BREAKING
Top Ad
Life

ඔබත් දේශීය සුනඛයන් මෝඩ යැයි කියනවා ද? එහෙනම් මෝඩ ඔබ මිස ඔවුන් නොවේ!

T

The Leader

March 27, 2026 • 1:02 AM

ඔබත් දේශීය සුනඛයන් මෝඩ යැයි කියනවා ද? එහෙනම් මෝඩ ඔබ මිස ඔවුන් නොවේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතීතයේ සිටම ශ්‍රී ලාංකික නිවෙස්වල නොනිල ආරක්ෂකයා මෙන්ම හිතවත්ම සගයා වූයේ අපේ දේශීය සුනඛයායි.
  • 10,500 තරම් අතීතයකට හිමිකම් කියන බව තහවුරු වී ඇත.
  • මෙයින් පැහැදිලි වන්නේ වසර 12,500කට වඩා වැඩි කාලයක සිට මෙරට මානවයන් සහ සුනඛයන් අතර සමීප සබඳතාවක් පැවති බවකි.
  • තම වර්ගයාගේ පැවැත්ම උදෙසා මානවයා සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට ඉගෙන ගැනීම ද සුනඛයන් තුළ පැවති ස්වයං සංරක්ෂණ උපාය මාර්ගයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොව බොහෝ ශිෂ්ටාචාර වල සේම ශ්‍රී ලංකාවේ සත්ව-මානව සබඳතාව පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යන්නකි. අප රටේ බෙල්ලන්බැඳි පෑලැස්ස වැනි ප්‍රාග් ඓතිහාසික ජනාවාසවලින් හමුවූ සුනඛ දත් සාධක මීට කදිම නිදසුනකි.

නවසීලන්තයේ වයිකාටෝ (Waikato) විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද කාල නිර්ණ පරීක්ෂණවලට අනුව, එම සාධක ක්‍රි.පූ. 10,500 තරම් අතීතයකට හිමිකම් කියන බව තහවුරු වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ වසර 12,500කට වඩා වැඩි කාලයක සිට මෙරට මානවයන් සහ සුනඛයන් අතර සමීප සබඳතාවක් පැවති බවකි. තම වර්ගයාගේ පැවැත්ම උදෙසා මානවයා සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට ඉගෙන ගැනීම ද සුනඛයන් තුළ පැවති ස්වයං සංරක්ෂණ උපාය මාර්ගයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම මෙම මිනිස්-සුනඛ මිතුරු දමේ පුරෝගාමියා මිනිසා නොව සුනඛයා වීම ද විශේෂත්වයකි.

වැරදි මිනුම්දඬු සහ සමාජ ආකල්ප

එහෙත් මෑතකාලීන බටහිර ලෝකයෙන් පැමිණි “සුනඛ බුද්ධිමතුන්ගේ ලැයිස්තු” දෙස බලා අපේ රටේ බොහෝ දෙනෙක් දේශීය සුනඛයන් (Native Dogs) මෝඩ පහේ සතුන් ලෙස වර්ගීකරණය කිරීමට හුරු වී සිටිති. “අපේ මෝඩ බල්ලාට කිව්වට දෙයක් තේරෙන්නේ නැහැ, හැබැයි අල්ලපු ගෙදර ජර්මන් ෂෙපර්ඩ් එකා කියන පමාවට වාඩි වෙනවා” වැනි කතා අපට නිතර ඇසේ. නමුත් සැබෑව නම්, අප සුනඛ බුද්ධිය මැනීමට යොදාගන්නා මිම්ම අතිශයින් වැරදි සහගත වීමයි.

බටහිර පර්යේෂණවලින් බොහෝ විට සුනඛ බුද්ධිය මනින්නේ “Working Intelligence” හෙවත් මිනිසා දෙන විධානයකට වහල් ලෙස කීකරු වීමේ හැකියාව මිස සැබෑ සහජ බුද්ධිය නොවේ. ඔබත් දේශීය සුනඛයන් මෝඩ යැයි කියනවා නම්, සැබවින්ම මෝඩ වී ඇත්තේ ඔවුන්ගේ අසමසම බුද්ධිය තේරුම් ගත නොහැකි ඔබ මිස ඔවුන් නොවේ.

