BREAKING
Top Ad
Life

එල් නිනෝ තාපය හදවතට එල්ල කරන මාරාන්තික තර්ජනය : හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ ගෙන් අනතුරු ඇඟවීමක්!

T

The Leader

August 3, 2026 • 3:33 AM

එල් නිනෝ තාපය හදවතට එල්ල කරන මාරාන්තික තර්ජනය : හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ ගෙන් අනතුරු ඇඟවීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධික උණුසුම හමුවේ හදවත දෙතුන් ගුණයකින් වැඩිපුර වැඩ කිරීම නිසා හෘදයාබාධ සහ රුධිර කැටි ගැසීමේ අවදානම ඉහළට
  • ඒ, එල් නිනෝ මඟින් ඇති කරන අධික තාපය සෘජුවම ඔබේ හදවතට පහර දෙන ආකාරයයි.
  •   ලෝක කාලගුණ සංවිධානය (WMO) පෙන්වා දෙන්නේ තාප තරංග (Heatwaves) යනු ලෝකයේ පවතින මාරාන්තිකම ස්වභාවික ආපදාවන්ගෙන් එකක් බවයි.
  •     එල් නිනෝ තත්ත්වය මඟින් බලගන්වන මෙම අධික තාපය ප්‍රධාන ක්‍රම 4කින් අපගේ හදවතට තර්ජනයක් එල්ල කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විජලනයෙන් රැකෙමින් අධික තාප තරංග කාලයේදී හෘද රෝගීන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රවේශම් විය යුතු ආකාරය

 

එල් නිනෝ දේශගුණික තත්ත්වය ගැන කතා කරද්දී අපේ මතකයට නැඟෙන්නේ වියළී ගිය වැව් අමුණු, විනාශ වූ වගාබිම් සහ මිනිස් පරිභෝජනයට අවශ්‍ය ජලය බරපතළ ලෙස හිඟ වීමයි. නමුත් විවෘත සමාජයේ තවමත් නිසි කතිකාවක් ගොඩනැඟී නැති, එහෙත් ගෝලීය වශයෙන් මේ වන විට දැඩි අවධානයට ලක්ව ඇති තවත් භයානක පැතිකඩක් තිබේ. ඒ, එල් නිනෝ මඟින් ඇති කරන අධික තාපය සෘජුවම ඔබේ හදවතට පහර දෙන ආකාරයයි. 

ලෝක කාලගුණ සංවිධානය (WMO) පෙන්වා දෙන්නේ තාප තරංග (Heatwaves) යනු ලෝකයේ පවතින මාරාන්තිකම ස්වභාවික ආපදාවන්ගෙන් එකක් බවයි. ඔවුන් අනතුරු අඟවන පරිදි අධික උෂ්ණත්වය හෘදයාබාධ සහ අකල් මරණ ඉහළ නැංවීමට සෘජුවම හේතු වේ. ඒ අනුව අප ද ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුමය.

 images 2

 

එල් නිනෝ තත්ත්වය මඟින් බලගන්වන මෙම අධික තාපය ප්‍රධාන ක්‍රම 4කින් අපගේ හදවතට තර්ජනයක් එල්ල කරයි. රුධිර පීඩනය පහත වැටීම සහ හදවත දෙතුන් ගුණයකින් වැඩිපුර වැඩ කිරීම ඉන් පළමු සාධකයයි. 

