශ්‍රී ලංකාව වැනි රටවල 'විවාහයට' සංස්කෘතිකමය වශයෙන් පවුල් සංස්ථාව පවත්වා ගෙන යාමට ඉතා වැඩි බරක් ඉසිලීමට සිදුව තිබේ.

නමුත් මෑත වසරවල සිට මෙරට තුළ විවාහයන් අවම වෙමින් පවතින බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්ෂික විවාහ ලියාපදිංචි කිරීම්වල‍ට අදාළ දත්ත නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වේ.

ගෙවුණු 23 වසර තුළ විවාහයන් සිදුව ඇති ආකාරය

 

වීවාහවීමට 'ආරක්ෂක' චක්‍රලේඛයක් !
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබ ඇති දත්තවලට අනුව මෙරට විවාහ වීමේ ප්‍රවණතාවයන්හි අඩුව ගතවූ වසර 05ක කාලය තුළදී වාර්තා වී තිබේ.

විශේෂයෙන් 2018 වසරේ සිට මෙරට තුළ විවාහයන් ලියාපදිංචි වීමේ ප්‍රවණතාවයේ යම් අඩුවක් පෙන්නුම් කිරීම දක්නට ලැබේ.

2000 වසර ආරම්භයේ සිට 2018 වසර දක්වා වූ කාල සීමාවේදී මෙරට වාර්ෂික විවාහයන් ලියාපදිංචි වීමේ අගය වසරකට විවාහයන් 170,000කට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන ලදී.

කෙසේ වුව ද 2018 වසරේ සිට විවාහයන් 170,000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ 2022 වසරේදී පමණයි. ගතවූ වසර 23ක කාල සීමාවේදී අවම විවාහයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ 2020 වසරේදීය. එම වසරේදී ලියාපදිංචි වී ඇති විවාහයන් ගණන 143,061ක් පමණක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දත්ත පෙන්වා දෙයි.

විවාහ වීම සම්බන්ධව මෙරට වත්මන් තරුණ ප්‍රජාවට ඇති අදහස කුමක්දැයි විමසා බැලීම සඳහා බීබීසී සිංහල සේවය සිදුකළ කරුණු විමසීමේදී බොහෝ දෙනා පැවසුවේ පවතින ආර්ථික තත්ත්වය, විවිධ කාලවලදී ජීවිතයේ ලද අත්දැකීම් මෙන් ම පවුලේ ඇති වගකීම වැනි කරුණු මත විවාහයක් සිදුකර ගැනීමට ඇති කැමැත්ත ක්‍රමයෙන් බැහැරව ගොස් ඇති බව යි.


'මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි'

සිය දෙමව්පියන් විවාහයක් කර ගන්නා ලෙස බලපෑම් කළ ද තමන් විවාහ වීමට අපේක්ෂා නොකරන බව පෞද්ගලික ආයතනයක සේවය කරන 29 හැවිරිදි වියේ පසුවන නදීෂා පැවසුවා ය.

බීබීසී සිංහල සේවය වෙත තම අදහස් පලකිරීමේදී සිය අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස සිදුකළ ඉල්ලීම මත ඇයගේ සත්‍ය නම හෙළි නොකිරීමට කටයුතු කරන්නෙමු.

විවාහයක් කර ගන්නැයි පවුලේ සාමාජිකයින් බල කළ ද තමන් ඒ සඳහා කිසිඳු සුදානමක් නොමැති බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.

"මැරි කරන්න ඕන කියලා ගෙදරින් කිව්වත් මම නම් හිතාගෙන ඉන්නේ කවදාවත් මැරි කරන්නේ නැහැ කියලා. මීට අවුරුදු 06කට කලින් නම් මම නම් හිතාගෙන හිටියේ කවදා හරි දවසක මැරි කරලා ලස්සනට ජීවත් වෙන්න ඕන කියලා. ඒත් දැන් නම් එහෙම හිතන්නේ නැහැ," නදීෂා පැවසුවා ය.

"ඉස්කෝලේ යන කාලේ ඉදලා තිබුණ මගේ එෆෙයාර් එක නතර වුණා හදිසියේ ම. ඒක අවුරුදු 06ක එෆෙයාර් එකක්. ඒ වෙද්දී මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ හිටියේ. ඒ ඇතිවුණ සිද්ධියත් එක්ක මට ආපහු කෙනෙක්ව විශ්වාස කරන්න බැරි කමක් තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ මම ගොඩක් විඳෙව්වා."