WhatsApp Image 2026 03 27 at 11.25.10 AMහිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධනයන් තම නිවසේ ඇති කළ “කළුවා” නම් දේශීය සුනඛයා

අද වන විට මධ්‍යම පාන්තික සමාජ තරගය කොතෙක් උත්සන්න වී තිබේ ද යත්, තම සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා යොදා ගන්නා උපාංග අතරට ඇති කරන සුනඛයා ද එක් කරගෙන තිබේ. එහෙත් එවැනි සමාජ තරගයක පාර්ශ්වකරුවකු නොවූ හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධනයන් තම නිවසේ ඇති කළ “කළුවා” නම් දේශීය සුනඛයා පිළිබඳව එතුමාගේ චරිතාපදානවල පවා සඳහන් වේ. වරක් ජේ. ආර්. ජයවර්ධනයන් හමුවට පැමිණි ප්‍රභූවරයකු, තමන් ඉදිරියට පැමිණි කළුවාට “ගෙට් අවුට්” (Get out) යනුවෙන් සැර දැම්මේය. එවිට එතැනට පැමිණි ජයවර්ධනයන් “ඕකා ඉංග්‍රීසි දන්නේ නැහැ” යැයි එම අමුත්තාට කියා “කළුවෝ පලයන්” යැයි ඒ සුනඛයාට කී රසවත් කතාව පොතපතට පවා එක්ව තිබේ.

පැවැත්මේ බුද්ධිය (Survival Intelligence)

දේශීය සුනඛයාගේ බුද්ධිය පවතින්නේ හුදු කීකරුකම තුළ නොව, “Survival Intelligence” හෙවත් පැවැත්ම සඳහා ස්වාධීනව තීරණ ගැනීමේ සුවිශේෂී හැකියාව තුළයි. ස්වයං සංරක්ෂණය යනු ඕනෑම ජීවියෙකුගේ මූලික පැවැත්ම තීරණය කරන ස්වාභාවික සහජ බුද්ධියයි. මෙහි වඩාත් ප්‍රකට ලක්ෂණය වන්නේ ‘සටන් කිරීම හෝ පලායාම’ (Fight-or-Flight) ප්‍රතිචාරයයි.

අභිජනනය කරන ලද සුනඛ වර්ගවලට වඩා ස්වාභාවික පරිසරයට හැඩගැසුණු දේශීය සුනඛයන් තුළ මෙම ස්වයං සංරක්ෂණ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී. බෝඩර් කොලි හෝ ජර්මන් ෂෙපර්ඩ් වැනි සුනඛයන් සැමවිටම තම ස්වාමියා දෙස බලා සිටින්නේ ඊළඟ විධානය ලැබෙන තුරුය. ඔවුහු යම් තාක් දුරකට පුහුණු කළ යන්ත්‍ර මෙන් ක්‍රියා කරති. නමුත් අපේ දේශීය සුනඛයෙකුගේ හැසිරීම මීට වඩා බෙහෙවින් වෙනස්ය.

aloka 4

ඔහු තමන්ගේම බුද්ධියෙන් තත්ත්වය විශ්ලේෂණය කරයි. පැමිණ සිටින්නේ මිතුරෙක්ද, සතුරෙක්ද, නැතිනම් මගියෙක්ද යන්න ඔහුගේ ඇඳුම් පැළඳුම්, හැසිරීම සහ ස්වාමියා දක්වන ප්‍රතිචාරය දෙස බලා මොහොතකින් තීරණය කිරීමට තරම් “Cognitive Autonomy” හෙවත් සංජානනීය ස්වාධීනත්වයක් දේශීය සුනඛයා සතුය. පසුගිය දා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂිංටනය දක්වා සාම පා ගමනක යෙදුණු බෞද්ධ භික්ෂූන් කණ්ඩායම සමඟ ස්වේච්ඡාවෙන් එක් වූ මෙම සුනඛ පභේදයට අයත් “ආලෝකා” නම් ඉන්දියානු වීදි සුනඛයාගේ කාර්යභාරය ද මෙම දේශීය සුනඛ ප්‍රජාව වෙත නව ආලෝකයක් එල්ල කිරීමට සමත් විය.


