BREAKING
Top Ad
Life

ශුක්‍රාණු බැංකුවේ පරිත්‍යාගශීලියෙක් වෙන්න ඔබට අවශ්‍ය සුදුසුකම් මෙන්න

T

The Leader

May 5, 2025 • 3:13 AM

ශුක්‍රාණු බැංකුවේ පරිත්‍යාගශීලියෙක් වෙන්න ඔබට අවශ්‍ය සුදුසුකම් මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරු ඵල අහිමි මෙරට විවාහක පවුල් සඳහා බොරැල්ලේ පිහිටි කාසල් වීදියේ කාන්තා රෝහල ප්‍රථම වරට රජයේ රෝහලක ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවීම සඳහා පියවර ගන්නා ලදී.
  • සාමාන්‍යයෙන් කාසල් රෝහලේ මද සරුභාවය සම්බන්ධයෙන් තියෙන සායනයට කොවිඩ් වලට කලින් මාසිකව පවුල් 50ක් වගේ ලියාපදිංචි වුණේ.
  • නමුත් මෑතක් වෙන කොට මාසිකව පවුල් 200ක් වගේ ලියාපදිංචි වෙන තත්ත්වයක් නිරීක්ෂණය කළා.''   ''අපි මේ තත්ත්වය ගැන නිරීක්ෂණය කළා.
  • අඩුම වශයෙන් ශුකාණු ධාතු ලබා දෙන කෙනාගේ නමක්වත් මෙතැනදී සඳහන් වෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන බීබීසී සිංහල වෙත පැවසුවේ 2024 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා ආරම්භ කරන ලද ශුක්‍ර ධාතු බැංකුව සඳහා ශුක්‍ර ධාතු පරිත්‍යාග කරන පුද්ගලයින් විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කිරීමෙන් අනතුරුව ලියාපදිංචි කර ගන්නා බවයි.

ශුක්‍ර බැංකුවක් පිහිට වූ හේතුව


රජයේ රෝහලක ශුක්‍ර ධාතු බැංකුවක් පිහිටුවීමට පියවර ගත් හේතුව කුමක්දැයි බීබීසී සිංහල කළ විමසීමට පිළිතුරු දෙමින් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන කියා සිටියේ මෑත කාලයේදී මාසිකව හඳුනා ගන්නා ලද දරු ඵල අහිමිවී සිටින විවාහක පවුල් ගණන ඉහළ යෑම ඊට ප්‍රධාන හේතුවක් වූ බවයි.

''මේක පටන් ගන්න හේතුව වුණේ මද සරුභාවය කියන කරුණයි. විවාහ වුණාට පස්සේ යුවලක් අවුරුද්දක් දෙකක් යන කොට දරුවන් බලාපොරොත්තු වනවා. එතැනදී දරුවන් නොමැති වුණාම ඒ පවුල් වලට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන් සමාජීය වගේම මානසික වශයෙන්.''

''විශේෂයෙන් කොවිඩ් වලින් පස්සේ විශේෂයෙන්ම මේ මද සරුභාවය සම්බන්ධයෙන් යුවලවල් වැඩි වුණා. සාමාන්‍යයෙන් කාසල් රෝහලේ මද සරුභාවය සම්බන්ධයෙන් තියෙන සායනයට කොවිඩ් වලට කලින් මාසිකව පවුල් 50ක් වගේ ලියාපදිංචි වුණේ. නමුත් මෑතක් වෙන කොට මාසිකව පවුල් 200ක් වගේ ලියාපදිංචි වෙන තත්ත්වයක් නිරීක්ෂණය කළා.''

 

''අපි මේ තත්ත්වය ගැන නිරීක්ෂණය කළා. එතැනදී මද සරු භාවය කියන තත්ත්වයේදී අම්මාගේ දායකත්වය තියෙන්නේ තුනෙන් එකක් කියන එක. අම්මාගේ ගර්භාෂයේ තියෙන ගැටළු සහගත තත්ත්වයන්, ඔසප් චක්‍රයේ තියෙන අක්‍රමවත් භාවය සහ ඩිම්බ පිට නොවීම කියන රෝගී තත්ත්වයන් මෙතැනදී සියයට 33ක් වගේ තියෙනවා.''

''ඒ වගේම අම්මගේ තාත්තගෙයි දෙන්නගෙම තියෙන විවිධ හේතුන් මත මේ මද සරුභාවය කියන තත්ත්වය ඇතිවීම තවත් සියයට 33ක් වගේ තියෙනවා. ඉතිරි ප්‍රමාණය ගත්තම ගොඩක් ගැටළු තියෙන්නේ තාත්තගේ පැත්තෙන්. සමහර තාත්තලාගේ ශුක්‍රාණු තරලය තිබ්බට ධාතු නැහැ. ඒ වගේම සමහර අයගේ ශුක්‍රාණු තිබ්බට ඒවා සක්‍රීය නැහැ දරුවෙක් හදන්න තරම් ඩිම්බයක් එක්ක සංසේචනය වෙලා යුක්තානුවක් ගර්භාෂයේ තැන්පත් වෙන්න තරම්.''