"මේ නිසා මම දැන් තනියම ජීවත් වෙන එක හොදයි කියලා හිතනවා. ගෙදරින් නම් මට මැරි කරන්න කියලා ගොඩක් වෙලාවට බල කරනවා. ඒ වුනත් මට ඕන තව අවුරුදු කිහිපයකින් පස්සේ ලංකාවෙන් යන්න. මම මේ නිදහස් ජීවිතයට කැමති. ඒ ජීවිතය ඇතුළේ මම මට ඕන විදිහට ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඒ මානසික නිදහසයි වටින්නේ."

"සමහර වෙලාවට හිතෙනවා මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක එකට විවාහ වෙන්නේ නැතිව එකට ජීවත් වෙන්න (Living Together). නමුත් ලංකාවේදී ඒකට ඉඩක් නැහැ. අපි කසාද බැඳලා ගොඩක් වෙලාවට කරන්නේ එක රාමුවක් ඇතුළේ හිර වෙනවා. ඊට පස්සේ විඳවනවා ජීවිත කාලේ පුරාවට ම," ඇය පවසයි.

 

sf454564

"සමහර වෙලාවට හිතෙනවා මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක එකට විවාහ වෙන්නේ නැතිව එකට ජීවත් වෙන්න (Living Together). නමුත් ලංකාවේදී ඒකට ඉඩක් නැහැ"

 

'ආර්ථිකයත් එක්ක කසාදය කියන දේ හීනයක්'

මේ අතර, බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ 34 හැවිරිදි වියේ පසුවන කසුන් පෙරේරා කියා සිටියේ, තමන් විවාහයක් කර ගැනීමට කැමැත්තෙන් පසු වුව ද පවතින ආර්ථික තත්ත්වය අනුව ඊට යොමු වීමට අකමැත්තක් ඇති බව යි.

"මම ජොබ් එකක් කළත් මගේ ගෙදර අයගේ වගකීම තව ම තියෙන්නේ මගේ අතේ. ඒ නිසා මට විවාහයක් කර ගන්න එක ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. ලේසි නැහැ නේ කසාදයක් බඳිනවා කියන එක. කසාද බැන්ඳට පස්සේ ඒ කෙනාගේ අවශ්‍යතාවන් ගැන බලන්න ඕන. මම හොඳට ම දන්නවා මේ තියෙන තත්ත්වය එක්ක මට ඒ දේ කරන්න බැහැ කියලා. ඒ නිසා මම කසාද බඳිනවා කියන එක ගැන දැන් ම හිතන්නේ නැහැ... මම හිතන්නේ ඒක හීනයක් වෙයි කියලා මේ යන විදිහට," ඔහු පැවසුවේය.

'ඒක මිල අධික දෙයක්'

 

බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද? - (Faculty of Sex)
ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන 28 හැවිරිදි තේජානි (සැබෑ නම නොවේ) කියා සිටියේ, විවාහය සම්බන්ධයෙන් තමන් උනන්දුවක් නොදක්වන්නේ එය මිල අධික දෙයක් නිසා බව යි.

"මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවෝ සමහරක් අය ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ කසාද බැඳලා දැන් ගෙවන ඒ අයගේ ජීවිතවල තියෙන සංකීර්ණත්වයත් එක්ක මට කසාද බඳින එක ගැන දෙපාරක් හිතන්න වුණා."

"අපිට වඩා වැඩිමල් අයියලා - අක්කලා ඉගෙන ගෙන ඉවරවෙලා ඒ අයගෙන් ගෙවල්වලට කෙරෙන්න ඕන යුතුකම් ඉටුකරන්න පුළුවන් වුණාට අද වෙනකොට තියෙන ආර්ථිකය එක්ක අපි වගේ අයට ගෙවල්වලට යුතුකම් ඉටුකරන්න සැහෙන්න කාලයක් ගත කරන්න වෙනවා. රැකියාවේ පැත්තෙන් ගත්ත ම මම දැන් තමයි වෘත්තීය ඇතුළේ ස්ථාවර වෙන්න හදන්නේ."

"කසාද බැන්දම ස්වාමි පුරුෂයා වගේ ම එයාගේ ගෙදර අයගේ වගකීමත් දරන්න ඕන. ටික කාලයක් ගියා ම දරුවෙක් හදන්නේ නැද්ද කියන ප්‍රශ්නය අහනවා හැමෝම. මේ වගේ කරුණු එක්ක කසාද බඳිනවා කියන එක ටිකක් මිල අධික ප්‍රශ්නයක් වෙලා තියෙනවා," තේජානි පැවසුවාය.

