BREAKING
Top Ad
Life

රෝගීන්ට වඩාත් අහිතකර හිරු එළියද? තද උණුසුමද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

April 16, 2026 • 10:58 PM

රෝගීන්ට වඩාත් අහිතකර හිරු එළියද? තද උණුසුමද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍යවරයකු රෝගියකු වෙත ලබා දෙන උපදෙස් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, රෝගියකු සිය රෝගාතුර සමය හෝ ජීවිත කාලය පුරා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍ය රීති වන ‘නිති උපදෙස්’ සහ පවතින කාලගුණික විපර්යාසය ආදියට අනුව ලබා දෙන ‘කාලීන උපදෙස්’ වශයෙනි.
  • මෙම අවදානම සූර්යාලෝකය (Sunlight) පදනම් වන්නක් බවට පොදු ජන විශ්වාසයක් තිබේ.
  • මෙය ශාකවල ප්‍රභාසංශ්ලේෂණයට මෙන්ම මිනිස් සිරුරේ විටමින් D නිපදවීමට උපකාරී වුවද, අධික ලෙස නිරාවරණය වීමෙන් සම පිළිස්සීම (Sunburn) සහ දීර්ඝකාලීනව සමේ පිළිකා ඇති විය හැකිය.
  • එහෙත් වර්තමාන කාලගුණික තත්ත්වය තුළ රෝගීන්ට වඩාත් ක්ෂණිකව සහ දරුණු ලෙස බලපාන්නේ සූර්යාලෝකය නොව සූර්ය තාපයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්තමානයේ අප අත්විඳින අධික උණුසුම් කාලගුණය හමුවේ, රෝගීන් සහ අවදානම් සහිත පුද්ගලයන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අවදානම සූර්යාලෝකය (Sunlight) පදනම් වන්නක් බවට පොදු ජන විශ්වාසයක් තිබේ. එහෙත් මෙය නිවැරදිව තේරුම් ගැනීමට නම් සූර්යාලෝකය සහ සූර්ය තාපය (Solar Heat) අතර වෙනස මෙන්ම සිරුරට ඉන් සිදුවන බලපෑම වටහා ගත යුතු ය.

Young man and heat stroke.

සූර්යාලෝකය යනු ඇසට පෙනෙන දෘශ්‍ය ආලෝකය සහ පාරජම්බුල (UV) කිරණවල එකතුවකි. මෙය ශාකවල ප්‍රභාසංශ්ලේෂණයට මෙන්ම මිනිස් සිරුරේ විටමින් D නිපදවීමට උපකාරී වුවද, අධික ලෙස නිරාවරණය වීමෙන් සම පිළිස්සීම (Sunburn) සහ දීර්ඝකාලීනව සමේ පිළිකා ඇති විය හැකිය. එහෙත් වර්තමාන කාලගුණික තත්ත්වය තුළ රෝගීන්ට වඩාත් ක්ෂණිකව සහ දරුණු ලෙස බලපාන්නේ සූර්යාලෝකය නොව සූර්ය තාපයයි. මෙය ප්‍රධාන වශයෙන් අධෝරක්ත කිරණ (Infrared rays) මගින් ඇති කරන තාප ශක්තියයි. විශේෂයෙන්ම සෘජු හිරු එළියට නිරාවරණය වුණද, අවට පරිසරයේ වාතය රත්වීමෙන් ඇතිවන ‘පරිසර උෂ්ණත්වය’ (Ambient Heat) හේතුවෙන් කුඩා දරුවන්ගේ වියපත් වූවන්ගේ සහ රෝගීන්ගේ සිරුරු විජලනයට පත්විය හැකිය. මෙම තාප බලය සෙවිළි තහඩු කොන්ක්‍රීට් ස්ලැබ් ආදිය මඟින් ගොඩනැඟිලි තුළට ද පිවිසිය හැක. මීට අමතරව සුළං ප්‍රවාහයන් අවම වීම නිසා ද මෙම තත්වය පැතිර යා හැක. නිවසක් තුළ පවතින රත් වූ මුළුතැන්ගෙවල් හෝ වාතාශ්‍රය රහිත සංවෘත කාමර හෝ වාහන තුළ පවතින ‘දැඩි රශ්මිය’ අහිතකර වේ.

ඉහත සඳහන් තත්වයන් යටතේ පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම නිසා සිරුර අධික ලෙස රත් වීමෙන් ප්‍රධාන සෞඛ්‍ය ගැටලු කිහිපයක් මතු වේ. මුලින්ම අධික ලෙස දාඩිය දැමීම, වේගවත් හෘද ස්පන්දනය සහ ක්ලාන්තය සහිත ‘උෂ්ණත්වය නිසා ඇතිවන අප්‍රාණිකත්වය’ (Heat Exhaustion) ඇති විය හැකිය. “අද මගේ ඇඟට මෙලෝ පණක් නෑ”එවිට බොහෝ දෙනෙක් කියති.මෙහි බරපතලම අවස්ථාව වන්නේ තාප ආඝාතය හෙවත් හීට් ස්ට්‍රෝක් (Heatstroke) තත්ත්වයයි. 37∘C (98.7∘F) වශයෙන් පැවතිය යුතු සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය 40∘C (104∘F) ට වඩා ඉහළ යන විට මොළය, හදවත සහ වකුගඩුවලට ස්ථිර හානි සිදුවිය හැකි අතර එය ජීවිත අවදානමක් සහිත හදිසි අවස්ථාවකි. මීට අමතරව උණුසුම හමුවේ මාංශ පේශි වෙහෙස වීමෙන් ඇතිවන ‘මස්පිඩු පෙරළීම’ (Heat Cramps) ද බහුලව දැකිය හැකිය.

