BREAKING
Top Ad
Life

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

May 12, 2026 • 2:28 AM

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි.
  • මෙය වඩාත් නිශ්චිත විද්‍යාත්මක නිර්වචනය ලෙස පිළිගැනෙයි.
  • මෙයින් අදහස් කරන්නේ මොළ දණ්ඩ (Brainstem) ඇතුළු මුළු මොළයේම ක්‍රියාකාරිත්වය ආපසු හැරවිය නොහැකි ලෙස නතර වී ඇති බවයි.
  • ශ්වසනය වැනි වැදගත් ස්වයංක්‍රීය ක්‍රියාවලීන් පාලනය කරනු ලබන්නේ මෙම මොළ දණ්ඩ මගින් වීම නිසා, මොළය මිය යාම මරණය පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක නිර්වචනය ලෙස පිළිගැනෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක හෝ වෛද්‍යමය වශයෙන් පූර්ණ නිවැරදි නිර්වචනයක් නොවේ. නමුත් ඒ පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති.

නවීන වෛද්‍ය විද්‍යාවට අනුව මරණය ප්‍රධාන නිර්ණායක දෙකක් මත තීරණය වේ:

 

MASK nurse hand shutterstock 279314312 copy
ඉන් මුල්ම නිර්ණායකය සායනික මරණය (Clinical Death) යි. හෘද ස්පන්දනය, රුධිර සංසරණය සහ ස්වයංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) සම්පූර්ණයෙන්ම නතර වීම මත මෙය තීරණය වේ.

මෙහි දෙවන නිර්ණායකය මස්තිස්ක මරණය (Brain Death) යි. මෙය වඩාත් නිශ්චිත විද්‍යාත්මක නිර්වචනය ලෙස පිළිගැනෙයි. මෙයින් අදහස් කරන්නේ මොළ දණ්ඩ (Brainstem) ඇතුළු මුළු මොළයේම ක්‍රියාකාරිත්වය ආපසු හැරවිය නොහැකි ලෙස නතර වී ඇති බවයි. ශ්වසනය වැනි වැදගත් ස්වයංක්‍රීය ක්‍රියාවලීන් පාලනය කරනු ලබන්නේ මෙම මොළ දණ්ඩ මගින් වීම නිසා, මොළය මිය යාම මරණය පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක නිර්වචනය ලෙස පිළිගැනෙයි. නමුත් ඉන් සායනික මරණය විද්‍යාත්මකව නොපිළිගැනෙන බවක් අදහස් නොවේ.

මරණයකදී ශ්වසනය නතර වීම අනිවාර්ය වුවත්, එය හුදෙක් “අවසන් සුසුම” යන අදහස පෙරදැරිව “හුස්ම පිට කිරීමක්” ලෙස පමණක් අර්ථ දැක්විය නොහැක. සාමාන්‍ය ශ්වසන චක්‍රයකට ආශ්වාසය (Inspiration) සහ ප්‍රශ්වාසය (Expiration) යන දෙකම ඇතුළත් වන අතර, මරණය සිදුවන මොහොතේ පුද්ගලයා හුස්ම ගනිමින් හෝ පිට කරමින් සිටිය හැකිය. එබැවින් අවසාන ක්‍රියාව ප්‍රශ්වාසයක්ම විය යුතු යැයි නියමයක් නැත.

awasan husma2

 

සාමාන්‍ය ජන වහරේ “පණ අදිනවා” ලෙස හැඳින්වෙන තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී Agonal Breathing ලෙස හැඳින්වේ. මෙය මරණයට ආසන්න මොහොතක හෝ හෘදයාබාධයක් වැනි බරපතල තත්ත්වයකදී දැකිය හැකි අසාමාන්‍ය, අක්‍රමවත් සහ වෙහෙසකාරී ශ්වසන රටාවකි. මෙය සැබෑ ශ්වසනයක් නොවන අතර, මොළයට ඔක්සිජන් නොමැති විට මොළ දණ්ඩ මගින් ඇති කරන ප්‍රත්‍යාවර්තී ක්‍රියාවකි (Reflex). මෙහි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි:

ශ්වසනයේ අක්‍රමවත් බව: රිද්මයානුකූල රටාවක් නොමැති අතර, හුස්ම ගැනීම් අතර දිගු විරාමයන් පැවතිය හැකිය.

මින් ගෙරවීමක් හෝ “ගොරොද්දය ඇදීම” ලෙස හැඳින්වෙන ගොරගොර ශබ්දයක් (Gurgling) ඇති විය හැකිය.

