BREAKING
Top Ad
Life

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට 75 යි සංස්ථාවට 50 යි : සැමරුම තරංගනීයේ දී

T

The Leader

January 6, 2022 • 11:52 PM

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට 75 යි සංස්ථාවට 50 යි : සැමරුම තරංගනීයේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක් ජනවාරි 21 වන දා
  • 1947 ජනවාරි 21 කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදී තිරගත වූ කඩවුණු පොරොන්දුව ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටයයි.
  • ප්‍රධාන නළු නිළියන් ලෙස බී.ඒ.ඩබිලිව්.
  • කඩවුණු පොරොන්දුව දේශීය සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ 1956 වර්ෂයේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

1947 ජනවාරි 21 කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදී තිරගත වූ කඩවුණු පොරොන්දුව ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටයයි. ජේ. සිංහා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම් විසිනි. ප්‍රධාන නළු නිළියන් ලෙස බී.ඒ.ඩබිලිව්. ජයමාන්න සහ රුක්මනී දේවී රඟපෑමෙහි නිරත විය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙහි රූගත කිරීම් ඉන්දියාවේදී සිදුකෙරිණි. දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙකු යටතේ නිර්මාණයවීමත් චිත්‍රපටයේ හඬකැවීම් සිදුකළේ ඉන්දීයානුවන් වීමත් හේතුවෙන් චිත්‍රපටය ඉන්දීය ආභාෂයක් ගෙන තිබුණි. මෙතැන් සිට දශකයකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය වූ චිත්‍රපට සියල්ල ඉන්දීය අනුකරණයන් විය.

කඩවුණු පොරොන්දුව



දේශීය සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ 1956 වර්ෂයේදීය. ඒ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයත් සමගය. රේඛාව චිත්‍රපටය චිත්‍රාගාරවලින් පරිබාහිරව මෙරට නිර්මාණය කරනු ලැබූ ප්‍රථම චිත්‍රපටය වන අතර ශ්‍රී ලාංකේය සිනමාවේ අනන්‍යතාවය ඒ හරහා පෙන්නුම් කළේය. පසුගිය කාලපරිච්ජේදය තුළ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය විවිධ අදියරයන් යටතේ නව වෙනස්කම්වලට පාත්‍රවෙමින් 75 වන වියට පානගා තිබේ. මේ කාලය තුළ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් මෙන්ම කලාකෘති රාශියක්ද බිහිවිණි.

රේඛාව


2022 ජනවාරි 21 වන දිනට යෙදී තිබෙන ලාංකේය සිනමාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවි ප්‍රසාද් කලුපහන මහතා ප්‍රකාශ කළේය. එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස 2022 ජනවාරි මස 10 වනදා සිට 16 වනදා දක්වා තරංගනී සිනමා ශාලාවේදී චිත්‍රපට උළෙලක් පැවැත්වේ.

 

ශ්‍රී ලාංකේය සිනමාවේ නව සංධිස්ථානයන් සනිටුහන් කළ චිත්‍රපට 07ක් මෙම උළෙලේදී ප්‍රදර්ශනය ‍කිරීමට නියමිතය. සිනමා උළෙල සිනමා රසිකයින් වෙනුවෙන් නොමිලයේ පැවැත්වෙන අතර චිත්‍රපට ප්‍රදර්ශනය සෑම දිනකම සවස 5ට ආරම්භ වේ.

 

ජනවාරි 10 - ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “ගොළු හදවත”


ජනවාරි 11 - ආචාර්ය තිස්ස අබේසේකර මහතා අධ්‍යෂක්ෂණය කළ “විරාගය”


ජනවාරි 12 - වසන්ත ඔබේසේකර මහතා අධ්‍යක්ෂණය කළ “වල්මත්වූවෝ”


ජනවාරි 13 - එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ “සිකුරුලියා”


ජනවාරි 14 - ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ “ගැහැණු ළමයි”


ජනවාරි 15 - ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්ෂණය කළ “සුද්දිලාගේ කතාව”


ජනවාරි 16 - ධර්මසේන පතිරාජ මහතා අධ්‍යක්ෂණය කළ “බඹරු ඇවිත්” චිත්‍රපට 07 ප්‍රදර්ශනය ‍කෙරේ.

 


ජනවාරි 21 වන දා පැවැත්වෙන සැමරුම් උළෙලේදී ලාංකේය සිනමාවේ එදා මෙදාතුර ගමන් මග පිළිබඳ සමරු දේශනය සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතා විසින් ද 50 වසරක ජාතික චිත්‍රපට සංස්ථාවේ ගමන් මඟ පිළිබඳ දේශනය ප්‍රවීණ රංගනවේදී විජයරත්න වරකාගොඩ මහතා විසින් ද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීම ද එදින සිදුකෙරේ.


ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී කලාකරුවෙකු ඇගයීමට ද ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගෙන තිබේ. ජගත් අවධානයට සම්ප්‍රාප්ත වූ ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධියෙන් පිදුම් ලැබූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඒ සඳහා තෝරාගෙන ඇත.

 

ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් 25කට විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා නිර්මාණ ඉදිරිපත් කර ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇති නවක සිනමාකරුවන් ඇගයීම, එම ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස යාවත්කාලීන කිරීම, සිනමා අධ්‍යයනය ප්‍රවර්ධනය උදෙසා චිත්‍රපට තිර රචනය, සිනමා රංගනය, කැමරාකරණය පිළිබඳ අතිරේක පාඨමාලා ආරම්භ කිරීම ආදී කාර්යයන් ද ජාතික චිත්‍රපට සංස්ථාව සැලසුම් කර තිබේ.

සැමරුම් උළෙලට සමගාමීව සිනමා ග්‍රන්ථ කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය. ඒ අනුව “චිත්‍රපට” සඟරාවේ පිටු 100 කින් යුත් විශේෂ කලාපයක් එළි දැක්වීම, කතිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි මහතා විසින් රචිත “පශ්චාත් නූතන සිනමාව” ග්‍රන්ථය සහ ආතර් යූ අමරසේන මහතා විසින් රචිත “සිංහලයේ මහා සිනමා වංශය” (2 වන කාණ්ඩය) එළිදැක්වීම ද සිදු කෙරෙන අතර “සිනමාව පිළිබඳ විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය” ද එළි දැක්වීමට නියමිතය.

 

 

 

 

 

Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...