BREAKING
Top Ad
Life

හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?

T

The Leader

April 15, 2025 • 3:17 AM

හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගභේදය, වයස හෝ ජනවාර්ගිකත්වය නොසලකා ඕනෑ ම කෙනෙකුගේ හිසකෙස් ගැලවී යා හැකිය.
  • "හිසකෙස් ගැන බොහෝ දේ දැන සිටියත්, හිසකෙස් ගැලවී යාම ඕනෑ ම කෙනෙකුට බලපෑ හැකියි, මට පවා," ඇය පවසයි.
  • ඇමෙරිකානු සඟරාවක් වන 'Dermatologic Surger' සඟරාව වාර්තා කරන්නේ, වයස අවුරුදු 18-29 අතර පිරිමින්ගෙන් 16%ක් හිසකෙස් ගැලවී යාමෙන් පෙළෙන බවයි.
  • මෙය වයස අවුරුදු 30-39 අතර පිරිමින් සඳහා 30% දක්වා සහ වයස අවුරුදු 40-49 අතර පිරිමින්ගෙන් අඩකට වඩා වැඩි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජානමය හේතු, වෛද්‍ය තත්ත්වයන්, වයසට යාම හෝ ඔබේ ජීවන රටාව ඇතුළු විවිධ හේතු මත ඔබේ හිසකෙස් ගැලවී යාම ආරම්භ වේ.

හිසකෙස් ගැලවී යාමට හේතු සහ විසඳුම් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා, අපි බ්‍රිතාන්‍යයේ වෙසෙන සායනික අධ්‍යක්ෂ හිසකෙස් සම්බන්ධ විශේෂඥයෙක් (trichologist) වන එනිතන් අගිඩී සමග කතා කළෙමු. ඇය විවිධ සේවාදායකයින් හමුවෙන අතර ඒ අතර විශේෂයෙන් රැලි සහිත හෝ කැරලි සහිත හිසකෙස් සහිත කාන්තාවන් වේ.

"හිසකෙස් ගැන බොහෝ දේ දැන සිටියත්, හිසකෙස් ගැලවී යාම ඕනෑ ම කෙනෙකුට බලපෑ හැකියි, මට පවා," ඇය පවසයි.

ඇමෙරිකානු සඟරාවක් වන 'Dermatologic Surger' සඟරාව වාර්තා කරන්නේ, වයස අවුරුදු 18-29 අතර පිරිමින්ගෙන් 16%ක් හිසකෙස් ගැලවී යාමෙන් පෙළෙන බවයි. මෙය වයස අවුරුදු 30-39 අතර පිරිමින් සඳහා 30% දක්වා සහ වයස අවුරුදු 40-49 අතර පිරිමින්ගෙන් අඩකට වඩා වැඩි වේ.

හිසකෙස් ගැලවී යාම (හෝ වෛද්‍යවරුන් විස්තර කරන පරිදි, ඇලපීෂියා) පිරිමින් අතර වැඩි අවධානයක් දිනා ගනී, නමුත් කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාම ද සාමාන්‍ය දෙයකි.

හාවඩ් වෛද්‍ය විද්‍යාලයට අනුව, කාන්තාවන්ගෙන් තුනෙන් එකක් පමණ තම ජීවිතයේ යම් අවස්ථාවකදී හිසකෙස් ගැලවී යාම අත්විඳිති.

image 2සමහර අවස්ථාවලදී හිසකෙස් ගැලවී යාම සුදුසු ප්‍රතිකාර මගින් ආපසු හැරවීමට හෝ මන්දගාමී කිරීමට හැකි වුව ද, විශේෂඥයින් අවධාරණය කරන්නේ එය 'ජීවිත කාලය පුරා ම කැපවීමක් කළ යුතු එකක්' බව ය

 

මුල් කාලයේ හිස කෙස් වැටීම ආපසු හැරවිය හැකි ද?

ඔබේ දෛනික ජීවිතය තුළ ඔබට කළ හැකි වෙනස්කම් කිහිපයක් තිබෙන අතර පළමු පියවර වන්නේ වෘත්තිකයෙකුගෙන් රෝග විනිශ්චයක් ලබා ගැනීම බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ආන්චල් පන්ත් පවසයි.

"හොඳ හිසකෙස් වර්ධනයක් සඳහා ඉහළ ප්‍රෝටීන් ආහාර වේලක් වැදගත්. යම් ආකාරයක පෝෂණ ඌණතාවයක් තිබේ නම්, එයට පළමුව ප්‍රතිකාර කළ යුතුය." ඇය පවසයි.

