BREAKING
Top Ad
Life

International උම්මාදයේ නිරුවත හෙළි කරන ‘‘Inter නැසනල්’’ -(ජයසිරි අලවත්ත)

T

The Leader

July 17, 2021 • 2:18 AM

International උම්මාදයේ නිරුවත හෙළි කරන ‘‘Inter නැසනල්’’ -(ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘තමාගේ කියා කිසිවක් ම අහිමිව මෙලොවට බිහිවන මිනිස් ජීවියා උපතේ සිට මරණය දක්වා ම ජීවත් වන්නේ තමාට වුවමනා ආකාරයට නොව පවතින සමාජයට වුවමනා ආකාරයට ය.
  • එසේ ප්‍රවේශ වීමේ ඵලයක් ලෙස දක්නට ලැබෙන නවතම ප්‍රවණතාව ලෙස International Schools හෙවත් ජාත්‍යන්තර පාසල් හැඳින්විය හැකි ය.
  • එහි දී ඇතැම් පියෙකුට තමා රැකියාවෙන් උපයාගන්නා සොච්චම් මුදල ප්‍රමාණවත් විය නොහැකි අවස්ථා එළඹේ.
  •   යට කී සියලු කරුණු පාදක කරගනිමින් නිර්මිත රුපවාහිනී නාට්‍යයක් ලෙස සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණය කළ ‘‘ඉන්ටර්නැසනල්’’ රූපවාහිනී නාට්‍ය හැඳින්විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):
එසේ නම් ‘‘සමාජය යනු කුමක් ද?’’ යන්න ඊළඟට පැන නැගෙන ගැටලුව ය.‘‘
 
සැබැවි... සමාජය යනු ද යට කී පරිදි කිසිවක් අහිමිව මෙලොවට බිහිවන ජීවීන්ගෙන් ම සපිරි වටපිටාවකි. එවන් වටපිටාවක ජීවත්වන මේ මිනිස් ජීවියා බිහි වූ අවධියේ ඔහුගේ හෝ ඇයගේ දෙමාපියෝ ඔහු හෝ ඇය
වෙනුවෙන් වෙහෙසෙති; 
 
 
 
 
 
International Schools :
 
 
 
සිය දරුවා සමාජයේ උසස් ස්ථානයකට ඔසවා තබන්නට හැකි සෑම උත්සායක් ම දරති. ඒ අතර පවතින සමාජ වටපිටාවේ පවතින තරගකාරිත්වයට ස්වංක්‍රියව ම ප්‍රවේශ වෙති. එසේ ප්‍රවේශ වීමේ ඵලයක් ලෙස දක්නට ලැබෙන නවතම ප්‍රවණතාව ලෙස International Schools හෙවත් ජාත්‍යන්තර පාසල් හැඳින්විය හැකි ය.
 
මෙය එක් පසෙකින් විලාසිතාවක් ලෙස ද, තවත් පසෙකින් රජයේ පාසලක් වෙත දරුවකු ඇතුළත් කරගැනීමේ දී දෙමාපියන්ට විඳින්නට සිදුවන ගැහැට මගහරවා ගැනීමේ ක්‍රමයක් ලෙස ද හැඳින්විය හැකි ය. 
 
දෙවන කරුණ හේතුවෙන් තම දරුවා ජාත්‍යන්තර පාසලක් වෙත බාරදෙන දෙමාපියෝ එම දරුවාගේ අනාගතය වෙනුවෙන් කළ හැකි වියදම් පිළිබඳ පූර්ණ අවබෝධයකින් පසුවෙනු ඇත. 
 
එහෙත් පළමු වර්ගයට අයත් දෙමාපියෝ තම දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළ මොහොතේ සිට ජීවත් වන්නේ අදාළ පාසල් තුළ පවා පවතින තරගකාරී වාතාවරණය මගහැර යා නොහැකි, එහෙත් ඒ සදහා කුමනාකාරයකින් හෝ මුහුණ දිය යුතු වාතාවරණයක ය. 
 