ඒ අතරේ බෙල්ලේ සහ පපුවේ මාංශ පේශි හුස්ම ගැනීම සඳහා දැඩි ලෙස වෙහෙසෙන බව පිටතට පෙනේ. එවිට බොහෝ දෙනෙකු සිතනුයේ එය ඒ පුද්ගලයාගේ නියත මරණය අඟවන අවස්ථාවක් බවයි.

Gasping යනු ද මීට සමාන තත්ත්වයකි. හුස්ම ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරමින් මුඛය ඇරගෙන හුස්ම ගැනීමට උත්සාහ කිරීම මෙහිදී දක්නට ලැබේ. මෙය දියෙන් ගොඩදැමූ මාළුවෙකුගේ හැසිරීමට සමාන වේ.

 

cardg5

Gasping ඇති වීමට ප්‍රධාන හේතු කිහිපයකි. හෘදයාබාධ (Myocardial Infarction), හෘද ක්‍රියාකාරීත්වය නතර වී ඇති විටෙක (Cardiac Arrest): හෘද ස්පන්දනය නැවතුණු විට මොළයට ඔක්සිජන් නොලැබීම නිසා ඇති වන ප්‍රත්‍යාවර්තී ක්‍රියාවක් ලෙස මෙය සිදුවේ. දැඩි අසාත්මිකතා (Anaphylaxis): ශ්වසන මාර්ගය ඉදිමී අවහිර වීම, ඇදුම (Asthma) සහ පෙනහළු ආසාදන (Pneumonia): පෙනහළු ධාරිතාව දැඩි ලෙස අඩු වීම, ශ්වසන මාර්ගය අවහිර වීම (Choking): යමක් උගුරේ සිරවීම, අංශභාගය (Stroke) සහ ඖෂධ අධිමාත්‍රාව (Drug Overdose) ඒ අතරින් කිහිපයකි.

මෙසේ යමකුගේ ජීවිතයේ අවසාන අවස්ථාව සේ පෙනෙන Agonal Breathing හෝ Gasping තත්ත්වය “සුවාසේ” යනුවෙන් ද ගැමි වහරේ හැඳින්වේ. එය සංස්කෘත භාෂාවේ ‘ශ්වාස’ යන වදනින් බිහි වූවකි. ‘ශ්වාස’ යන්නෙහි මූලික අරුත වන්නේ “හුස්ම ගැනීම” හෝ “ප්‍රශ්වාසය” යන්නයි. ආයුර්වේදයේදී මෙය රෝගී තත්ත්වයක් හැඳින්වීමට ද යොදාගනී. විශේෂයෙන්ම ඇදුම (Asthma) හෝ හුස්ම ගැනීමේ අපහසුව (Dyspnea) හඳුන්වන්නේ ‘ශ්වාස රෝග’ ලෙසයි. සමහර අවස්ථාවලදී මෙය ජීවය හෝ ප්‍රාණය හැඳින්වීමට ද උපලක්ෂණයක් ලෙස භාවිතා වේ.

 

Man checks for breathing in unconscious elderly man experiencing cardiac arrest
නමුත් මෙවන් දරුණු රෝගී තත්ත්වයන් සඳහා නවීන විද්‍යාත්මක විසඳුම් නොතිබූ අතීතයේ රෝගියාට ආගමික සහනයක් ලබා දීම පමණක් සිදු වුවද, යමකු මෙවැනි තත්ත්වයක පසු වේ නම්, එය හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මාරාන්තික අවස්ථාවක් බව නිසැක ලෙසම කිව යුතුය.

පුද්ගලයා සිහිසුන්ව සහ සාමාන්‍ය පරිදි හුස්ම නොගන්නේ නම්, වහාම CPR (Cardiopulmonary Resuscitation) හෙවත් පපුව තෙරපීම සහ කෘතිම ශ්වසනය ලබා දීම ආරම්භ කළ යුතුය. මෙය මරණයට ආසන්න මොහොතක සලකුණක් වුවද, CPR ලබා දීමෙන් පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් පවතී. එබැවින් එය හුදෙක් “අවසන් සුසුම” ලෙස සලකා උපකාර කිරීමෙන් වැළකී නොසිටිය යුතුය. මක් නිසාද නිසි විද්‍යාත්මක ප්‍රවේශයකින් කටයුතු කිරීමෙන් අහිමි වෙමින් පවතින ඒ පුද්ගලයාගේ ජීවිතය නැවත ඔහුට ලබා දිය හැකි බැවිනි.


Namal Wijesinghe Prof| වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...