heart attack 250704

ඒ අනුව හෘද රෝගීන් සහ වියපත් පුද්ගලයන් මෙම උනුසුම් කාලසීමාවේදී අතිශය ප්‍රවේශම් විය යුතුය. සිරුර සිසිල් කිරීමට නම් හදවත සාමාන්‍යයට වඩා වේගයෙන් රුධිරය පොම්ප කළ යුතු අතර, මෙය හෘදයට දැඩි පීඩනයක් (Increased Cardiac Output) එල්ල කරයි. උණුසුම නිසා රුධිර නාල ප්‍රසාරණය වීමෙන් රුධිර පීඩනය හදිසියේ පහත වැටිය හැකි අතර, විජලනය නිසා රුධිරය ඝන වීමෙන් (Blood Viscosity) රුධිර කැටි ගැසීමේ අවදානම ද වැඩි වේ. විශේෂයෙන්ම මුත්‍රා කාරක (Diuretics) වැනි ඖෂධ ලබාගන්නා රෝගීන්ගේ සිරුරේ ජලය වැඩිපුර බැහැර වන බැවින් ඔවුන් ඉතා ඉක්මනින් විජලනයට පත් වේ. වියපත් පුද්ගලයන්ගේ සිරුරේ ස්වාභාවික සිසිලන පද්ධතිය දුර්වල බැවින් සහ ඔවුන්ට පිපාසය දැනීම අඩු බැවින්, ඔවුන් නොදැනුවත්වම වකුගඩු ආබාධවලට හෝ මානසික ව්‍යාකූලත්වයට පත්වීමේ ඉඩකඩ වැඩිය.


මෙම පීඩාකාරී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රායෝගික පියවර කිහිපයක් අනුගමනය කළ යුතු ය. පිපාසය දැනෙන තෙක් නොසිට දිනකට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සිරුරට පහසු ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් භාවිත කිරීම සහ දහවල් 10 සිට සවස 4 දක්වා කාලය තුළ තාපයට නිරාවරණය වීම අවම කිරීම අත්‍යවශ්‍ය වේ. නිවස තුළ වාතාශ්‍රය තහවුරු කිරීමට ජනෙල් විවෘත කර තැබීම හෝ විදුලි පංකා භාවිතය මෙන්ම හැකි සෑම විටම වෘක්ෂලතා ආශ්‍රිත සෙවණ ලබා ගැනීම වැදගත් වේ. මෙහි දී දිගු කාලීන පියවරක් ලෙස රුක් රෝපණය අතිශය වැදගත් ය. තුරු ලිය සතු මෙම මිනිසාට ජීවය දීමේ විස්මිත හැකිවාව විද්‍යාත්මක නොවූ මනැසකින් වටහා ගත් අපගේ ආදිතමයන් ගස් වැල් සඳහා දේවත්වයක් ආරෝපණය කිරීම නිසරු කටයුත්තක් සේ සිතීමට අපට නොපුළුවන.

 

heat feat

 එමෙන්ම අතීතයේ දුර බැහැර ගමන් යන්නවුන් එම මාවත් අද්දර සුවිසල් රුක් සෙවන යට හෝරාවක් දෙකක් විවේක ගැනීමෙන් ද ඉහත තත්වයන් සමනය කර ගත් බව පෙනේ.නමුත් මේ අතරේ යම් අයෙකුට අධික උෂ්ණත්වය නිසා අපහසුතාවක් ඇති වුවහොත් වහාම සෙවණ ඇති සිසිල් ස්ථානයකට ගෙන ගොස්, අතිරික්ත ඇඳුම් ඉවත් කර, තෙත රෙදි කඩකින් සිරුර පිසදමා සිසිල් කරමින් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. අප ජන සමාජයට අදටත් එතරම් හුරු නොවූ මෙම ක්‍රමය අපට වඩා සෘතු භේදය දැඩිව බලපාන ඉන්දීය ජන වෛද්‍යකමේ ශීතල උපචාර ලෙස දක්වා තිබේ.නමුත් එවැනි අවස්ථා වල සිසිල් දිය ස්නානය කිරීම ද අතිශය අන්තරාකාරී ය. එබැවින් සාරාංශයක් ලෙස පැවසිය හැක්කේ රෝගීන්ට හිරු එළියට වඩා ‘තද උණුසුම’ සෘජු සහ මාරාන්තික බලපෑම් එල්ල කරන බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය බවකි.

Namal Wijesinghe Prof
| වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...