The Leader News
BREAKING
ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●දේශසීමා මැකෙන තැන ලාංකීය අනන්‍යතාව දිනන හැටි●මිනිසුන් පරයා ඉබ්බන් රජවුණු සීෂෙල්ස් දූපත●මානව සබඳතාවල සංකීර්ණත්වයේ පිළිබිඹුව ''කෑම්ප්එක වත්ත''●
Top Ad
Life

තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ

තරුණ වියේදී හදිසි හෘදයාබාධ බහුලව සිදුවන බවට පැතිරෙන බිය විද්‍යාත්මකව ඇත්තක්ද? ලෝක හා දේශීය දත්ත පිරික්සමින් හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ කරුණු පහදයි.

Pasan

Pasan

October 11, 2026 • 7:49 PM

තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනයක අසන්නට ලැබුණු අතිශය සංවේගාත්මක පුවතක් හේතුවෙන් තරුණ දූ පුතුන් සිටින මාපියන් තුළ විශේෂ බියක් හා කුකුසක් හටගෙන තිබේ.
  • ඒ, මේ වන විට තරුණ පිරිස් අතර ද හෘද රෝග හා ඒ ආශ්‍රිත හදිසි මරණ ඇතිවීමේ වැඩි නැඹුරුවක් තිබේද යන්න පිළිබඳව ය.
  • හෘද රෝග සායනවලදී ද මෙය මාපියන් විසින් නිතර අසන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
  • එහිදී මුලින්ම පැවසිය යුතු වැදගත් කරුණ වන්නේ හෘද රෝග යනු වයස්ගත පුද්ගලයන්ට පමණක් සීමා වූ රෝගයක් නොවන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය දිනයක අසන්නට ලැබුණු අතිශය සංවේගාත්මක පුවතක් හේතුවෙන් තරුණ දූ පුතුන් සිටින මාපියන් තුළ විශේෂ බියක් හා කුකුසක් හටගෙන තිබේ. ඒ, මේ වන විට තරුණ පිරිස් අතර ද හෘද රෝග හා ඒ ආශ්‍රිත හදිසි මරණ ඇතිවීමේ වැඩි නැඹුරුවක් තිබේද යන්න පිළිබඳව ය.

හෘද රෝග සායනවලදී ද මෙය මාපියන් විසින් නිතර අසන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. එහෙත් එවැනි ප්‍රශ්නයකට නිසි පිළිතුරක් දීම සායනික අත්දැකීම් කිහිපයක් මත පමණක් කළ නොහැකිය. මන්ද යත් රෝහලකට හෝ සායනයකට පැමිණෙන රෝගීන් සමස්ත ජනගහනය නියෝජනය නොකරන බැවිනි. ඒ සඳහා ගෝලීය, කලාපීය සහ රටවල් මට්ටමේ ජනගහන අධ්‍යයන, මරණ දත්ත සහ රෝග අවදානම් සාධක (risk factors) පිළිබඳ සමීක්ෂණ සැලකිල්ලට ගත යුතුය.

එහිදී මුලින්ම පැවසිය යුතු වැදගත් කරුණ වන්නේ හෘද රෝග යනු වයස්ගත පුද්ගලයන්ට පමණක් සීමා වූ රෝගයක් නොවන බව ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට (World Health Organization – WHO) අනුව හෘද හා රුධිරවාහිනී රෝග (cardiovascular diseases) ලොව ප්‍රධානතම මරණ හේතුව වන අතර 2022 දී එවැනි රෝග හේතුවෙන් ලොව පුරා මිලියන 19.8ක පමණ පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම 70 වැනි වියට පෙර සිදුවන අකාල මරණවල සැලකිය යුතු කොටසකට ද හෘද වාහිනී රෝග හේතු වේ.


තරුණ වියේදීම අවදානම ආරම්භ විය හැකිය

හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් තරුණ වියේදී හදිසියේම ඇතිවූ දෙයක් සේ පෙනුණ ද, එහි අවදානම් පසුබිම වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබිය හැකිය.