 

sf85689578

තරුණ ගැහැනු ළමුන් තමන්ගේ අනාගත අපේක්ෂාවන් මාතෘත්වය සමග සමපාත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සමීක්ෂණයක් සිදු කර ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ඉරේෂා ලක්ෂ්මන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම පැවසුවේ, සිය සමීක්ෂණයේදී හමු වූ උපාධි අපේක්ෂක තරුණ කාන්තාවන් තවමත් විවාහ වී දරුවන් සෑදීම ප්‍රමුඛකරණය කොට සලකන බව ය.

 

'තරුණ කාන්තාවන් විවාහ වීමට කැමති'

මේ අතර, තරුණ ගැහැනු ළමුන් තමන්ගේ අනාගත අපේක්ෂාවන් මාතෘත්වය සමග සමපාත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සමීක්ෂණයක් සිදු කොට ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ඉරේෂා ලක්ෂ්මන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම පැවසුවේ, සිය සමීක්ෂණයේදී හමු වූ උපාධි අපේක්ෂක තරුණ කාන්තාවන් තවමත් විවාහ වී දරුවන් සෑදීම ප්‍රමුඛකරණය කොට සලකන බව යි.

"මාතෘත්වය පිළිබඳ ආකල්ප ගැන රිසර්ච් එක කරන කොට අපිත් බලාපොරොත්තු වුණා දැන් ගැහුනු ළමයින්ට දරුවන් හදන එක ගැන ලොකු බලාපොරොත්තු නැතිව ඇති එයාලට ඉගෙනගෙන රැකියාවන් කරන්න අවශ්‍ය ඇති කියලා. නමුත් තවමත් බොහෝ ගැහැනු ළමයින් විවාහ වෙලා දරුවන් ලැබීම ප්‍රධාන කොට සලකන බවක් අපට පෙනී ගියා. තවමත් මේ සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ආකල්ප ශක්තිමත් බවයි මින් පෙනී යන්නේ."

"නමුත් කසාද බැඳලා ළමයි හදන්න එහෙම කැමැත්ත වගේ ම උවමනාවක් තිබ්බට ඒක කරන්න පුළුවන් ආකාරයේ සහයෝගී සමාජ පද්ධතියක් අපේ රටේ තියෙනවා ද කියන එකයි ප්‍රශ්නේ. කාන්තාවක් රැකියාවට යනවා කියන්නේ, වෘත්තීය අපේක්ෂාවන් තියෙනවා කියන්නේ පැය 24 ම දරුවාව බලාගන්න බැහැනෙ ඇයට."

"තමන්ගේ හෝ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට දරුවාව භාර දීලා යනවා වගේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා දරුවන්ව බලාගන්න විශ්වසනීය දිවා සුරැකුම් මධ්‍යස්ථාන වගේ ක්‍රම තියෙනවා ද? ඒ වගේ ම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ පාසල් කාලය තුළ දරුවාව රැක බලාගැනීම වෙනුවෙන් පාසල සක්‍රීය විදිහට දායක වෙනවා ද? වගේ කාරණා ගැනත් අපිට හිතන්න වෙනවා."

"නමුත් මේ වගේ කාන්තාවන්ගේ විශේෂයෙන් ම මව්වරුන්ගේ අවශ්‍යතා කෙරෙහි සංවේදී වුණු සමාජ පද්ධතියක් නොමැති වීම මේ තරුණ කාන්තාවන්ට තරමක අවිනිශ්චිතභාවයක් ගෙනත් තියෙනවා කියන කාරණාවත් අපිට පර්යේෂණයෙන් අනාවරණය වුණා. කෙසේ වෙතත් අපිට සමීක්ෂණයේදී හමුවුණු 80%ක් වගේ උපාධි අපේක්ෂක තරුණ කාන්තාවන් පැවසුවේ, විවාහ වෙනවා සහ අඩු ම තරමේ එක දරුවෙක්වත් හදනවා කියන අදහසේ ඔවුන් තවමත් ඉන්නවා කියන එක යි. ඇත්තට ම තව අවුරුදු 10කින් වගේ නැවත ඒ පිරිස සොයා ගෙන ගොස් ඔවුන්ගේ අත්දැකීම් කොහොම වුණා ද කියලා නැවත පරීක්ෂා කරන එක වටිනවා," මහාචාර්යවරිය අප සමග පැවසුවා ය.

| BBC සිංහල සේවය




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...