BREAKING
Top Ad
Life

මිනිස් - සත්ව ආදීතම නෑකමක් ගැන නවීන විද්‍යාවෙන් ඉඟියක් ; සතුන් මිනිස් ජනාවාස වෙත ආකර්ෂණය වීමේ විද්‍යාත්මක රහස!

T

The Leader

August 12, 2026 • 2:17 AM

මිනිස් - සත්ව ආදීතම නෑකමක් ගැන නවීන විද්‍යාවෙන් ඉඟියක් ; සතුන් මිනිස් ජනාවාස වෙත ආකර්ෂණය වීමේ විද්‍යාත්මක රහස!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *මිනිස්-ඇසුරු ජීවීත්වය (Synanthropy) සහ Human Shield සිද්ධාන්තය හරහා සතුන් සහ මිනිසා අතර පවතින සහජීවනය පිළිබඳ හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහගෙන් විග්‍රහයක්
  • මෙහි වඩාත්ම විස්මයජනක කරුණ වනුයේ එම නැඹුරුව මිනිසාට ද හිතදායක විය හැකි බවයි.
  • සුරතල් සතුන් ඇසුර හෘද රෝග අවදානම අඩු කරන බවට සාක්ෂි ඇත.
  • මේ වන විට ලෝකයේ ක්ෂීරපායි ජෛව ස්කන්ධයෙන් (Biomass) අති බහුතරයක් මිනිසා සහ මිනිසා ඇති කරන ගෘහාශ්‍රිත සතුන් වන අතර, වන සතුන්ගේ ප්‍රතිශතය ඉතා අඩු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*විපතේදී සහ අවසන් මොහොතේදී වනසතුන් මිනිසා සොයා ඒමේ සහජ නැඹුරුව පිටුපස ඇති ජානමය මතකය සහ අනාගත AI තාක්ෂණික ඉඟි


සාමාන්‍ය ව්‍යවහාරයේදී අප ජෛව ප්‍රජාව මිනිස් ප්‍රජාව සහ සත්ත්ව ප්‍රජාව ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කොට හඳුනා ගනිමු. මෙම බෙදීම මානව කේන්ද්‍රීය චින්තනයේ ප්‍රතිඵලයකි. එසේ වුවද, ජීව විද්‍යාත්මකව මිනිසා ද සත්ත්ව රාජධානියේම, ක්ෂීරපායි පංතියේම සාමාජිකයෙකි. එබැවින් මිනිසා සහ සත්වයා අතර පවතින සමානතා හා විෂමතා පිළිබඳව අපි නිරන්තරයෙන් අධ්‍යයනය කරන්නෙමු.

ශරීර ව්‍යුහය, පරිවෘත්තීය ක්‍රියා, ප්‍රජනනය, වේදනාව දැනීම, බිය සහ මාතෘ ස්නේහය වැනි ජීව විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ අතින් මිනිසා සහ සත්වයා අතර පුදුම සහගත සමානතාවක් පවතී. විෂමතාව පවතින්නේ උසස් බුද්ධිය, සංකීර්ණ භාෂාව, සංස්කෘතිය හා පරිසරය තම අවශ්‍යතාවලට අනුව වෙනස් කර ගැනීමේ හැකියාව තුළය. පරිණාමයත් සමඟ මිනිසා අත්කර ගත් දියුණුව හේතුවෙන් ඔහු මිහිපිට අසමසම සත්ත්වයා බවට පත්ව සිටියද, සත්ත්ව ප්‍රජාව මිනිස් ප්‍රජාව කෙරෙහි දක්වන විශේෂ ආකර්ෂණය නූතන ස්වාභාවික විද්‍යාඥයන්ගේ (Naturalists) දැඩි අවධානයට ලක් වූ, මෙතෙක් සම්පූර්ණයෙන් අනාවරණය නොවූ රහසකි.