දුම්පානය, අධික රුධිර පීඩනය, රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම, දියවැඩියාව, අධික බර හෝ ස්ථුලතාව (obesity), ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, අහිතකර ආහාර රටාව සහ අධික මත්පැන් භාවිතය හෘද වාහිනී රෝග සඳහා ප්‍රධාන අවදානම් සාධක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දන්නේ මෙම චර්යාත්මක සාධක (behavioral factors) රුධිර පීඩනය, රුධිර සීනි සහ රුධිර ලිපිඩ ඉහළ යාම හා ස්ථුලතාව වැනි පරිවෘත්තීය අවදානම් (metabolic risks) බවට පත්විය හැකි බව ය.

Causes of Heart Attacks at a Young Age and Prevention

මෙහි වඩාත් වැදගත් කරුණ වන්නේ මෙම අවදානම් සාධක වැඩිහිටි වියේදී පමණක් ආරම්භ නොවීම ය. 2025 දී ඇමරිකානු හෘද සංගමය (American Heart Association) නිකුත් කළ විද්‍යාත්මක ප්‍රකාශයක් මගින් අවධාරණය කොට ඇත්තේ නව යොවුන් වියේ අවසානය වන විටම ඇතැම් තරුණයන් තුළ අධික රුධිර පීඩනය, ස්ථුලතාව, අධික කොලෙස්ටරෝල් සහ දෙවැනි වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes) වැනි හෘද අවදානම් සාධක දක්නට ලැබෙන බවත්, තරුණ වැඩිහිටියන් (young adults) අතර අහිතකර හෘද වාහිනී සිදුවීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති බවත් ය.

එබැවින් “තවමත් තරුණයි, ඒ නිසා හෘද රෝග ගැන බලන්න අවශ්‍ය නැහැ” යන අදහස සෞඛ්‍ය විද්‍යාත්මකව නිවැරදි නොවේ.


දකුණු ආසියාවට විශේෂ අවදානමක් තිබේද?


මෙය ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවලට විශේෂ වැදගත්කමක් ඇති ප්‍රශ්නයකි.

දකුණු ආසියානු ජනගහනය තුළ අඩු වයසින් කිරීටක හෘද රෝග ඇතිවීම පිළිබඳ විශාල අවදානමක් පසුගිය දශක කිහිපය තුළ ඇති වී තිබේ. පර්යේෂණ මගින් දකුණු ආසියානුවන්ගේ අඩු වයස් හෘදයාබාධ සමඟ දුම්පානය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, උදර ස්ථුලතාව (abdominal obesity), අක්‍රිය ජීවන රටාව, අහිතකර ආහාර රටාව, රුධිර ලිපිඩ වෙනස්කම් සහ පවුල් ඉතිහාසය (family history) වැනි සාධක සම්බන්ධ බව පෙන්වා දී තිබේ.

2023 දී ප්‍රකාශයට පත් වූ දකුණු ආසියානු රෝගීන් පිළිබඳ අධ්‍යයනයකදී වයස අවුරුදු 40 හෝ ඊට අඩු රෝගීන් අතර ST-elevation myocardial infarction (STEMI) සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගෙන තිබූ අතර, එම තරුණ කණ්ඩායමේ දුම්පානය සහ හෘද රෝග පිළිබඳ පවුල් ඉතිහාසය වඩාත් කැපී පෙනුණු සාධක විය.

එහෙත් මෙවැනි රෝහල් පාදක අධ්‍යයනයක් සමස්ත තරුණ ජනගහනයට යොදා “තරුණයන් අතර හෘදයාබාධ අනිවාර්යයෙන්ම වේගයෙන් වැඩිවෙමින් පවතී” යන ඒකායන නිගමනයට පැමිණීමට නොහැකිය. එය පෙන්නුම් කරන්නේ තරුණ වියේදී හෘද රෝග ඇතිවීම සැලකිය යුතු සායනික යථාර්ථයක් (clinical reality) බව පමණි.


ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ අප සතුව පවතින අවදානම් සාධක පිළිබඳ ජාතික දත්ත වේ.

ස්ටෙප්ස් සමීක්ෂණය (WHO STEPwise approach to NCD risk factor surveillance – STEPS) යනු බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක පිළිබඳ දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හඳුන්වා දුන් සම්මත ජාත්‍යන්තර ක්‍රමවේදයකි.

