BREAKING
Top Ad
Life

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? - වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

July 17, 2025 • 4:34 AM

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? - වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ සමග කල සම්මුඛ සාකච්ජාවක් ඇසුරෙන් සැකසු ලිපියකි)
  • සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද?
  • මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් ආකාරයේ පෞරුෂ ලක්ෂණ අනුව පුද්ගලයන්ගේ මානසික තත්ත්වය වෙනස් විය හැකියි.
  • මානසික ආතතිය (stress), කාංසාව සහ විශාදය නිසා කලක් තිස්සේ තියුණු ලෙස ක්‍රියාත්මක වූ ස්වයං සාධක ස්නායු පද්ධතිය හේතුවෙන් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වැඩිවීම සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි.

සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් ආකාරයේ පෞරුෂ ලක්ෂණ අනුව පුද්ගලයන්ගේ මානසික තත්ත්වය වෙනස් විය හැකියි. ඒ වෙනස් වීම මානසිකව පීඩාවක් හෝ මානසික ආතතියක් ගෙන දෙන අන්දමේ සෘණාත්මක එකක් නම් එයින් හෘද රෝගයකට මුල පෑදීම බොහෝ විට සිදුවිය හැකි දෙයක්.

වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

 

දරුණු විශාද තත්වයන්ගෙන් (depression), කාංසාව (anxiety), සංත්‍රාස කාංසාව (panic attacks), වැනි මානසික ව්‍යාකූලතාවයන් ගෙන් මෙන්ම භින්නෝන්මාදය (schizophrenia) සහ පශ්චාත් කම්පන ආතති ආබාධ (post-traumatic stress syndrome) වැනි මානසික රෝග වලින් පෙළෙන රෝගීන්ට හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. මානසික රෝග සඳහා දිගු කාලීනව ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන් අවසානයේ මිය යන්නේ හෘදයාබාධ, ආඝාතය හෝ හෘද අකරණිය වැනි හෘදය ආශ්‍රිත රෝගයකිනි.

 

ආතතිය කට්ටිය වැඩි වෙලා !

 

නිදන්ගතව පැවතෙනා මානසික ව්‍යාකූලතාවයන් හේතුවෙන් ඇතිවන ස්වයං සාධක ස්නායු පද්ධතියේ අක්‍රමිකතාවයන් සහ හෝමෝන අක්‍රමිකතාවයන්ට හෘදය සහ රුධිර වාහිනී පද්ධතිය දිගු කාලීනව නිරාවරණය වීම තුලින් එවැනි පුද්ගලයන් හට හෘද රෝග ඇතිවීමට වැඩි නැඹුරුවක් තිබිය හැකිය.

මානසික ආතතිය (stress), කාංසාව සහ විශාදය නිසා කලක් තිස්සේ තියුණු ලෙස ක්‍රියාත්මක වූ ස්වයං සාධක ස්නායු පද්ධතිය හේතුවෙන් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වැඩිවීම සිදුවේ. මීට අමතරව මානසික ව්‍යාකූලත්වයන්, රුධිර කැටිති සෑදීමට හේතුවන රුධිර පට්ටිකා (platelet) වල ක්‍රියාකාරිත්වය කෙරෙහිද බලපෑම් ඇති කරනවා.

බොහෝ විට මානසික රෝගී තත්වයක මූලික ලක්ෂණයන් ලෙස පෙන්නුම් කරන්නේ කායිකව දැනෙන වේදනාවන් හෝ අපහසුතා වේ. කාංසාව, විශාදය වැනි මානසික රෝගී තත්වයන් හි මූලික ලක්ෂණය පපුවේ වේදනාවක් දැනීම විය හැකිය. හෘද රෝගීන් අතර කාංසාව හෝ විශාදයට ලක් වූ අයගේ ප්‍රතිශතය සාමාන්‍ය ජනතාව අතර ඉන්නා කාංසාව හෝ විශාදයට පත්වූ අයගේ ප්‍රතිශතයට වඩා දෙගුණයකින් වැඩි අගයක් පෙන්වයි.