තම හිසකෙස් ගැලවී යන බව වටහා ගන්නා බොහෝ අය වහා ම මිනොක්සිඩිල් වැනි රසායනික ද්‍රව්‍ය සහිත ආලේපන හෝ කැෆේන් පදනම් කරගත් නිෂ්පාදන භාවිත කිරීමට උත්සහ කරයි.

මිනොක්සිඩිල් සාමාන්‍යයෙන් දියර හෝ පෙන ආකාරයෙන් භාවිත වේ. එය කෙස් මුල්වලට රුධිර ප්‍රවාහය වැඩි කරන බව සොයාගෙන ඇති අතර එමගින් දිගු කෙස් වර්ධනයට ඉඩ සලසයි.

කෙසේ වෙතත්, මිනොක්සිඩිල් "හිසකෙස් තුනී වීම අඩු කිරීමට උපකාරී වනු ඇති නමුත් එය නව හිසකෙස් වර්ධනය වීමට ඉඩ දෙන්නේ නැහැ" යනුවෙන් වෛද්‍ය පන්ත් අනතුරු අඟවයි.

විශේෂයෙන් පිරිමින් සඳහා කීටොකොනසෝල් හිසකෙස් ගැලවී යාම වැළැක්වීම සඳහා ද භාවිත කරයි. විශේෂඥයින් පවසන්නේ එය හිසේ ඇතිවන හිස්හොරිවලට ප්‍රතිකාර කිරීම සඳහා ද ඵලදායී බව ය, මන්ද හිස්හොරි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ නිසා හිසකෙස් ගැලවී යාම තවත් උග්‍ර කළ හැකි බැවිනි.

මිනොක්සිඩිල්වලට වෙනස්ව, කීටොකොනසෝල් යනු හිස්කබලේ දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන දිලීර නාශක ඖෂධයකි.

සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ කීටොකොනසෝල් මගින් හිසකෙස් නැතිවීමට සම්බන්ධ හෝමෝනයක් වන DHT මට්ටම අඩු කළ හැකි බවයි.

"බොහෝ අය සිතන්නේ හිසකෙස් ගැලවී යාම ඔබට ප්‍රතිකාර ලබා ගත හැකි දෙයක් බවත්, හිසකෙස් වර්ධනය වන බවත්, පසුව කිසිවක් කළ යුතු නැති බවයි. එය එසේ නොවේ. හිසකෙස් ගැලවී යාම ආපසු හැරවීම ජීවිත කාලය පුරා ම කැපවීමක්," වෛද්‍ය පන්ත් පවසයි.

heir styleකාන්තාවන් සිදුකරන සමහර කොණ්ඩා මෝස්තර හිසකෙස් නැතිවීමට දායක විය හැකි බව එනිතන් අගිඩී පවසයි
ජීවන රටාවේ වෙනස්කම්


ඔබේ හිසකෙස් වර්ගය පිළිබඳ දැනගෙන සිටීම වැදගත් වේ.

තදින් ගොතන විට සහ අයන් කරන විට මුල් අවධියේ හිසකෙස් නැතිවීමට හේතු විය හැකි බව අප්‍රිකානු හිසකෙස් පිළිබඳ විශේෂඥ ඇගඩි පවසයි.

"කොණ්ඩ මෝස්තරය තේරුම් ගැනීම වැදගත්. ඔබේ කොණ්ඩය ලස්සන කරන්න, නමුත් තද, බර කොණ්ඩා මෝස්තර මගින් කෙස්වලට පීඩනය යෙදිය හැකි බව මතක තබා ගන්න," ඇය පවසයි.

ඔබේ කෙස් කළඹ හිසකෙස් වර්ධනයට පමණක් නොව, තුවාල සුව කිරීමට සහ ඔබේ හිස්කබලේ සම නැවත සැකසීමට ද උපකාරී වේ.

"අධික ලෙස කොණ්ඩා මෝස්තර යෙදීම නිසා, සමහර ගනුදෙනුකරුවන්ට කම්පන ඇලපීෂියා (traction alopecia) සහ ඉදිරිපස ෆයිබ්‍රොසින් ඇලපීෂියා (fibrosing alopecia) ලෙස හඳුන්වන තවත් හිසකෙස් අහිමි වීමේ තත්වයක් ඇති වන ආකාරය මම දැක තිබෙනවා."