එවන් අවස්ථාවල දී දරුවා මතු නොව දෙමාපියෝ ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති. එහි දී ඇතැම් පියෙකුට තමා රැකියාවෙන් උපයාගන්නා සොච්චම් මුදල ප්‍රමාණවත් විය නොහැකි අවස්ථා එළඹේ. මවකට තම දරුවාගේ ම පංතියේ අනෙක් දරුවන්ගේ දෙමාපියන් සමග සම මට්ටමේ සිට කටයුතු කළ නොහැකි අවස්ථා එළඹේ. එවන් අවස්ථාවල විවිධාකාරයේ රඟපෑම්වල යෙදෙන්නට අදාළ දෙමාපියන්ට සිදුවේ.
 
යට කී සියලු කරුණු පාදක කරගනිමින් නිර්මිත රුපවාහිනී නාට්‍යයක් ලෙස සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණය කළ ‘‘ඉන්ටර්නැසනල්’’ රූපවාහිනී නාට්‍ය හැඳින්විය හැකි ය.
 
 
 
inter12
 
 
පුද්ගලිකව මා මෙම නාට්‍ය නැරඹීම සඳහා පෙලඹුණේ එහි නම ලියා ඇති ආකාරයේ වෙනසක් ඇති බැවිනි. එනම් ‘‘International’’ නමැති වදන සිංහල භාෂාවෙන් ලියන නිවැරැදි ආකාරය ‘‘ඉන්ටර්නැෂනල්’’ විය යුතු ය. නමුත් මෙම රූපවාහිනී නාට්‍යයේ නම ලියා තිබුණේ ‘‘Inter නැසනල්’’ යනුවෙනි. එවිට එක පැහැර ම මගේ සිතට ආ සිතුවිල්ල නම් මෙය ප්‍රහසනාත්මක රුපවාහිනී නාට්‍යයක් විය හැකි ය යන්න ය. මගේ සිතුවිල්ල නිවැරැදි ය.
 
 එනම් ‘‘Inter නැසනල්’’ යනු ප්‍රහසනාත්මක රුපවාහිනී නාට්‍යයකි. නමුදු එය ප්‍රේෂකයා බලාපොරොත්තුවන ආකාරයේ ‘‘ප්‍රහසනයක්’’ නොවේ. මන්ද මෙම නිර්මාණය තුළින් ප්‍රේක්ෂක ප්‍රජාව ප්‍රහසනයට පත්වන විට තමා නොදැනුවත්ව ම අදාළ ප්‍රේක්ෂකයා ද එම ප්‍රහසනයේ ගොදුරක් බවට පත්වීම ය. 
 
එනම් නාට්‍ය තුළ අන්තර්ගත ඇතැම් චරිතයක් තමා ම වීම ය; එසේත් නොමැති නම් තමාගේ අසල්වැසියෙකු, ඥාතියෙකු මිතුරෙකු හෝ මිතුරියක වීම ය. තවත් සරලව ම පවසන්නේ නම් එහි අන්තර්ගත චරිත යනු පවතින සමාජ ක්‍රමය තුළ දක්නට ලැබෙන චරිත වීම ය.
 
‘‘Inter නැසනල්’’ රුපවාහිනී නාට්‍ය පුරා ම සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ලිපිය ආරම්භයේ දී ම පැවසූ පරිදි තරග කර ජයගැනීමට මතු නොව තරගයට ප්‍රවේශ වීම පවා අසීරු තරගයක් වෙනුවෙන් ඉදිරිපත්වන පුද්ගල චරිත මෙන් ම ඉතා පහසුවෙන් තරගයට ප්‍රවේශ විය හැකි, අදාළ තරගයෙන් ඉතා පහසුවෙන් ජයගත හැකි චරිතවලට පවා ‘‘ජීවිතය ජයගැනීම’’ ඉතා අසීරු කාර්යයක් ය යන්න ය. 
 
 
 
 inter7
 
 
නාට්‍ය යේ අන්තර්ගත චරිත ද්වයක් වන චාරුණී සහ ගෙවින් ඊට කදිම නිදසුනකි. එම දෙපළ ම ඉහළ මධ්‍යම පාන්තික දිවියකට හිමිකම් කියති. එහෙත් ඔවුන්ගේ කුටුම්බය තුළ පවත්නා අභ්‍යන්තර ගැටුම් කෙතරම් බරපතළ ද යන්න විමසා බලන විට එවන් චරිත ඔබත් මමත් අසල කෙතරම් සිටී ද යන්න සිහිපත්වනු නොඅනුමාන ය.  
 