z eco

 

හෘදයාබාධ ඇතිවීමෙන් සහ ස්ටෙන්ට් දැමීමට හෝ බයිපාස් සැත්කමකට මුහුණ දුන් රෝගීන්ගෙන් වැඩි දෙනෙක් අතර කාංසාව සහ විශාදය වැනි තත්වයන් දැකිය හැකි වේ. කිසියම් මානසික රෝගයකින් පෙළෙන අයෙකුට හෘදයාබාධයක් ඇතිවීමටත් ඒ නිසා මියයාමටත් ඇති නැඹුරුව අනිකුත් සාමාන්‍ය අයට වඩා වැඩිය. එමෙන්ම ජීවත්ව ඉන්නා හෘද රෝගීන්ගේ ජීවත්ව සිටින කාලය මනා කායික සහ මානසික සුවයකින් යුතුව පවත්වා ගැනීමට කාංසාව සහ විශාදය බාධාවක් වේ.

කෙසේ වෙතත් එවැනි රෝගීන්ගේ රෝග තත්වයන් හොඳින් හඳුනා ගෙන මානසික රෝගවලට නිසි ලෙස ඖෂධ මගින් සහ මනෝ උපදේශනය වැනි මානසික සෞඛ්‍යය ගොඩ නංවා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීම තුලින් ප්‍රතිකාර කළ විට ඔවුන්ගේ රෝග තත්වය පාලනය කර ගැනීමට සහ ජීවත් වන කාලය දිගු කර ගැනීමට ඔවුනට හැකිවේ.

 

188520926 100699205583147 8877320996377655918 n

හොඳ සමාජ සම්බන්ධතා නොමැති වීම, ආර්ථික සහ සමාජීය වශයෙන් අඩු මට්ටමක ජීවත් වීමට සිදුවීම, අඩු ආදායම් ලැබෙන හෝ සමාජයේ එතරම් පිළිගැනීමක් නොලැබෙන රැකියාවක නියුතු වීම, අඩු අධ්‍යාපනයක් සහිත වීම සහ එතරම් හිතකර නොවන වටපිටාවක ජීවත්වීමට සිදුවීම වැනි කරුණුත් හෘදය ආශ්‍රිත රෝගවලට හේතු වනවා. මෙවැනි ජීවන රටාවන් හා බැඳුනු දුම්පානය, මත්පැන් පානය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත්, සෞඛ්‍ය සම්පන්න නොවන, ශරීරයට අහිතකර ආහාරපාන ගැනීමත් එසේ හෘද රෝග අවදානම වැඩි වීමට හේතු විය හැකියි. එසේම එවැනි පුද්ගලයන් සමාජයෙන් දුරස් වීම තුල ජීවිතයේ හුදකලාවීම, තමන්ට කතා කිරීමට හෝ දුක සැප බෙදා ගැනීමට කෙනෙකු නැතිවීම ද තවත් හේතුවක්.

විෂාදය යනු කුමක් ද...? | නිලක්ෂි බණ්ඩාර

 

තවද රැකියාව කරන කාලය තුල ඇතිවන දැඩි මානසික පීඩා, රැකියාවෙන් ඇතිවන විශාල ශාරීරික වෙහෙස, දීර්ඝ ලෙස දිනකට පැය ගණනාවක් රැකියාව කිරීමට සිදුවීම, රැකියා ස්ථානයේ මුහුණ දීමට සිදුවන කෙළවරක් නොමැති ගැටළු සහ අසාධාරණයට බඳුන් වීමට සිදුවීම වැනි කරුණුද හෘදයාබාධයන් නිසා සිදුවන අකල් මරණවලට හේතු වෙනවා. රැකියාව මෙන්ම පවුල් ජීවිතය තුලද යමෙක් දැඩි ලෙස ආතතියට පත්වෙයි නම් එයද හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි වීමට හේතුවක්. පිරිමි අයට වඩා කාන්තාවන් දැඩි මානසික ආතතිය නිසා හෘද රෝගවලට භාජනය වීමේ වැඩි නැඹුරුවක් දක්වනවා.

