මාංශ පේශි ක්ෂයවීම වැළැක්වීමේ උන්මාදය
Ozempic සහ Mounjaro වැනි GLP-1 කාණ්ඩයේ බර අඩුකරන ඖෂධ භාවිතය ව්යාප්ත වීමත් සමඟ හටගත් ප්රධාන අතුරු ආබාධයක් වූයේ සිරුරේ අනවශ්ය මේදය මෙන්ම මාංශ පේශිද ක්ෂය වීමයි.
මෙම තත්ත්වයෙන් මිදීමට ඖෂධ භාවිතා කරන්නන් අධි-ප්රෝටීන් ආහාර සෙවීමට පටන් ගත් අතර, බොස්ටන් කන්සල්ටින් සමූහයේ (BCG) දත්ත අනුව ඔවුන් ප්රෝටීන් වෙනුවෙන් කරන වියදම 11%කින් ඉහළ දමා ඇත.
ප්රතිඵලය වූයේ සාමාන්ය ජලය, අයිස්ක්රීම්, මැකරෝනි, කෝපි පමණක් නොව වොඩ්කා දක්වා සෑම දෙයකටම කෘත්රිමව ප්රෝටීන් මිශ්ර කර වෙළඳපොළට එවීමයි. මේ වන විට එම ගෝලීය වෙළඳපොළේ වටිනාකම ඩොලර් බිලියන 58 ඉක්මවා තිබේ.
ඩිජිටල් ඇසට හසුවන ලේබල් රැවටිලි
නමුත් පාරිභෝගිකයා දැන් පෙරට වඩා විමසිලිමත්ය. නීල්සන් අයිකියු (NielsenIQ) වාර්තා පෙන්වා දෙන්නේ ආහාර නිෂ්පාදන ක්ෂේත්රය "වගවීමේ යුගයකට" (Accountability era) එළඹ ඇති බවයි.
පෝෂණ අගයන් තහවුරු කරගැනීමට ස්කෑන් යෙදුම් (Scanning apps) භාවිත කරන පිරිස 25% දක්වා ඉහළ ගොස් තිබේ. විශාල අකුරින් ‘High Protein’ ලෙස සඳහන් කළද, ඒ තුළ සැඟවුණු සීනි, රසායනික කල්තබාගැනීමේ ද්රව්ය සහ අතිශය සැකසූ අමුද්රව්ය පිළිබඳව පාරිභෝගික සැකය තීව්ර වෙමින් පවතී.
තවත් ප්රධාන උපක්රමයක් වන්නේ ලේබලයේ දැක්වෙන ප්රමාණය (Serving size) සූක්ෂ්ම ලෙස වෙනස් කිරීමයි. Nature Valley වැනි ප්රකට සන්නාම පවා සාමාන්ය නිෂ්පාදනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්රමාණයක් එකවර ආහාරයට ගන්නා බව උපකල්පනය කරමින් ප්රෝටීන් අගය ඉහළ දමා පෙන්වන බව හෙළිව ඇත.
ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ මහාචාර්ය ජොනතන් බොනට් පෙන්වා දෙන්නේ මෙවැනි නිෂ්පාදනවල කැලරි අනුපාතය සලකා බැලූ විට සැබෑ ප්රෝටීන් ප්රතිශතය ඉතා පහළ මට්ටමක පවතින බවයි.
දැවැන්තයින්ගේ නෛතික ගැටුම
තරගය උග්රවීමත් සමඟ ප්රෝටීන් ලේබල් කිරීමේ නීත්යානුකූලභාවය පිළිබඳ ගැටලුව අධිකරණය හමුවටද ගොස් තිබේ.
Danone ආහාර දැවැන්තයා සිය ප්රතිවාදී Chobani සමාගමට එරෙහිව නඩු පවරමින් චෝදනා කළේ සම්මත නොවන මිනුම් උපයෝගී කරගනිමින් පාරිභෝගිකයා නොමඟ යවන බවයි. චොබානි සමාගම එම චෝදනා ප්රතික්ෂේප කරමින් තමන් නිවැරදි යැයි කියා සිටියද, වෙළඳපොළ සටනේ නිරුවත ඉන් මනාව හෙළිදරව් විය.
මේ අතර හෝමල් ෆුඩ්ස් (Hormel Foods) වැනි ඇතැම් නිෂ්පාදකයින් පවසන්නේ කෘත්රිම ප්රෝටීන් අයිසොලේට් හෝ කෘත්රිම කුඩු වෙනුවට මිනිසුන් දිගුකාලීනව සොයන්නේ ස්වාභාවික ආහාර බවයි.
සෞඛ්ය සම්පන්නද? කැන්ඩි බාර් එකක්ද?
සාමාන්ය නිරෝගී පුද්ගලයෙකුට වෙළඳ ප්රචාරණයෙන් පෙන්වන තරම් අධික ප්රෝටීන් අවශ්යතාවක් නොමැති බව කැලිෆෝනියා සරසවියේ (UCLA) සායනික පෝෂණවේදිනී ඩැනා හුනස් අවධාරණය කරයි.
"ප්රෝටීන් අඩංගු වූ පමණින් එය සෞඛ්යාරක්ෂිත යැයි කිව නොහැකියි. ඇතැම් ප්රෝටීන් බාර් සාමාන්ය කැන්ඩි බාර් එකකට වඩා වෙනසක් නැහැ," ඇය පෙන්වා දෙයි.
කෘත්රිම රසායනික එකතු කිරීම්වලින් තොර සැබෑ ස්වාභාවික පෝෂණය වෙනුවට, සෞඛ්යයේ නාමයෙන් වෙළඳපොළට එන 'කෘත්රිම ආහාර රැල්ල' පිළිබඳව ඉදිරියේදී දැඩි නියාමනයක් ක්රියාත්මක විය යුතු බව සෞඛ්ය ක්ෂේත්රයේ විද්වතුන්ගේ ස්ථාවරය වී තිබේ.
වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්ර සබැඳි :
Reuters Legal & Market Report: Weight-loss drugs fuel protein boom, but with more consumer scrutiny
Boston Consulting Group (BCG) Analysis: Consumer Spending Shifts and the Impact of GLP-1 Medications