නිරූපා සහ සපරමාදු යන දෙමාපිය යුවළ යනු යට කී ආකාරයට අදාළ තරගයට ප්‍රවේශ වීමට පවා අසීරු යුවළකි. එහෙත් පවතින සමාජ වටපිටාව අනුව තමා ඉදිරියේ සිටින අනෙකා අභිභවන්නට දරන අසාර්ථක උත්සාහයේ දී ඔවුන් කෙතරම් අපහසුතාවට පත්වන්නේ ද යන්න සාක්ෂාත් කරන්නට තිර රචකයා සමත්ව ඇත. 
 
මතුපිට සමාජයේ දී සියලු සැප පහසුකම් සහිතව ජීවත්වන බව හඟවන ඇතැම් මිනිස්සු අභ්‍යන්තරයෙන් කෙතරම් අසිරුතා සහිත දිවියක් ගතකරන්නේ ද යන්න පිළිබඳව ද නිරූපා සහ සපරමාදු නමැති චර්ත ද්වය කදිමට ස්ඵුට කරති. 
 
එමෙන් ම ඔවුන් සිය දරු දෙදෙනා එකිනෙකාට සම සේ සලකනවා වෙනුවට ජාත්‍යන්තර පාසලට යන දරුවාට එක් ආකාරයකටත් රජයේ පාසලකට යන දරුවාට එක් ආකාරයකටත් සැලකීම ද පවත්නා තරගකාරී සමාජ වටපිටාවේ මුග්ධභාවය කදිමට පසක් කරයි. 
 
එමෙන් ම ඇතැම් අවස්ථාවල දී තම ආදායමට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ වියදම්වලට හුරු වීම හෝ බිරිඳ විසින් සැමියා හෝ සැමියා විසින් බිරිඳ හෝ යොමු කරනු ලැබීම තුළින් මුහුණ පාන්නට සිදුවන ව්‍යසනය කෙතරම් ඛේද ජනක ද යන්න පවා මෙම යුවළගේ ජීවන රටාව තුළින් පසක් කෙරේ.
 
වලව් පරම්පරාවේ ගරාවැටීම පිළිබිඹු කෙරෙන නිර්මාණ බොහෝ ප්‍රමාණයක් මා මෙන් ම ඔබ ද නරඹා, කියවා හෝ අසා ඇතුවාට සැක නැත. නමුදු එවන් පරම්පරාවලින් පැවත එන ඇතැම් චරිත සිය දේපළ පවා උකසට සින්න වුව ද ඔවුන්ගේ උද්දච්චභාවය, අහංකාරත්ව, පාරම්පරික හීනමානය ඉවතලන්නට බොහෝ සේ මැළිවෙති.
 
එමෙන් ම ඇන්ටන් චෙකොෆ්ගේ ‘‘චෙරි උයන’’ සහ මාර්ටින් වික්‍රමසිංහගේ ‘‘ගම්පෙරළිය’’ යන නිර්මාණ ද්වයේ ම එන පරිදි එබඳු වලව්වක බැළ මෙහෙවර කර පුද්ගලයෙකු යථා කාලයේ දී අදාළ වලව්ව මිලයට ගැනීම මතු නොව වලව්ව හිමි යුවළගේ දියණිය කරකාර බඳින අවස්ථා ද අප: අසා, කියවා සහ නරඹා ඇත. ‘‘Inter නැසනල්’’ නිර්මාණයේ අන්තර්ගත දිස්නා සහ ජය මුදලාලි තුළින් ප්‍රකට කෙරෙන්නේ ද එබඳු අවස්ථාවකි. 
 
 
 maxresdefault
 
 
 
නමුදු මෙම චර්ත ද්වය තුළින් රචකයා ප්‍රකට කරන්ට යත්න දරන්නේ යට කී නිර්මාණ ද්වය තුළින් පිළිබිඹු කෙරෙන අවස්ථා සහ චරිත ක්‍රියාකරකම් අභිභවන තත්ත්වයකි. 
 