තවද විශ්වාසය බිඳවැටීමකින් හෝ තමා අකමැතිම දෙයක් සිදුවීම තුල කෙනෙක් දැඩි ලෙස කෝපයට පත්වී පළිගැනීමට ක්‍රියාකරයි නම්, ඒ නිසාම ආවේගශීලී සහ කලහකාරී ස්වභාවයක් පෙන්වයි නම් එවැනි අයටද හෘද රෝග ඇතිවිමේ වැඩි අවදානමක් තිබෙනවා. මෙයට තවත් හේතුවක් වන්නේ එවැනි අය පෙන්වන හැසිරීම නිසා, රැකියාව කරන ස්ථානයේ, සමාජයේ හෝ තමාගේ පවුල තුලම ඔවුන් තනිවීමයි. ඉහතදී සඳහන් කළ පරිදි මානසික වශයෙන් තනිවීම, සමාජ ආශ්‍රයෙන් ඈත් වීම හෘද රෝග සෑදීමට විශාල බලපෑමක් ඇතිකරන නිසා එවැනි ආවේගශීලී සහ කලහකාරී චරිත ස්වභාවයක් ඇති අයට බොහෝ විට හෘද රෝග ඇතිවීමට ඉඩ තිබෙනවා.

භාවනාව: ආතතිය නිසා ඇති වන රුධිර පීඩනය මැඩලන මාර්ගෝපදේශ අතරට

භාවනා කිරීම, යෝග ව්‍යායාම කිරීම හෝ මනා සිහිය පවත්වා ගැනීමේ අනෙකුත් ක්‍රියාකාරකම් තුලින් වඩා හොඳ හෘද සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීමටත් සමස්ත ජීවිතයේ යහ පැවැත්ම රඳවා ගැනීමටත් හැකි වෙනවා. භාවනා කිරීම තුලින් හෘද ස්පන්දන වේගය අඩු කර ගැනීමට, රුධිර පීඩනය යාමනය කර ගැනීමට සහ සිරුර තුල ඔක්සිජන් භාවිතය මනා ලෙස සිදු කරගැනීමට හැකි වෙනවා.

එමෙන්ම මනා සිහිය පවත්වා ගැනීම තුලින් දුම් පානයෙන් ඈත් වීමට පහසු වන අතර යෝග ව්‍යායාම හෝ වෙනත් ශාරීරික ව්‍යායාම වඩා හොඳින් සිදු කිරීමටත්, සුවදායක නින්දක් ලබා ගැනීමටත්, සිරුරට හිතකර අන්දමින් ආහාර පාන ගැනීමටත්, ස්ථූලතාවය අඩු කර ගැනීමටත්, මානසික ආතතීන් පාලනය කර ගැනීමට සහ විශාදය, කාංසාව වැනි මානසික ව්‍යාකූලතාවයන් අඩුකර ගැනීමටත් හැකි වෙනවා. වෙනත් අයුරකින් කියනවා නම් කල්පනාවෙන්, හොඳ සිහියෙන් ජීවත් වීම තුලින් අපගේ සිරුරටත් මනසටත් වඩා හොඳ සුවතාවයක් ලබා ගත හැකි වෙනවා.

Screenshot 2023 09 24 at 11.13.37

 

ඉතින් යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම අපගේ හෘදයේ සුවතාවයට පමණක් නොව සම්පූර්ණ සිරුරේම යහ පැවැත්මටත් වඩා හොඳ ජීවිතයක් ගත කිරීමටත් අපට උපකාර වන බව දැන් ඔබට වැටහෙනවා නේද? මේ කරුණු හොඳින් මතකයේ තබා ගනිමු.

(සටහන | යමුනා සරෝජනී ගුණවර්ධන)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...