ශ්‍රී ලංකාවේ 2021 ස්ටෙප්ස් සමීක්ෂණය මගින් වැඩිහිටි ජනගහනයේ හෘද වාහිනී රෝග අවදානම් පසුබිම පිළිබඳ වැදගත් චිත්‍රයක් ලබා දෙයි. එම සමීක්ෂණයේදී වැඩිහිටියන්ගෙන් 39.4%ක් අධිබර (overweight) තත්ත්වයේ සිටි අතර 11%ක් ස්ථුලතාවයෙන් (obesity) පෙළුණහ. 34.8%ක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අවම ශාරීරික ක්‍රියාකාරකම් මට්ටමට ළඟා නොවූහ. එමෙන්ම 34.8%කට අධික රුධිර පීඩනය හෝ ඒ සඳහා ප්‍රතිකාර ලබන තත්ත්වයක් තිබුණි. රුධිරයේ සම්පූර්ණ කොලෙස්ටරෝල් ඉහළ මට්ටමක පැවති පිරිස ද සැලකිය යුතුය.

වඩාත් කනගාටුදායක කරුණක් වන්නේ මෙම අවදානම් සාධක එකිනෙක එකතු වීම ය. ශ්‍රී ලංකා ස්ටෙප්ස් 2021 සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18–44 අතර පුද්ගලයන්ගෙන් 18.2%කට හෘද රෝග හා සම්බන්ධ ප්‍රධාන අවදානම් සාධක පහෙන් අවම වශයෙන් තුනක් තිබුණි. එම ප්‍රමාණය 45–69 වයස් කාණ්ඩයේදී 36.3% දක්වා ඉහළ ගොස් ඇත.

එසේම 2021 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 34.8%ක් ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් නොකළ අතර, 2015 දත්ත සමඟ සසඳන විට ශාරීරික අක්‍රියතාව ඉහළ ගොස් තිබුණි.

මෙය තරුණයන්ට අදාළව විශේෂයෙන් වැදගත් වන්නේ අද තරුණ වියේ පුරුදු හෙට දවසේ හෘද රෝග අවදානම තීරණය කරන බැවිනි.

Heart attack symptoms often misinterpreted in younger women | Yale News


එසේ නම් තරුණයන්ගේ හදිසි මරණ සියල්ලම හෘදයාබාධද?


මෙය ඉතා වැදගත් වැරදි අවබෝධයක් නිවැරදි කළ යුතු ස්ථානයකි.

තරුණ පුද්ගලයකු හදිසියේ මියගිය විට එය “හෘදයාබාධයකින් මියගියා” යනුවෙන් සාමාන්‍ය භාෂාවෙන් පැවසිය හැකි නමුත් වෛද්‍ය විද්‍යාවේදී හෘදයාබාධය (heart attack), හෘදය නතර වීම (cardiac arrest) සහ හදිසි හෘද මරණය (sudden cardiac death) එකම දෙයක් නොවේ.

හෘදයාබාධයක් යනු සාමාන්‍යයෙන් හෘද පේශියට රුධිරය සපයන කිරීටක ධමනියක රුධිර ප්‍රවාහය අවහිර වීමෙන් ඇතිවන තත්ත්වයකි. එහෙත් හෘදය නතර වීම ප්‍රධාන වශයෙන් හෘදයේ විද්‍යුත් පද්ධතියේ බරපතළ අක්‍රමිකතාවක් නිසා සිදුවිය හැකි ය.

තරුණ පුද්ගලයකු තුළ හදිසි හෘද නතරවීමකට හඳුනා නොගත් හෘද රිද්ම ආබාධ, හෘද පේශීයේ ව්‍යුහාත්මක රෝග, hypertrophic cardiomyopathy වැනි රෝග, පරම්පරාවෙන් එන නාලිකා ආබාධ, myocarditis සහ ඇතැම් මත්ද්‍රව්‍ය ආශ්‍රිත තත්ත්ව හේතු විය හැකිය.

එබැවින් තරුණයකුගේ හදිසි මරණය සම්බන්ධ සෑම අවස්ථාවකම “කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධයක්” යන සරල නිගමනයට පැමිණීම නිවැරදි නොවේ.


එහෙත් හදිසි හෘද මරණ ඇත්තටම වැඩිවෙමින් තිබේද?

මෙහිදී විද්‍යාත්මක සාක්ෂි අපට වැදගත් පාඩමක් උගන්වයි.

