BREAKING
Top Ad
Life

දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත..... - මහින්ද රූබසිංහ

T

The Leader

August 31, 2021 • 7:44 PM

දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත..... - මහින්ද රූබසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මට මොනවා හරි වුණොත් ළමයි ටික බලාගෙන ඔයා හොඳින් ජීවත් වෙන්න"
  • ජීවිතය "තණ අඟ රැදි පිණි බිඳක්" බව වඩ වඩාත් සනාථ කරන යුගයක්.
  • තම දිවිසැරියේ අවසන් ඉමට පැමිණ ඇතැයි සිතන සැමියකුගේ සිතුවිලි සමුදායක් මේ ගීතයට ප්‍රස්තුත වනවා.
  • ඔහු තුළ දැන් දැල්වී ඇති ලතෙත් ප්‍රතිෂ්ඨාව අප තුළ ඇති කරන්නේ සහකම්පනයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වෙලාවේ දෙමහල්ලෝ විහිළුවට හෝ මේ කතාව එකිනෙකාට කියා ගන්නවා ඇති. මෙය හිතාගන්න බැරි විදියට සමීපතමයන් අපෙන් නික්ම යන වෙලාවක්. දරාගත නොහැකි අහිමිවීම් සහිත අමිහිරි හා අවිනිශ්චිත කාලයක්. ජීවිතය "තණ අඟ රැදි පිණි බිඳක්" බව වඩ වඩාත් සනාථ කරන යුගයක්.

මේ අතරේ සමාජ මාධ්‍යයේ සැරිසරන වියපත් යුවලකගේ පහත සේයාරුව ඇහැගැටුණා. ගීතයක් මතකයට නැගුණා. ඒ ගැන යමක් ලියන්න හිතුනා. දැනුන දේ ලිව්වා. දිග නම් පොඩ්ඩක් වැඩියි.

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුම ද ඔබම පමණයි

 

මිනිසුන්ට ජීවිතය අත්හරින්න පුළුවන්. එහෙත් අවසන් හුස්මෙදිත් අතහළ නොහැකි බැඳීම් තිබෙනවා. තම දිවිසැරියේ අවසන් ඉමට පැමිණ ඇතැයි සිතන සැමියකුගේ සිතුවිලි සමුදායක් මේ ගීතයට ප්‍රස්තුත වනවා. ඔහුගේ අධ්‍යාත්මය කතා කරනවා.

 

සියලු බැඳීම් හැරදමා යන්න කාලය ඇවිදින්. එහෙත් හැරදා යා නොහැකි එකම බැඳීමක් තිබෙනවා. ඒ එදා මෙදාතුර තම අත්වැල, සෙවනැල්ල, පහන් ටැඹ වූ සෙනෙහෙබර බිරිඳයි. ඔහු තුළ දැන් දැල්වී ඇති ලතෙත් ප්‍රතිෂ්ඨාව අප තුළ ඇති කරන්නේ සහකම්පනයක්.

 

සියලු බැඳීම් හැරදමා යන්න කාලය ඇවිදින්. එහෙත් හැරදා යා නොහැකි එකම බැඳීමක් තිබෙනවා. ඒ එදා මෙදාතුර තම අත්වැල, සෙවනැල්ල, පහන් ටැඹ වූ සෙනෙහෙබර බිරිඳයි. ඔහු තුළ දැන් දැල්වී ඇති ලතෙත් ප්‍රතිෂ්ඨාව අප තුළ ඇති කරන්නේ සහකම්පනයක්.

ධර්මසිරි ගමගේ නිර්මාණවේදියාගේ අවමංගල්‍යයට සහභාගී වූ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ට දැනුන හැඟීම් අකුරු බවට පත්වූ බවයි මා අසා ඇත්තේ. මේ අනුභූතිය පද පෙළක් වූ පසු සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් සප්තප්ස්වරයට පණ පොවනවා. සෝමතිලක ජයමහ ශිල්පියාගේ දුක්, වේදනා, සංතාප ගැල්වුනු හා ගිල්වුණු මධුර හඬින් මේ අනුවේදනීය හැඟීම අප සවනතට වැකෙනවා.

ගේය පද සිත්තම්කරු මෙහි දිගහරින්නේ දයාර්ද ස්වාමිපුරුෂයකුගේ ජීවිතයක අවසන් පරමාර්ථය ගැන පමණක්ම නොවේ. දශක ගණනක බැඳීමක හා විඳීමක මිහිරයි. අන්‍යොන්‍ය ගෞරවයකින් බැඳී සිටි, මනාව සුසංයෝග වූ පවුල් ජීවිතයක ස්වාමි භාර්යා බැඳීමක පරමානන්දයේ ස්මෘතියයි.

ආදරය වෛරයක් බවට පත්ව පෙම්වතා පෙම්වතියගේද සැමියා බිරිඳගේද දිවි තොර කරන වත්මන් යුගයටද පූර්වාදර්ශ හා අනුපාන සපයමින් මේ ස්වාමිපුරුෂයා අතීතාවර්ජනයක නිරත වනවා වැන්න. එමෙන්ම කුලරත්න ආරියවංශයන් මේ ගීයෙන් ජීවිතයේ අනියත බව පිළිබඳ ගැඹුරු දහමද අපට මනාව පසක් කරවයි. ඔහු නිමග්නව ඇත්තේ දෙපසකින් අපගේ භාව මණ්ඩලය පෝෂණය කිරීමටය.