 


මිනිස් වාසස්ථාන කෙරෙහි සතුන් දක්වන මෙම ආකර්ෂණය ජීව විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ මිනිස්-ඇසුරු ජීවීත්වය (Synanthropy) යනුවෙනි. ග්‍රීක භාෂාවේ Syn (එක්ව) සහ Anthropos (මිනිසා) යන වචනවලින් සැදුණු මෙම සංකල්පයෙන් අදහස් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් සහ ජනාවාස සමඟ බැඳී ජීවත් වීමට, එම පරිසරයෙන් වාසි ලබා ගැනීමට සතුන් තුළ පවතින සහජ නැඹුරුවයි. මෙහි වඩාත්ම විස්මයජනක කරුණ වනුයේ එම නැඹුරුව මිනිසාට ද හිතදායක විය හැකි බවයි.

අපගේ විෂය පථය වන හෘදවේදය (Cardiology) මුල් කරගෙන ද ඒ පිළිබඳ ගැඹුරු හැදෑරීම් සිදු වෙමින් පවතී. සුරතල් සතුන් ඇසුර හෘද රෝග අවදානම අඩු කරන බවට සාක්ෂි ඇත. මේ වන විට ලෝකයේ ක්ෂීරපායි ජෛව ස්කන්ධයෙන් (Biomass) අති බහුතරයක් මිනිසා සහ මිනිසා ඇති කරන ගෘහාශ්‍රිත සතුන් වන අතර, වන සතුන්ගේ ප්‍රතිශතය ඉතා අඩු වී ඇත. එහෙත්, එය සුනඛයා, බළලා, ගවයා, කුකුළා වැනි ගෘහාශ්‍රිත සතුන් පමණක් නොවේ. ගෘහාශ්‍රිත නොවන සතුන් ලෙස අප වර්ග කරන නාගයා, පොළඟා, උගුඩුවා, වවුලා, රිලවා, දඬුලේනා පවා මහ වනාන්තරවලට වඩා මිනිස් ජනාවාස ආශ්‍රිතව වැඩි ඝනත්වයකින් වාසය කරති.


ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික උරග විද්‍යාඥ ඇන්ස්ලම් ද සිල්වා අනාවරණය කර ඇති පරිදි, මහ වනාන්තරයක හෙක්ටයාරයකට වඩා වැඩි සර්ප ඝනත්වයක් ශ්‍රී ලංකාවේ ගම්මානයක කුඹුරු යායක් හෝ ගෙවත්තක් ආශ්‍රිතව දැකිය හැකිය. ඊට හේතුව මීයන්, ගෙම්බන් සහ ආහාර අපද්‍රව්‍ය මිනිස් ජනාවාස ආශ්‍රිතව බහුල වීමයි. එමෙන්ම ලෝකයේ පක්ෂි විශේෂ 10,000 න් 20% කට ආසන්න ප්‍රමාණයක් දැන් නාගරික පරිසරයට අනුවර්තනය වී ඇති බව තහවුරු වී ඇත.


minis7මානව ජනාවාස වෙත සංක්‍රමණය වූ මහා නීල ගොයා
අතීතයේ ඉතා කුලෑටි වනාන්තර පක්ෂියකු වූ මහා නීල ගොයා (Great Imperial Pigeon – Ducula aenea / Ducula bicolor කාණ්ඩයට අයත්) ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ ගිනිකොනදිග ආසියාවේ වනාන්තරවල දැකිය හැකි විශාල පක්ෂි විශේෂයකි. මොවුන් ප්‍රධාන වශයෙන් පලතුරු මත යැපෙන (Frugivorous genus Ducula) කාණ්ඩයට අයත්ය. අතීතයේ මිනිස් ජනාවාස වෙත නොපැමිණි මොවුන් වර්තමානයේ නාගරික ගෙවතුවල පවා දක්නට ලැබීම ඊට හොඳම උදාහරණයකි.

මීට අමතරව, වනාන්තර කොරිඩෝ අහිමි වීමත් සමඟ දිවියන් සහ වලසුන් වැනි විශාල විලෝපිකයෝ පවා ආහාර සොයා ගැනීමේ පහසුව තකා ගම්මාන ආශ්‍රිතව සැරිසරති. පසුගිය කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දිවියන් දර්ශනය වීම මීට එක් නිදසුනක් පමණි. ඒ අනුව වනාන්තරයක සමස්ත සත්ත්ව ඝනත්වය (Density) අඩු වුවද, මිනිස් ජනාවාසවල ඇතැම් සත්ව විශේෂයන්ගේ ඝනත්වය බොහෝ ගුණයකින් වැඩි වීම අහඹුවක් නොවේ.