අපගේ ශරීරය අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කරන්නේ ප්‍රධාන ක්‍රම දෙකකටය. ඒ දහඩිය දැමීම සහ සම ආසන්නයට රුධිරය යැවීමයි. පරිසරයේ රස්නය වැඩි වන විට සමේ රුධිර නාල ප්‍රසාරණය වේ. එවිට සිරුරේ රුධිර පීඩනය පහත වැටෙන අතර, එම පීඩනය යථා තත්ත්වයට පවත්වා ගැනීමට හදවතට වේගයෙන් සහ තදින් ලේ පම්ප කිරීමට සිදු වේ. ලෝක ප්‍රකට ඇමරිකාවේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ නිල මාධ්‍ය ප්‍රකාශන අංශය පෙන්වා දෙන්නේ, උණුසුම් සහ තෙතමනය සහිත දවසකදී ශරීරය පුරා රුධිරය සංසරණය කිරීමට හදවතට සිසිල් දවසකට වඩා දෙතුන් ගුණයක් දක්වා වැඩි වෙහෙසක් දැරීමට සිදු වන බවයි. ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ද තහවුරු කරන්නේ අධික තාපය හෘද රෝග ශීඝ්‍රයෙන් උග්‍ර කරන බවයි. මෙය නිරෝගී අයෙකුට දැඩි වෙහෙසක් වන අතර හෘද රෝගීන්, අධි රුධිර පීඩනය සහිත අය සහ වැඩිහිටියන්ට මාරාන්තික තර්ජනයකි.

එහි දෙවන භයානකම තත්ත්වය වන්නේ විජලනයයි. අධික රස්නය නිසා අධික ලෙස දහඩිය දැමීමෙන් සිරුරේ ජල මට්ටම අඩු වී රුධිර පරිමාව පහත වැටේ. එවිට රුධිරය උකු වන අතර, රුධිර සෛල එකිනෙක ඇලී ලේ කැටි ගැසීමේ අවදානම ඉහළ යයි.

 

මෙය හුදු උපකල්පනයක් නොවන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත. වායු සමීකරණ නොමැති පරිසරයක, 34.6°C ක තාප තරංගයකදී පැය 6ක් සිටි පුද්ගලයින්ගේ රුධිර සෛල ගණන 9%කින් ද, රුධිරයේ ඝණත්වය 24%කින් ද ඉහළ ගොස් තිබේ.

 

heat 0

 

අධික රස්නය නිසා ඇතිවන මෙම විජලනය සහ ඉලෙක්ට්‍රොලයිට් අසමතුලිතතාව, හෘදයාබාධ (Myocardial Infarction) සහ ආඝාත (Stroke) තත්ත්වයන් සඳහා සෘජුවම මඟ පාදයි.

තුන් වන අනතුරුදායක තත්ත්වය වන්නේ අසාමාන්‍ය හෘද ස්පන්දනය (Arrhythmia) යි. තාපයට නිරාවරණය වීම නිසා අසාමාන්‍ය හෘද ස්පන්දනය (Arrhythmia) සහ රෝහලෙන් පිටතදී සිදුවන ක්ෂණික හෘද ඇනහිටීමක (Out-of-hospital Cardiac Arrest) අවදානම ඉහළ යයි. සමේ රුධිර නාල ප්‍රසාරණය වීම නිසා හදවතට නැවත පැමිණෙන රුධිර ප්‍රමාණය අඩු වන අතර, එය පියවා ගැනීමට හදවතට අධික වේගයකින් ස්පන්දනය වීමට සිදු වේ. මෙහිදී හදවතට අවශ්‍ය ඔක්සිජන් ඉල්ලුම සහ සැපයුම අතර නොගැලපීමක් ඇති වේ. එහි ප්‍රතිඵලයක් ලෙස හදවතේ විද්‍යුත් පද්ධතිය අක්‍රමවත් වී අසාමාන්‍ය හෘද ස්පන්දනය, ඇන්ජයිනා (පපුවේ කැක්කුම) සහ හෘද අකර්මණ්‍ය වීම් සිදුවිය හැක.

 images 3

 