මරණය කලින් පැමිණෙන්නේ කාටදැයි කිවනොහැක්කකි. එහෙත් තමන් මුලින් එම ගමන යන බවට පූර්ව නිගමනයක සිටිමින් ඔහු කියන්නේ සිය ප්‍රියම්භිකාව කලින් නික්ම යායුතු බව සිහිනෙන් හෝ නොසිතන සැමියෙකු නිසාය. එහෙත් මේ අත්වැල ගිලිහීම නියතයකි. එය චිත්ත සංතානය පසාරුකරවමින් දැනේ. එහෙත් ජීවන හුස්ම දුන්, නැගී සිටීමට වෙරදුන්, හුදකලාව මකාලූ ඇය දමා යාමට ඔහුට හිත් නොදේ.

 

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩහුන්
ළබැඳි සිත් මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය සසර මග දකිනා...

 

ජීවිතය අනියතය. මරණය නියතය. ඒ බෞද්ධ ඉගැන්වීමයි. අපි සසර ගමනක නිරත වී සිටිමු. ලද ජීවිතය එක් නවාතැන් පොළක් පමණි. එකී ධර්මතාව දැන සිටියද තමන් සමග ජීවිතය වින්දවුන් දමා යාම වේදනාකාරි හැඟීමකි. දුක සැප දෙකෙහිම ඇය ළඟ සිටියාය.

දියණියට සැමියෙක්ද පුතාට බිරිඳක්ද ලැබී ඇත. දැන් ඔවුහු තම දරුමල්ලන් සමග සතුටින් ජීවත් වෙති. ඔවුන් කාර්යබහුලය. සැපදුක් විමසීමට හෝ දකින්නටවත් ඔවුන් ගම්දොර එන්නේ කලාතුරකිනි. කාලය එසේ ගතවෙද්දී ළඟ සිටි එකම කෙනා "දරුවන්ගේ අම්මා" පමණි. ඇය කෙසේ නම් දමා යන්නද?

සිය බිරිඳට මෙතරම් බැඳී සිටින මේ පියා නොකියන කතා වුවද තිබිය හැකිය. සියලු දේ දියකර හැර, කරඳඩු උස්මහත් කර හැදූ දූදරුවන් දේපළවලට පවා ඇනකොටා ගන්නට ඇත. ඔවුන්ගේ සුඛ විහරණය හමුවේ මේ වයෝවෘද්ධ දෙමාපියන් තනිවී සිටින්නට ඇත. එනයින් තම ඇඹණිය කෙරෙහි මෙවැනි හැඟුම් දැනීමේ අරුම කිම?

දුක්සැප දෙකෙහි නිතිපතා බැඳී සිටියත් තනි නොතනියට වැඩහුන් සෙවනැල්ල ඇයම පමණි. "ලබැඳි සිත් මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ" යන්නෙහි අදහස මරණය අත්දකින විට ලැබෙන ජීවිත යථාර්ථය පිළිබඳ අවබෝධයයි. නව ග්‍රහ ලෝක සොයා ගන්නා තරමට අප දියුණු වුවද ලොව කෙතරම් ආශ්චර්යයන් තිබුණද ජීවිතය තාවකාලිකය. එය නතර කරගත හැක්කක් නම් නොවේ.

 

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇත ද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳිනා…

 

බැඳුනු සෙනෙහස අදත් එදා මෙනි. සිගාලෝවාද සූත්‍රයෙහි යුග දිවි පැවැත්මක සාර්ථකත්වය උදෙසා ස්වාමි භාර්යා පස්වැදෑරුම් යුතුකම් සංගෘහිතය. එහි සැමියා පරදාර සේවනය නොකළ යුතු බව දැක්වෙයි. පවුල් කැණිමඩල ගිනිගැනීමට එය හේතුවකි. එහෙත් මේ ගීතයේ කථකයා හෙවත් සැමියා නම් සිය ස්වාමි දියණියට එවන් ගින්දරක් නොදුන්නෙකු බව ඔහුගේ කම්පිත පැතුමෙන් විෂද වෙයි.

මහාචාර්ය සුචරිත ගම්ලත්හු සිය "සාහිත්‍ය කලා ආදිය" නම් කෘතියෙහි මෙවැනි සටහනක් තබති.

sdadasd

"ශ්‍රී ජයදේවයන්ගේ 'ගීතගෝවින්දය" බහුභාර්යා පරිහරණය සඳහා පුරුෂයාට අයිතියක් ඇත යන පුරුෂෝතමවාදී දෘෂ්ටිවාදය පිළිගෙන නිර්මිත කාව්‍යයකි. රාධාවන් හැරපියා යන ශ්‍රී කෘෂ්ණයෝ අනේක ලියන් සමග රමණය කරති. මේ අතර රාධාවෝ විරහ සොවින් තැවෙති. රාධාවන්ගෙන් වියෝවීම නිසා ශ්‍රී කෘෂ්ණයන්ට එබඳු විරහ සොවක් නැත."