තරුණ වයසේ හදිසි හදිසි මරණ පිළිබඳ 2025 දී ප්‍රකාශයට පත් වූ ඩෙන්මාර්කයේ වසර 20ක ජාතික අධ්‍යයනයකදී 2000–2019 කාලය තුළ වයස අවුරුදු 1–35 අතර පුද්ගලයන්ගේ හදිසි හෘද මරණ 1,057ක් හඳුනාගෙන තිබුණි. එහි සමස්ත සිදුවීම් අනුපාතය පුද්ගල-වසර 100,000කට 2.2ක් වූ අතර එය එම වසර 20 තුළ 49%කින් පහත වැටී තිබුණි. එම කාලය තුළ සාක්ෂි සහිත හෘද පුප්ඵුසීය පුනර්ජීවනය (cardiopulmonary resuscitation – CPR) සහ defibrillation වැඩිවීමත්, රෝග හඳුනාගැනීම හා ප්‍රතිකාර ක්‍රම දියුණු වීමත් දක්නට ලැබුණි.

එම නිසා ලෝකයේ සෑම තැනකම තරුණයන්ගේ හදිසි හෘද මරණ ඉහළ යමින් පවතින බව පැවසීම නිවැරදි නොවේ.

අනෙක් අතට 2026 දී ප්‍රකාශයට පත් වූ තරුණ වැඩිහිටියන්ගේ හදිසි හෘද නතරවීම පිළිබඳ ක්‍රමානුකූල සමාලෝචනයක් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම තවමත් දුර්ලභ වුවත් ඉතා බරපතළ ප්‍රතිඵල ඇති කරන තත්ත්වයක් බව ය. එම සමාලෝචනයේදී බටහිර රටවල පුද්ගල-වසර 100,000කට 1–2 අතර සිදුවීම් අනුපාත වාර්තා වී ඇති අතර ඇතැම් ආසියානු ජනගහනවල එය ඉහළ විය හැකි බව සඳහන් වේ.

ඒ අනුව මෙහි නිවැරදි විද්‍යාත්මක නිගමනය වන්නේ තරුණයන්ගේ හදිසි හෘද මරණ සාමාන්‍ය ජනගහනය තුළ විශාල වශයෙන් “වසංගතයක්” බවට පත්ව ඇතැයි කිව නොහැකි නමුත්, ඒවා සිදුවන විට එහි හේතුව හඳුනාගැනීම සහ වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අවශ්‍ය බවය.


එසේ නම් මාපියන් බිය විය යුතුද?

මෙයට පිළිතුර “බිය විය යුතු නැත” යන්නත් “බිය විය යුතුය” යන්නත් අතර පිහිටා තිබේ.

මාපියන් තම දරුවාගේ සෑම පපුවේ වේදනාවක්ම හෘද රෝගයක් ලෙස සැලකීම අවශ්‍ය නැත. තරුණයන් තුළ පපුවේ වේදනාවට හෘදය හැර වෙනත් හේතු රාශියක් තිබිය හැකි ය.

එහෙත් “ඔහු තවම තරුණයි, ඒ නිසා හෘද රෝගයක් වෙන්න බැහැ” යන අදහස ද භයානක ය.

How to Talk to Teens About Weed in 2017 - Modern Therapy for ...

විශේෂයෙන් පවුලේ අඩු වයස් හෘදයාබාධ හෝ හදිසි මරණ ඉතිහාසයක් තිබේ නම්, තරුණයා දුම්පානය කරන්නේ නම්, අධික බරක් තිබේ නම්, අධි රුධිර පීඩනය, දියවැඩියාව හෝ කොලෙස්ටරෝල් වැඩිවීමක් තිබේ නම් අවදානම වඩාත් සැලකිල්ලට ගත යුතුය. කිරීටක හෘද රෝග පිළිබඳ විශාල මෙටා විශ්ලේෂණයකදී දුම්පානය, පවුල් ඉතිහාසය, ස්ථුලතාව, dyslipidemia, hypertension සහ ටයිප් 2 දියවැඩියාව වැනි සාධක අඩු වයස් හෘද රෝග සමඟ පැහැදිලිව සම්බන්ධ වූ බව පෙන්වා දී තිබේ.