සතුන් මෙලෙස මානව ජනාවාස වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතු කිහිපයක් ස්වාභාවික විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. පළමු කරුණ නම් ආහාර සුලභතාව සහ ජෛව බලශක්ති ඉතිරියයි. වනාන්තරයක ආහාර සෙවීමට සතෙකුට කිලෝමීටර් ගණනක් යා යුතු වුවද, මිනිස් ජනාවාසවල ඇති කැලි කසළ, අස්වනු ශේෂ සහ කෘත්‍රිම ආලෝකයට ඇදී එන කෘමීන් නිසා අවම ශක්තියකින් උපරිම ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමට සතුන්ට හැකියාව ලැබේ. එය පරිණාමීය වාසියකි. දෙවන කරුණ නම් තාපය හා ආරක්ෂිත වාසස්ථාන ලැබීමයි. මිනිස් නිවාස, වහලවල්, පැරණි ගොඩනැගිලි, සොල්දර සහ විදුලි කණු මඟින් සතුන්ට ආරක්ෂිත, උණුසුම් මෙන්ම විලෝපිකයන්ගෙන් තොර වාසස්ථාන සැපයේ.

atu wahi lihiniමතුගම නගරයේ අටු වැහි ලිහිණි
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂී විශේෂයක් වන අටු වැහිලිහිණියන් (Barn Swallows – Hirundo rustica) දහස් ගණනින් තම රාත්‍රී වාසස්ථාන ලෙස රත්නපුර සහ මතුගම වැනි නගරවල විදුලි හා දුරකථන රැහැන් යොදා ගැනීම ඊට කදිම නිදසුනකි. ලොව පුරා සිදු කළ අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ මෙම වැහිලිහිණියන් නගරවල විදුලි රැහැන් මත ආලෝකය සහ උණුසුම ඇති ස්ථානවල රාත්‍රී කාලයේ විශාල වශයෙන් රැඳෙන බවයි. අගෝස්තු මාසයේ මැද පමණ වන විට රත්නපුර සහ විශේෂයෙන් මතුගම නගරයට පැමිණෙන මොවුහු අප්‍රේල් යළි රටින් පිටවී යන තුරු මාස අටක පමණ කාලයක් මතුගම නගරය තුළ වාසය කරති. අඳුර වැටීමත් සමග වළාකුලක් සේ මතුගම නගරයට පැමිණෙන මේ අටු වැහිලිහිණියෝ නගරයේ විදුලි රැහැන්, දුරකථන රැහැන්, ඔරලෝසු කණුව වැනි ස්ථාන රාත්‍රිය ගත කිරීම සඳහා භාවිතා කරති. විදුලි පහන්වල ආලෝක සීමාව තුළ රැය පහන් කිරීමට ප්‍රියතාවයක් දක්වන මේ පක්ෂීන් කම්බි රැහැන් මත එකිනෙකා ස්පර්ශ වන සේ එක පෙළට ලැගුම් ගනු දක්නට ලැබේ. මෙලෙස එක් රැයකදී නගරයට එක්රැස් වන අටු වැහිලිහිණියන් සංඛ්‍යාව හැත්තෑදහසක් පමණ වෙතැයි කියනු ලැබේ. එලෙස නගරයේ රැය ගත කරන පක්ෂීහු පසුදා හිමිදිරියේම ආහාර සොයා පිටත් වීම සිදු කරති.

මෙලෙස බොහෝ සත්ව විශේෂ මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීමට තවත් හේතුවක් නම් විලෝපිකයන්ගෙන් අනියම් ආරක්ෂාව ලැබීමයි. මෙය නවීන පරිසර විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ Predator Shield හෙවත් Human Shield Hypothesis ලෙසයි. කුඩා සතුන් ගොදුරු කර ගන්නා මාංශ භක්ෂක විශාල විලෝපිකයන් මිනිස් ජනාවාසවලට බිය වන බැවින්, කුඩා සතුන් ආරක්ෂාව පතා හිතාමතාම මිනිස් වාසස්ථාන ආසන්නයේ කූඩු සාදා ජීවත් වන බව ඇමෙරිකාවේ සහ යුරෝපයේ සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත.