''මේ වගේ ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන්ට ශුක්‍රාණු ලබා දෙන්න අපිට හැකියාවක් නැති නිසයි පිලියමක් විදිහට ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කලේ.' රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

sperm1

පරිත්‍යාගශීලින් ගෙන් ලබා ගන්නා ශුකාණු තැම්පත් කරන විශේෂ ගබඩාකරණ පද්ධතිය

 

'රහස්‍යභාවය ආරක්ෂා වෙනවා'

ශුක්‍රාණු ධාතු බැංකුවෙන් සේවය ලබා ගන්නා යුවලවල් මෙන්ම ඊට ශුක්‍රාණු ලබා දෙන පුද්ගලයින්ගේ අනන්‍යතාවය රහසිගතභාවය උපරිමයෙන් ආරක්ෂා කරන බව කාසල් රෝහලේ අධ්‍යක්ෂක අජිත් කුමාර දන්තනාරායන වැඩිදුරටත් පැවසුවේය.

''ඉතාමත් රහසිගත විදිහට තොරතුරු පිටතට යන්නේ නැති වෙන විදිහටයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ශුක්‍රාණු ධාතු ලබා ගන්නා යුවල විතරයි දන්නේ එයාලා මේ වගේ සේවයක් ලබා ගන්නවා කියලා. ඒ වගේම රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුවට දායකත්වය සපයන කෙනෙක් නම් එයා දන්නේ නැහැ එයාගේ ශුක්‍රාණු ධාතු කාටද ලබා දුන්නේ කියලා.''

''අපි මෙතැනදී ඩෝනර්ට ලබා දීලා තියෙන්නේ අංකයක් විතරයි. අඩුම වශයෙන් ශුකාණු ධාතු ලබා දෙන කෙනාගේ නමක්වත් මෙතැනදී සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේ රහසිගත භාවයක් ආරක්ෂා කරනවා.' රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

 

sperm2

කාසල් වීදියේ කාන්තා රෝහලේ සතියේ දින 05 පුරාවට මද සරුභාවය සම්බන්ධයෙන් වෛද්‍ය සායන පැවැත්වේ.

 

ශුක්‍රාණු ධාතු පරිත්‍යාග කිරිමේදී සොයා බලන කරුණු මොනවාද ?

කාසල් රෝහලට ශුක්‍ර ධාතු පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයාට විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සහ සම්මුඛ සාකච්ජාවකට මුහුණ දීමට සිදුවන බව රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

''යම් පුද්ගලයෙක් අපිට දුරකථන ඇමතුමක් ලබාදීලා එයා ධාතු පරිත්‍යාග කරන්න කැමති කියලා කිව්වට පස්සේ එයාව අපි කෙටි සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරනවා. හැමෝම දන්නේ නැහැ ඒයාගේ තත්ත්වය ගැන.''

''එතැනදී දුරකථනය හරහා සිදුකරන කෙටි සම්මුඛ පරීක්ෂණයේදී අපි බලන කරුණු තමයි ඒ ශුකාණු ධාතු පරිත්‍යාග කරන්න කැමති කිව්ව පුද්ගලයා වයස අවුරුදු 45කට වඩා අඩු කෙනෙක්ද, එයාගේ මානසික මට්ටම කොහොමද, නිරෝගීමත් කෙනෙක් ද කියන ඒවා ඇතුළු ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරලා බලනවා. ඒ ගැන කතා කළාට පස්සේ අපි දිනයක් ලබා දෙනවා ඒ කෙනාට රෝහලට එන්න කියලා විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙන්න.''

59889089

 

''සාමාන්‍යයෙන් මෙතැනදී අපි ඒ HIV සම්බන්ධ පරීක්ෂණයක්, හෙපටයිටිස් B, ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදුකරන VDRL කියන පරීක්ෂණය වගේම අධික වශයෙන් දියවැඩියාව, කොලොස්ට්‍රෝල් සහ රුධිර පීඩනය ගැන පරීක්ෂණ සිදුකරනවා. මේ දේවල් වලට අමතරව ජානමය වශයෙන් තියෙන ගැටළු, ආබාධ වගේම මානසික මට්ටම ගැනත් විශේෂයෙන් සොයා බැලීමක් කරනවා.''

''මේ වෛද්‍ය පරීක්ෂණ සියල්ලම නොමිලේ සිදුකරන්නේ. සාමාන්‍යයෙන් මේ සියලු පරීක්ෂණවල වාර්තා ලැබෙන්න සති දෙකක කාලයක් යනවා. ඒ සති දෙකෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵල අනුව ඒ තැනැත්තා ශුකාණු ධාතු ලබා දෙන්න සුදුසුකම් සපුරලා තියෙනවානම් අපි ඔහුට දැනුම් දෙනවා දිනයක් සහ වෙලාවක් අපේ ලැබ් එකට එන්න කියලා. එතැනට ආවට පස්සේ අපි ඒ පුද්ගලයාගේ ධාතු ලබාගන්න කටයුතු කරනවා.''