හදිසි අවස්ථාවකදී බලා සිටීම අනතුරුදායකය

තරුණයකුට හදිසියේ ඇතිවන තද හෝ අසාමාන්‍ය පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, ක්ලාන්ත වීම හෝ සිහි නැතිවීම, හදවත අසාමාන්‍ය ලෙස වේගයෙන් හෝ අක්‍රමවත් ලෙස ගැහෙන බව දැනීම, ව්‍යායාම කරන විට ඇතිවන පපුවේ වේදනාව හෝ ක්ලාන්ත වීම වැනි ලක්ෂණ නොසලකා හැරිය යුතු නොවේ.

විශේෂයෙන් ව්‍යායාමයේදී හදිසියේ ක්ලාන්ත වීම හෝ පවුලේ තරුණ වියේ හදිසි මරණ ඉතිහාසයක් තිබීම වැනි කරුණු හෘද වෛද්‍ය ඇගයීමකට හේතු විය හැකිය.

හදිසි හෘද නතරවීමක් සිදුවූ අවස්ථාවකදී ඉක්මනින් හෘද පුප්ඵුසීය පුනර්ජීවනය (CPR) ලබාදීම සහ හැකි ඉක්මනින් ස්වයංක්‍රීය බාහිර ඩිෆිබ්‍රිලේටරයක් (automated external defibrillator – AED) භාවිත කිරීම ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩි කරයි. ඩෙන්මාර්ක අධ්‍යයනයේදී තරුණයන්ගේ රෝහලටපෙර හදිසි හදවත් නතරවීම් පසු ජීවත්වීමේ අනුපාතය 3.9% සිට 28% දක්වා ඉහළ යාමට bystander CPR සහ defibrillation වැඩිවීම වැදගත් වූ බව වාර්තා විය.


මෙහිදී කළ යුතු හොඳම දෙය බිය නොව, අවදානම හඳුනාගැනීම ය


මෙම සියලු දත්ත එකට ගත් විට මාපියන්ට ලැබෙන පණිවුඩය ඉතා පැහැදිලිය.

තරුණ වියේ හෘද රෝග සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි බිය විය යුතු නැත. එහෙත් තරුණ වයස හෘද රෝගවලින් සම්පූර්ණ ආරක්ෂාවක් සපයන බව සිතා නොසැලකිලිමත් වීමද සුදුසු නැත.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය තුළ අධි බර, ශාරීරික අක්‍රියතාව, අධි රුධිර පීඩනය සහ වෙනත් අවදානම් සාධක සැලකිය යුතු මට්ටමක පවතින බව ජාතික ස්ටෙප්ස් දත්ත පෙන්වයි. විශේෂයෙන් වයස අවුරුදු 18–44 අතර පිරිසෙන්ද සැලකිය යුතු කොටසකට අවදානම් සාධක කිහිපයක් එකවර තිබේ.

එබැවින් හෘද සෞඛ්‍යය පිළිබඳ අවධානය ආරම්භ කළ යුත්තේ හෘදයාබාධයක් සිදුවූ පසුව නොවේ. දරුවා තරුණ වියේ සිටින විටම දුම්පානයෙන් ඈත් කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ඇති කිරීම, ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබාදීම, අධික බර පාලනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවල රුධිර පීඩනය, රුධිර සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂා කිරීම වඩා වැදගත්ය.

අවසානයේ මාපියන් මතක තබාගත යුතු කරුණ මෙයයි.

තරුණ හදවතක් යනු හෘද රෝගවලට පිවිසිය නොහැකි තැනක් නොවේ. එහෙත් තරුණ වියේදීම අවදානම් සාධක හඳුනාගෙන පාලනය කළහොත් අනාගත හෘද රෝග බොහෝ දුරට වළක්වා ගත හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කරන්නේ හෘද වාහිනී රෝගවල බහුතරයක් දුම්පානය, අහිතකර ආහාර රටාව, ශාරීරික අක්‍රියතාව සහ අහිතකර මත්පැන් භාවිතය වැනි වෙනස් කළ හැකි අවදානම් සාධක මත ක්‍රියා කිරීමෙන් වැළැක්විය හැකි බවය.


(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය
namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හෘදවේද විශේෂඥ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

View all stories by වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...