පූර්ව අනුමාන මොළය (Predictive Brain)

dog 1

මෙම සතුන්ගේ ගැටලු විසඳීමේ හැකියාව අතිශය විස්මිතය. ආහාරයක් සොයා ගැනීම හෝ සතුරෙකුගෙන් බේරීම වැනි දේවලදී ඔවුන් දක්වන දක්ෂතාවට මිල අධික විදේශීය අභිජනන සුනඛයන්ට (Breed Dogs) අහලකටවත් පැමිණිය නොහැකිය. විශේෂයෙන්ම දේශීය සුනඛයන් සතු “Predictive Brain” හෙවත් පූර්ව අනුමාන මොළය ගැන සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස, මහා මාර්ගයකදී වාහනයක වේගය සහ දුර නිවැරදිව අනුමාන කර පාර පැනීමට දේශීය සුනඛයන් දක්වන සහජ හැකියාව අභිජනන සුනඛයන්ට බොහෝ විට නැත.

දේශීය සුනඛයන්ට ඇත්තේ ස්වාභාවික වරණයෙන් (Natural Selection) ඔපමට්ටම් වූ මොළයකි. විදේශීය සුනඛයන් බොහෝ විට බෝ කරන්නේ පෙනුම හෝ එක් විශේෂ කාර්යයක් සඳහා වුවද, අපේ දේශීය සුනඛයන් සියවස් ගණනාවක් තිස්සේ පරිසරයේ කර්කශ බවට මුහුණ දී බේරී ආ පිරිසකි.

සංවේදී මිතුදම සහ ආත්මගරුත්වය

ස්වයං සංරක්ෂණය යන්න හුදු පැවැත්මෙන් ඔබ්බට ගොස් මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දක්වා විහිදී යයි. විෂ සහිත (Toxic) සබඳතාවලින් මිදීම සඳහා සීමා මායිම් පැනවීම (Setting Boundaries) සහ ස්වයං රැකවරණය (Self-care) සඳහා යොමු වීම මෙහි ලක්ෂණයකි. සුනඛයන් සතු පූර්ව අනුමාන මොළය මඟින් මිනිසකුගේ ශරීර භාෂාව කියවීමේ හැකියාව (Body Language Reading) ප්‍රශංසනීයය.

dog 5

ඔවුන් තම හාම්පුතා සමඟ ගොඩනඟා ගන්නේ වහල් සේවකයෙකුගේ සබඳතාවයක් නොව, ගෞරවනීය මිතුදමකි. හාම්පුතා දුකෙන් සිටින විට ළඟට වී නිහඬව සිටීමටත්, ඔහු සතුටින් සිටින විට සෙල්ලමට ඇරඹුමක් දීමටත් තරම් ඔවුන් සංවේදීය. ඔවුන් කීකරු වන්නේ තමන්ට ආදරය දක්වන, තමන්ව තේරුම් ගන්නා ස්වාමියාට පමණක් වීම ඔවුන්ගේ ආත්මගරුත්වය විදහා දක්වන්නකි. තම හාම්පුතා සහ ඔහුගේ සන්තකය ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කිරීමට ඔවුන්ට කිසිවකුගේ අණක් විධානයක් අවශ්‍ය නොවේ.


දේශීය සුනඛයා යනු පිරිපහදු නොකළ දියමන්තියක් බඳු සත්වයෙකි. බුද්ධිය මැනිය යුත්තේ විධානයකට අනුව පසුපස කකුල් දෙකෙන් සිට ගැනීමෙන් නොව, තීරණාත්මක අවස්ථාවකදී ස්වාධීනව සිතා ක්‍රියා කිරීමෙනි. අපේ දේශීය සුනඛයා යනු කීකරුකම ඉක්මවා ගිය අසමසම බුද්ධියක සහ නොබිඳෙන විශ්වාසවන්තකමක ජීවමාන සංකේතයයි.

Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)
  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...