BREAKING
Top Ad
Life

'මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි' | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader

June 17, 2026 • 4:09 AM

'මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි' | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය.
  •   සාමාන්‍යයෙන් අප හෘද රෝග ඇති වීමට බලපාන කොලෙස්ටරෝල්, දියවැඩියාව හෝ දුම්බීම වැනි ශාරීරික සාධක ගැන නිතර කතා කළත්, මිනිසෙකුගේ මානසික තත්ත්වය ද හෘද රෝග අවදානමට සෘජුවම සම්බන්ධ වන බව වර්තමාන වෛද්‍ය විද්‍යාව මගින් තහවුරු කර ඇත.
  • මෙය අප බොහෝ දෙනකු පවසන “ඒක නම් මගේ පපුවටම වැදුණා” යන වදනේ වඩාත් නිවැරදි විද්‍යාත්මක ප්‍රකාශනයකි.
  • මෙවැනි මානසික රෝග සඳහා දිගු කාලයක් තිස්සේ ඖෂධ ලබාගන්නා බොහෝ දෙනෙක්, අවසානයේදී හෘදයාබාධ (Heart Attacks), ආඝාතය (Stroke) හෝ වෙනත් හෘද වාහිනී රෝගයකට ගොදුරු වීමේ අවදානමකට මුහුණ දෙන බව නිරීක්ෂණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එමෙන්ම මේ වන විට ලෝකයේ තරුණ පරපුර අතර සිදුවන අකල් මරණවලට ප්‍රධානතම හේතු අතුරින් එකක් වන්නේ හෘදය හා සම්බන්ධ කිරීටක ධමනි රෝගයයි (Coronary Artery Disease). එබැවින් ඔවුන් ඒ පිළිබඳව ද දැනුවත් වී සිටිය යුතුය.

 

heart doctor

සාමාන්‍යයෙන් අප හෘද රෝග ඇති වීමට බලපාන කොලෙස්ටරෝල්, දියවැඩියාව හෝ දුම්බීම වැනි ශාරීරික සාධක ගැන නිතර කතා කළත්, මිනිසෙකුගේ මානසික තත්ත්වය ද හෘද රෝග අවදානමට සෘජුවම සම්බන්ධ වන බව වර්තමාන වෛද්‍ය විද්‍යාව මගින් තහවුරු කර ඇත. මෙය අප බොහෝ දෙනකු පවසන “ඒක නම් මගේ පපුවටම වැදුණා” යන වදනේ වඩාත් නිවැරදි විද්‍යාත්මක ප්‍රකාශනයකි. විශේෂයෙන්ම උග්‍ර විශාදය (Major Depression), කාංසාව (Anxiety Disorders), භීතික ප්‍රහාර (Panic Attacks), භින්නෝන්මාදය (Schizophrenia) සහ පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD) වැනි මානසික සෞඛ්‍ය ගැටලු සහිත පුද්ගලයන්ට හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉතා ඉහළ වන අතර මේ සඳහා වයස් භේදයක් නැත. මෙවැනි මානසික රෝග සඳහා දිගු කාලයක් තිස්සේ ඖෂධ ලබාගන්නා බොහෝ දෙනෙක්, අවසානයේදී හෘදයාබාධ (Heart Attacks), ආඝාතය (Stroke) හෝ වෙනත් හෘද වාහිනී රෝගයකට ගොදුරු වීමේ අවදානමකට මුහුණ දෙන බව නිරීක්ෂණය කර ඇත. එහි අවසන් ප්‍රතිඵලය කුමක්ද යන්න මා අමුතුවෙන් කිව යුතු නැත.

දැඩි චිත්ත පීඩාවන් වැනි තත්ත්වයන් මත මනස දිගුකාලීනව ආතතියට හෝ අවුලකට ලක් වූ විට, ශරීරයේ ස්නායු පද්ධතිය සහ හෝමෝන ක්‍රියාවලිය වෙනස් වෙමින් හදවතට විවිධ ආකාරයෙන් හානි පමුණුවයි. ආතතිය නිසා කෝටිසෝල් (Cortisol) සහ ඇඩ්‍රිනලින් (Adrenaline) වැනි හෝමෝන ශ්‍රාවය වීම වැඩි වන අතර, එමගින් රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය ඉහළ යයි. මීට අමතරව, හදවතේ රුධිර නාලවල දැවිල්ල හෝ ආසාදන තත්ත්වයන් (Inflammation) ඇති වී ඒවා පටු වීමටත්, රුධිර පට්ටිකා (Platelets) සක්‍රීය වීමෙන් රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි වී නාල අවහිර වීමටත් මෙය හේතු වේ. මෙම හෝමෝන උච්චාවචනයන් නිසා හදවතේ ක්‍රමවත් ගැස්ම වෙනස් වී හෘද රිද්මය අවුල් විය හැකිය (Arrhythmia). එමෙන්ම කවර හේතුවක් මත හෝ මානසිකව ඇද වැටුණු පුද්ගලයෙකුට නිවැරදිව ආහාර ගැනීමට, ඖෂධ භාවිත කිරීමට හෝ ව්‍යායාම කිරීමට ඇති උනන්දුව අඩු වන බව ද පැහැදිලිය. තමන්ට සියල්ල එපා වී ඇතැයි පවසමින් ආහාර, ඖෂධ හා ව්‍යායාම කෙරෙහි නොසැලකිලිමත් වීම සේම, එවැනි අහිතකර චර්යාත්මක වෙනස්කම් ද හෘද රෝග තත්ත්වයන් තවදුරටත් තීව්‍ර කරයි.