නිරීක්ෂණ අධ්‍යයනයන් (Observational Studies) මඟින් තහවුරු වූ තවත් සංවේදී කරුණක් වන්නේ, ලෙඩ වූ, තුවාල ලැබූ හෝ මවගෙන් වෙන් වූ මුව පැටවෙකු, රිලවෙකු හෝ අලියෙකු පවා සිය අවසන් මොහොතේ වනාන්තරය අතහැර මිනිස් ගම්මානයකට, පන්සලකට හෝ නිවසක මිදුලකට පැමිණ වැතිර සිටීමයි. මෙය හුදු අහඹුවක් ද, නැතහොත් සතුන් තුළ මිනිසා කෙරෙහි ඇති කිසියම් සහජ විශ්වාසයක් ද යන්න පිළිබඳව විද්‍යාඥයන්ගේ කුතුහලයට ලක්ව ඇත. විශේෂයෙන් තුවාල ලැබූ හෝ රෝගී වූ වන අලියෙකුට වනාන්තරය තුළ සාමාන්‍ය පරිදි සංචරණය කිරීමට හෝ ආහාර සොයා ගැනීමට නොහැකි වේ. එම නිසා උන් පහසුවෙන් ජලය සොයාගත හැකි වැව්, ඇළ දොළ හෝ ජනාවාස අසල ඇති වගාබිම් වෙත පැමිණෙන්නේ අවසන් මොහොතේ හෝ දිවි ගලවා ගැනීමේ අපේක්ෂාවෙනි. අවසානයේ ඔවුන් බොහොමයක් අධික ලෙස දුර්වල වීමෙන් උන් එම ස්ථානවලදීම මිය යනු දක්නට ලැබේ. ඇතැම් පර්යේෂකයන් මෙය “අන්තර්-විශේෂ සංවේදනාත්මක පිහිට පැතීම” (Interspecies Empathy Seeking) ලෙස හඳුන්වන අතර, වසර දහස් ගණනක් තිස්සේ මිනිසා සමඟ සම-පරිණාමය වූ සතුන් තුළ, විපතේදී මිනිසා පිහිට වන බවට ජානමය මතකයක් තිබිය හැකි බවට ද තර්ක කෙරේ. එබැවින් මිනිසා සහ සත්ත්වයා අතර ඇත්තේ වෙන්වීමක් නොව නොපෙනෙන සූත්‍රයකින් බැඳුණු සහජීවනයකි. සත්ත්වයා මිනිසාගෙන් ඈත් නොවී බොහෝ විට මිනිසා සොයා එන්නේ සොබාදහමෙන් ඔවුන්ට හිමි වූ උරුමය නිසාය යන්න පිළිගැනීමට මම ද කැමැත්තෙමි.

atu lihiniඅටු වැහි ලිහිණි
පරිගණක තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI), ජෛව-ධ්වනි විද්‍යාව (Bioacoustics) සහ GPS කරපටි මඟින් සතුන් ලුහුබැඳීම වැනි නූතන මෙවලම් නිසා සතුන් සහ මිනිසා අතර ඇති මෙම සැඟවුණු සන්නිවේදන රටා ගොනු කිරීමට අද වන විට අපට හැකි වී තිබේ. අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය මඟින් සතුන්ගේ ශබ්ද, මුහුණේ ඉරියව් සහ චර්යා රටා විශ්ලේෂණය කර, ඔවුන් මිනිසුන්ට ලබා දීමට උත්සාහ කරන සංඥා මොනවාද යන්න වඩාත් පැහැදිලිව තේරුම් ගැනීමට අපට හැකි වනු ඇත. එවිට ස්වභාවධර්මය තුළ අප තනිව ජීවත්වන ප්‍රජාවක් නොව, එකිනෙකා කෙරෙහි අනියම් බලාපොරොත්තුවකින් බැඳුණු එකම මහා පවුලක සාමාජිකයන් බව අපට තවදුරටත් තහවුරු වනු ඇත. එය උදා වන හෙට දිනය තුළ අප ජීවත් වන ලෝකය මීට වඩා යහපත් තැනක් කිරීමට මහෝපකාරී වේවා ය යන්න අපගේ ද පැතුමයි.



(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...