 

alcohol

හිසකෙස් ගැලවී යාම උග්‍ර කළ හැකි වෙනත් කරුණු වන්නේ දුම්පානය, මත්පැන් පානය, ආතතිය සහ සුව නින්දක් නොමැති වීමයි.

දුම්පානය නිසා රුධිර වාහිනී සංකෝචනය (vasoconstriction) නම් තත්වයක් ඇති වන අතර එය ඔබේ අවයවවලට රුධිර ප්‍රවාහය අඩු කරන අතර ඔබේ හිස්කබල සම්බන්ධයෙන් ද මෙය සිදුවිය හැකි බව වෛද්‍ය පන්ත් පවසයි.

ඔබේ හිස්කබල නිතිපතා සේදීම නොකිරීම ද ඔබේ හිසකෙස් ගැලවී යාමට හේතු විය හැකිය. ඔබ ඔබේ හිසකෙස් ෂැම්පු නොකර ස්නානය කරන අතරතුර කෙස් කෙඳි වැටෙනවා දුටුවහොත් ඔබට මෙය දැකගත හැකිය.

"ඔබ තෙල් සහිත හිස්කබලක් ඇති අයෙක් නම්, ඔබට සෑම දිනක ම හෝ දිනක් ඇර දිනක් ඔබේ හිසකෙස් සේදිය හැකි ය" යනුවෙන් වෛද්‍ය පන්ත් උපදෙස් දෙයි.

ඔබේ හිස්කබල සහ හිසකෙස් වර්ගය සාමාන්‍ය හෝ වියළි නම්, සතියකට අවම වශයෙන් තුන් වතාවක්වත් එය සේදිය යුතු බව ඇය පෙන්වා දෙයි.

හිසකෙස් බද්ධ කිරීම පහසුම විසඳුම ද?

thurkiතුර්කි සෞඛ්‍ය සංචාරක සංගමයට අනුව, පසුගිය වසරේ හිසකෙස් බද්ධ කිරීම සඳහා මිලියනයකට ආසන්න පිරිසක් රටට පැමිණ ඇත
හිසකෙස් බද්ධ කිරීම යනු රූපලාවණ්‍ය ක්‍රියා පටිපාටියක් වන අතර ඊට ශල්‍යකර්මයක් ඇතුළත් වේ. බොහෝ විට මිනිසුන් තම පෙනුම පිළිබඳ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා හිස කෙස් බද්ධ කිරීමක් සිදු කරයි.

වෛද්‍ය පන්ත්ට අනුව ඉහළ පිරිවැයක් තිබියදීත්, හිසකෙස් බද්ධ කිරීම් ජනප්‍රිය වන්නේ ඒවා බොහෝ විට හොඳ ම දෘශ්‍ය ප්‍රතිඵල ලබා දෙන බැවිනි.

නමුත්, ඇය පවසන පරිදි, සමහර විට තේරුම් නොගන්නා දෙයක් නම්, බද්ධ කිරීමකින් පසු ඔබේ හිසකෙස්වලට ප්‍රතිකාර කිරීම නැවැත්වුවහොත්, වසර පහක් හෝ හයක් ඇතුළත ඔබේ ස්වාභාවික හිසකෙස් ගැලවී යන තත්ත්වයකට පත්විය හැකි අතර ඔබට ඉතිරි වන්නේ ඔබේ බද්ධ කළ හිසකෙස් පමණක් යන්නයි.

ඇගඩි විශ්වාස කරන්නේ හිසකෙස් බද්ධ කිරීමක් ඔබේ අවසාන විසඳුම විය යුතු බවත් සහ එය සෑම කෙනෙකුගේ ම හිසකෙස් නැතිවීමට සොයා යා යුතු පිළිතුර නොවන බවත් ය.

"බද්ධ කිරීමක් කියන්නේ සීතලේ ඔබ එළියට යනවා ජැකට් එකට යටින් කිසි ම දෙයක් අඳින්නේ නැතුව වගේ...

"ටික වෙලාවකින් ඔයාට සීතල දැනෙන්න පටන් ගනීවි."


(සටහන | අමීර් අහමඩ්)
බීබීසී ලෝක සේවය

උපුටා ගැනීම - BBC සිංහල සේවය


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

තට්ටය පෑදීම වලක්වන ප්‍රතිකාරයක් ගැන බලාපොරොත්තුවක්

ඔබේ මේකප් නිෂ්පාදනවල සැඟවී සිටිය හැකි බැක්ටීරියා මාරයා

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන්ගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහසක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...