''එහෙම ලබා ගන්න ධාතු අම්මා කෙනෙකුගේ ගර්භාෂයේ තැන්පත් කරන්න කලින් අපි වෛද්‍ය පරීක්ෂණයක් කරලා බලනවා ඒ කෙනාගේ ගර්භාෂයට දරුවෙක් පිළිසිඳ ගන්න සුදුසු මට්ටමේ තියෙනවද කියලා. එහෙම බලලයි අපි මේක සිද්ධ කරන්නේ.' රෝහල් අධ්‍යක්ෂකවරයා පැහැදිළි කළේය.

පරිත්‍යාගශීලින් විසින් ලබා දෙන ශුක්‍රාණු ලික්විඩ් නයිට්‍රජන් අඩංගු සිලින්ඩර් දෙකක සෘණ ෆැරන්හයිට් 200ක උෂ්ණත්වය යටතේ ගබඩා කරන බවත් එලෙස ලබා දෙන ශුක්‍රාණු වසර 10ක් පමණ තබා ගත හැකි බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

 

sperm3

''යම් පුද්ගලයෙක් අපිට දුරකථන ඇමතුමක් ලබාදීලා එයා ධාතු පරිත්‍යාග කරන්න කැමති කියලා කිව්වට පස්සේ එයාව අපි කෙටි සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරනවා." - කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන

 

සුදුසුකම් ලැබූ පිරිස කොපමණ ද?


කාසල් රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සඳහා ධාතු පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50ක් බවත්, ඉන් පුද්ගලයින් 10 දෙනෙකුගේ ශුක්‍රාණු ධාතු ලබාගෙන රෝහලේ ඇති පරීක්ෂණාගාරයේ තැන්පත් කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ශුක්‍රාණු ධාතු බැංකුව ඔස්සේ මව්වරුන් තිදෙනෙකු සේවය ලබාගෙන ඇති බවයි.

බීබීසී සිංහල කළ විමසීමේදී රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ කාසල් වීදියේ කාන්තා රෝහලේ සතියේ දින 05 පුරාවට මද සරුභාවය සම්බන්ධයෙන් වෛද්‍ය සායන පැවැත්වෙන බව සහ ඊට පැමිණ ලියාපදිංචි වන යුවළ සඳහා මෙම සේවය ලබා ගත හැකි බවයි.

''මද සරුභාවය සම්බන්ධයෙන් තියෙන වෛද්‍ය සායනයට පැමිණෙන අම්මලා තාත්තලා සම්බන්ධයෙන් අපි පරීක්ෂණ සිදුකරලා බලනවා. එතැනදී ඒ අයගේ තියෙන සෞඛ්‍ය ගැටලු මොනවාද කියලා සොයා බලනවා. සාමාන්‍යයෙන් මාසිකව යුවල 200ක් වගේ වාර්තා වෙනවා. මේ තත්ත්වය වැඩි වුනේ කොවිඩ් වලින් පස්සේ.' රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන පැවසුවේය.

sperm4

'කොවිඩ් වලින් පස්සේ මේ තත්ත්වය වැඩි වෙලා. දරුවන් නැති යුවළවල් 200ක් විතර මාසිකව වාර්තා වෙනවා.'

 

'ඉදිරියේදී IVF ක්‍රමය ආරම්භ කරනවා'

මේ අතර ඉදිරියේදී බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ දී IVF ක්‍රමය ඔස්සේ දරුවන් නොමැති විවාහක යුවළ සඳහා දරු ඵල ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන අනාවරණ කළේය.

''දැනට අපි කරන්නේ ධාතු අරගෙන අම්මා කෙනෙක්ගේ ගර්භාෂයේ තැම්පත් කිරීමයි. එතැනින් ඉදිරියට ගිහිල්ලා IVF ක්‍රමය ඔස්සේ තාත්තා කෙනෙක්ගෙන් ගන්න ශුක්‍රාණු ධාතු එක්ක අම්මා කෙනෙක් ගෙන් ගන්න ඩිම්බයක් එළියේදී සංසේචනය භාහිර මාධ්‍යයක කරලා සතියක් විතර බලලා හොදට තියෙන කළල බලලා එතැනින් කළල 4-6ත් අතර ප්‍රමාණයක් සති දෙකකට පස්සේ අම්මා කෙනෙක්ගේ ගර්භාෂයේ තැම්පත් කරන්න කටයුතු කරන්න පියවර ගන්නවා.''

1721911543 34863822

 

''මේ සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකරලා අවසන්. ඒකට ඕන කරන වෛද්‍ය උපකරණ මිලදී ගන්න රුපියල් මිලියන 800ක් අවශ්‍ය වෙනවා. ඒ ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කරලා තියෙනවා. IVF ක්‍රමයෙන් දරුවෙක් පිළිසිඳ ගන්න ක්‍රියාවලියට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 40-50ත් අතර මුදලක් වැය වෙනවා. මේක රජයේ රෝහලක ආරම්භ කරන්න හැකි වුනොත් නොමිලේම මේ සේවය අපේ දරුවන් නැති යුවළවල් වලට ලබා දෙන්න හැකියාව තියෙනවා.' රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

(සටහන | දිනුක් හේවාවිතාරණ)
BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...