මෙම මනස සහ හදවත අතර ඇති සන්නිවේදනය ද්විපාර්ශ්වික එකකි. හෘද රෝග ඇති අය අතර මානසික අවපීඩනය ඇති වීමේ සම්භාවිතාව සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දෙගුණයකින් ඉහළ යන බව අනාවරණය වී තිබේ. හෘදයාබාධයකින් රෝහල් ගත වන හෝ බයිපාස් (Bypass) සැත්කම්වලට භාජනය වන රෝගීන් අතර කාංසාව අතිශය සුලභව දැකිය හැකිය. මානසික අවපීඩනය පවතින විට නැවත වරක් හෘදයාබාධයක් වැළඳීමේ අවදානම සේම ජීවිත අවදානම ද ඉහළ යන අතර, ජීවිතයේ ගුණාත්මකභාවය (Quality of Life) මුළුමනින්ම බිඳ වැටේ. කෙසේ වෙතත්, නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික උපදේශනය (Counseling) මගින් මානසික රෝග නිවැරදිව පාලනය කරගතහොත්, හෘද රෝග නිසා සිදුවන ජීවිත හානි සැලකිය යුතු ලෙස අඩු කරගැනීමේ හැකියාව පවතී. 

Beautiful mature business woman workaholic tired working in the office until the night on overtime

පුද්ගලයෙකු ජීවත් වන සමාජ වටපිටාව ද හදවතේ නිරෝගීභාවයට සෘජුවම බලපායි. ආර්ථික අපහසුතා, රැකියා පීඩනය, නිරන්තර මානසික ආතතිය, දිගු වේලාවක් වැඩ කිරීම සහ පවුල් අර්බුද හෘදයට අහිතකර ලෙස බලපාන අතර, මෙම බලපෑම පිරිමින්ට වඩා කාන්තාවන්ට තදින් දැනෙන බව පෙනේ. සමාජයීය පීඩනය දරාගත නොහැකි වූ විට බොහෝ දෙනෙක් දුම්බීම, මත්පැන් පානය වැනි අන්තරාදායක පුරුදුවලට සේම අහිතකර ආහාර පුරුදුවලට ද ඇබ්බැහි වෙති. තවද, තනිකම, අන් අය සමග අදහස් හුවමාරු නොකිරීම සහ සමාජයීය සහයෝගයක් නොමැති වීම වැනි සමාජයීය හුදෙකලාව ද හෘදයාබාධ අවදානම බෙහෙවින් ඉහළ නංවයි.

පුද්ගල පෞරුෂයන් සහ හැඟීම් ද හෘද සෞඛ්‍යය කෙරෙහි දක්වන්නේ දැඩි සබඳතාවකි. හදිසියේ ඇතිවන දැඩි දුක, කෝපය හෝ පරාජය වැනි තීව්‍ර හැඟීම් නිසා ක්ෂණික හෘදයාබාධ (Acute Coronary Syndromes) ඇති විය හැකිය. පෞරුෂ ලක්ෂණ දෙස බලන විට, නිතරම අන් අය සැක කරන, කෝප වන සහ රණ්ඩු දබරවලට යන සතුරු පෞරුෂයක් (Hostile Personality) ඇති අයට මෙන්ම, නිතරම දුක, බිය වැනි නිශේධනාත්මක හැඟීම් සිතේ සඟවාගෙන සමාජයෙන් වෙන් වී ජීවත් වන ‘D’ වර්ගයේ පෞරුෂයක් (Type D Personality) ඇති අයට ද හෘද රෝග අවදානම ඉතා ඉහළ ය. නමුත් මේවා ආයාසයකින් හෝ වෙනස් කරගත හැකි තත්ත්වයන් සේ සැලකේ.

Yoga Pastel Sun

එමෙන්ම, මනස සැහැල්ලු කරන භාවනාව, සතිමත් බව (Mindfulness), යෝග (Yoga), හුස්ම ගැනීමේ ව්‍යායාම (Breathing Exercises) සහ මාංශ පේශි ලිහිල් කිරීමේ ක්‍රම වැනි මානසික සුවතාවය ඉහළ නංවන ක්‍රියාකාරකම් මගින් හෘද වාහිනී පද්ධතියේ සමතුලිතතාව සුරැකෙන බව සාක්ෂි සහිතව තහවුරු වී ඇත. මෙමගින් ආතති හෝමෝන මට්ටම සහ රුධිර පීඩනය පහළ බසින අතර, හෘද ස්පන්දන වේගය යථා තත්ත්වයට පත් වී හෘදයාබාධ, ආඝාතය සහ අකල් මරණ අවදානම අඩු වේ. එමෙන්ම එය දුම්බීම නැවැත්වීමට, උනන්දුවෙන් ව්‍යායාම කිරීමට සහ සුවදායක නින්දක් ලැබීමට ද මග පාදයි.

සාරාංශයක් ලෙස කිවහොත්, අපගේ මොළය කේන්ද්‍ර කොට ගත් මනස සහ හදවත අතර ඇත්තේ සෘජු හා නොබිඳිය හැකි සබැඳියාවක් හා සන්නිවේදනයකි. ආතතිය, කෝපය සහ තනිකම වැනි අසුබවාදී සිතුවිලි මගින් හෘද රෝග අවදානම ඉහළ නංවන අතර, සතුට, භාවනාව, සිහිය සහ යහපත් සමාජ සබඳතා වැනි ධනාත්මක සිතුවිලි මගින් හෘද රෝග අවදානම අඩු කරයි. එබැවින්, දිගුකාලීන නිරෝගී ජීවිතයක් සඳහා ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය ද සමගාමීව රැක ගැනීම, හෙවත් හිත ලෙඩ කර නොගෙන හොඳින් තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...