දත්තයන් මඟින් ප්‍රකාශ වන යුරෝපයේ මාරක කතාව මෙහි සිව් වන අවදානම් සාධකය ලෙස දැක්විය හැක. දැඩි උෂ්ණත්වය හදවතට කරන බලපෑමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. තාප තරංග පවතින කාලවලදී හෘද රෝග ආශ්‍රිත මරණ අවදානම 11.7% සිට 14.9% දක්වා ඉහළ යයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2022 යුරෝපීය තාප තරංගයෙන් පමණක් සිදුවූ අතිරික්ත මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවයි. ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය වැනි රටවල තාප තරංග පවතින දිනවලදී හෘදයාබාධ මරණ 15%කින් ඉහළ ගිය අතර, මිලාන් නගරයේ හදිසි වෛද්‍ය ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ හෘද අකර්මණ්‍ය වීම් සම්බන්ධවයි. ඉහත සඳහන් විද්‍යාත්මකව සනාථ වූ ගෝලීය තත්ත්වයන් අප සැලකිල්ලට ගත යුත්තේ වෛද්‍යවරුන්ට මේ සම්බන්ධ සායනික අත්දැකීම් අඩු නිසා ය. ඒ නිසා මෙම තත්ත්වයන් සම්බන්ධ අවදානම් සාධක මුල් කොට ගත් දැනුම් අවබෝධයන් සිය සායනික කටයුතුවල දී යොදා ගැනීම අතිශයින් වැදගත් වේ.

images 6

 

එල් නිනෝ කාලයේදී ශ්‍රී ලංකාව වැනි රටවල දැකිය හැක්කේ තෙතමනය සහිත අධික උණුසුමකි (Humid Heat). වාතයේ තෙතමනය වැඩි වූ විට දහඩිය වාෂ්ප වී ශරීරය සිසිල් වීම අඩාල වේ. එවිට අපේ හදවතට වැටෙන බර දෙගුණ තෙගුණ වේ. එම තත්ත්වයන්හිදී වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘද රෝගවලින් පෙළෙන අය, එළිමහනේ සේවය කරන කම්කරුවන්, ගොවීන් ආදීහු මේ සම්බන්ධ වැඩි අවදානමට ලක් වන බව පෙනේ.

 

එනිසා ඉහත සඳහන් තත්ත්වයන් යටතේ ඔබේ හදවත රැකගන්න පියවර කිහිපයක් ඉදිරිපත් කිරීම වැදගත් වනු ඇත.

 

images 5

උණුසුම වැඩිම පූර්වාහ්න 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ එළිමහනේ දැඩි වෙහෙසකාරී කටයුතුවලින් වැළකීම, පිපාසය එනතුරු නොසිට නිතර ජලය පානය කිරීම. (නමුත් වකුගඩු හෝ හෘද රෝගීන් පානය කළ යුතු ජල ප්‍රමාණය ගැන වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය).

අනතුරු සංඥා ගැන විමසිලිමත් වන්න: මුත්‍රා පිටවීම අඩුවීම, ක්ලාන්තය, හෘද ස්පන්දනය වේගවත් වීම හෝ පපුවේ වේදනාව වැනි අනතුරු සංඥා හමුවේ විමසිලිමත් වී වහාම සිසිල් ස්ථානයකට ගොස් වෛද්‍ය සහාය පැතීම ඉතා වැදගත් ය. එමෙන්ම අධික උණුසුම් කාලගුණය හමුවේ ඔබ ගන්නා ඖෂධ මාත්‍රා වෙනස් කළ යුතුදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා දැන ගැනීම ද තවත් ආරක්ෂාකාරී පියවරකි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කිව යුතු දෙයක් තිබේ. එල් නිනෝ යනු කාලගුණ වාර්තාවක දකින උෂ්ණත්ව අංකයක් පමණක් නොවේ. එය අපගේ හදවතට සෘජුවම තර්ජනය කරන “පාරිසරික හෘද රෝග අවදානමකි”. ඒ පිළිබඳ දැනුවත් වීමත්, සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂා වීමත් මේ මොහොතේ අප සැමගේ වගකීමකි.

 

 Namal Wijesinghe Prof

(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම - vinivida.lk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...