මේ ගීතයෙන් ධ්වනිථාර්ථ කථකයා කිසිලෙසකින් කෘෂ්ණා වැන්නෙකු නම් විය නොහැකිය. ඔහු තම බිරිඳට ආදරයක් ගෞරවයක් හා භක්තියක් තිබූ පරිපූර්ණ සැමියෙකු වූ බව හැඟේ. ඔවුන් දෙපළ අතර වූ පූජණීය බැඳීමක් මේ සුගායනය තුළ කුළුගැන්වෙයි.

සෝමපාල ලීලානන්දයන් ලියූ විජය කුමාරතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා ගයන "සැර යටියෙන් යනෙනතුරා" ගීතයෙන් ප්‍රතීයමාන කෙරෙන්නේ තරුණ යුවළක් සිය ජීවන ගමන අරඹන අවස්ථාවේ ඇති සුපහන් බලාපොරොත්තුවයි. 

 

"සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු."

 

මෙහි සඳහන් සංසාරය නම් මේ ජිවිත කාලයයි. භද්‍ර යෞවනයේදී ප්‍රේමයෙන් බැඳී විවාහයටද පිවිස කල්ගෙවා අවසන් ගමනත් එකට යාමට පතන සිත් අදටත් විරල නැත. ඒ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයයි. මානව ප්‍රේමයයි.

රසික ඩී. දුමින්ද ගීත රචකයාද මෙයම වස්තු භීජය කරගනිමින් මෑතකදී ලියූ ගීයක් ක්‍රිෂාන්ත එරන්දකගේ හඬින් අපට ඇසේ. දර්ශන වික්‍රමතුංග එහි අපූර්ව සංගීත නිමවුම්කරුවාය.

 

 

"අවසන් හුස්ම ගිලිහෙන මතුයම් දිනෙක
අයදිමි වරම් මාහට ඉක්මන් වෙන්න"

 

මෙහි අපට මුණ ගැසෙන්නේ සිය ප්‍රිය බිරිඳට වැඩි ආයුෂ පතන සෙනෙහෙවන්ත සැමියෙකි. තමන්ට වරයක් ලැබේ නම් ඇයට පෙර හුස්ම හෙළිමට ඔහු සූදානම්ය. ඒ ඇයට ඇති අසීමිත ආදරය හා බැඳීම නිසාය.

 

"පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැතිදාක නපුරක් නුඹහට වේද
තුන්සිත දැවී හළුවෙයි එය සිතන සඳ
හැකි නම් එක්ව යන්නට පෙර පිනකි එය"

 

ඇයට කලින් ජීවිතයට සමුදීමට හිතුවද එයද අසහනකාරී හැඟීමකි. ඒ තමන් මියදුන දිනෙක සිය ආදරියට නපුරක් වනු ඇතැයි දැනෙන බිය නිසාය. එනිසා අවසන ඔහු සිතන්නේ දෙදෙනා එකම අවස්ථාවේම මේ ජීවිතයෙන් නික්ම යාම මහත් අස්වැසිලක් බවය.

නොසිතූ නොපැතූ ලෙස රෝග පීඩාදිය කරදර කරන වෙලාවක මෙවැනි ආදරයක් හැඟීමක් තම සමීපතමයා කෙරෙහි යමෙකුගේ සිත්වල දැල්වී ඇති බව නොදනුමානය.

සෝමතිලක ජයමහ සංගීතවේදියාගේ දමා යන්නට නොහැකි මිහිමත සිත්තමට තව කොතෙකුත් ගෙත්කම් එක්කළ හැකිය. එකී අපූර්ව භාවපූර්ණ හඬත් රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිමවුමත් අපගේ භාව උද්දීපනය කරන්නේ එලෙසිනි.

ස්වභාව දහමට අනුව ආවොත් යා යුතුමය. එහෙත් එකට පැමිණ එකටම යන අය නැත. එහෙත් සිටිනා කාලයේ ඇතිවූ බැඳීම් දෙදෙනෙකු එක් අයෙකු බවට පත්කර තිබේ. ඉතිං කෙලෙස නම් දමා යන්නද?

"ප්‍රියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ" යනුවෙන් බුදුන් වදාළේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බවයි. කෙටි කාලයකට පවා ප්‍රියයන්ගෙන් වෙන්වීම පවා දුකක් වන කල්හි සදාකාලිකවම වෙන්වීමට සිදුවන්නේ නම් එය කෙතරම් නම් දුකක්ද? ඒ පිළිබඳ දැනෙන මහත් වේදනා කැටිය මේ ගීතයට ඔබ්බවා සරසා සුගායනයක් ලෙස අප දෙසවන තබා තිබේ.❤️

 

MRමහින්ද රුබසිංහ |සමාජ මාධ්‍ය ක්‍රීයාකාරික 

 


 

THE LEADER TV 
 

 

 

මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 

 

 

ස' SB සර්ගෙ ගණන් පංති ගිහින්! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...