එනම් හද්දා පිටිසර සිට නගරයේ පදිංචියට පැමිණෙන බොහෝ පිරිස් අත්විඳින ඛේදනීය තත්ත්වය යි. එය ‘‘ඛේදනීය තත්ත්වයක්’’ ලෙස සඳහන් කරන්නේ ජය මුදලාලි සහ දිස්නා නමැති චරිත ද්වය අනේක විධ දුක් කම්කටොලු විඳිනවා යන්න නොවේ. 
 
හද්දා පිටිසර වලව්වක විසූ අහංකාර, උද්ධච්ච කාන්තාවක නගරයට පැමිණීමෙන් ඉක්බිති සිය ග්‍රාම්‍යත්වය මෙන් ම නූගත්භාවය සහමුලින් ම අමතක කරන්නට දරන වෑයම හේතුවෙන් ඇය මුහුණ දෙන තත්ත්වය යි. මෙබඳු චරිත ද අප අවට අනන්තවත් වෙසෙති. ‘‘Inter නැසනල්’’ නිර්මාණය තුළින් එවන් චරිත ඉතා නිර්දය ලෙස නිරුවත් කර ඇත; දැඩි ලෙස උපහාසයට ලක් කර ඇත.
 
 nana
 
 
‘‘Inter නැසනල්’’ නිර්මාණය තුළ මා දුටු ඉතාමත් සංවේදී චරිතය රොෂාන් ය. ඔහු සිය දරුවාගේ පාසලේ අනෙක් දෙමාපියන් සහ ගුරුවරිය ඉදිරියේ විනෝදයෙන්, සැහැල්ලුවෙන් හැසිරුණ ද යථා ජීවිතයේ දී අන් සියලු දෙනාට ම වඩා දුක්ඛිත දිවියක් ගත කරන්නෙකි. ඔහු ඒ සියලු දුක් විද දරාගන්නේ අන් කිසිවක් නිසා නොව සිය දරුවාගේ අභිවෘද්ධිය වෙනුවෙනි. 
 
නිරූපාට අනුව ඔහු මනමාලයෙකි, ඇතැම් විට සල්ලාලයෙක් ද විය හැකි ය. නමුදු ඇතුළතින් කිසිදු පුද්ගලයෙකුට කරදරයක්, හිරිහැරයක් නොකර, තම මානසික වේදනා සියල්ල ඉතා උපේක්ෂාවෙන් විඳ දරාගෙන ජීවත්වන අනන්ත අප්‍රමාණ වූ මිනිසුන්ගේ ජීවිතවල අභ්‍යන්තරය හෙළිදරව් කිරීම මෙම චරිතය තුළින් සිදු කෙරේ. 
 
හොඳින් සිහිපත් කර බලන්න... ඔබ මා අසල එබඳු චරිත කෙතරම් නම් ගැවසෙන්නට ඇති ද, එබඳු චරිත කෙරෙහි ඔබත් මාත් කෙතරම් වැරැදි ආකාරයට අවධානය යොමු කර ඇති ද?
 
 
 
chali large
 
මහා රංගධර චාලි චැප්ලින්
 
 
ඔහුගේ චරිතය දෙස ඉතා සීරුවෙන් අවධානය යොමු කරන විට මට සිහිපත් වූයේ ලොවක් සිනා සයුරේ ගිල්වූ මහා රංගධර චාලි චැප්ලින් ය; ඔහුගේ අපූරු ප්‍රකාශයකි. එනම් ඔහු වරක් පවසා ඇත්තේ ඔහු වැස්සට ඉතා කැමති බවයි. ඒ මන්දැයි විමසන විට ඔහු පවසන්නේ කුමක් ද...? වැසි වසින විට ඔහුට තම දුක පිටාර ගලන තරමට හැඬිය හැකි බවයි; එවිට ඔහුගේ කඳුළු කිසිවකුට නොපෙනෙන බවයි. 
 
රොෂාන්ගේ චරිතය ද එබඳු ය. මන් ද ඔහු කිසිදු දිනක සිය කණ්ඩායමේ කිසිවකුට ඔහු විඳින කටුක යථාර්ථය නොපැවසුවා පමණක් නොව ඒ පිළිබඳ ඉඟියක් හෝ නොදෙන්නට වගබලාගත්තේ ය. ඔහු යටි සිතින් ආදරය කරන, දරුවාගේ ගුරුවරිය සමග වුව සිය ජීවිතයේ යථාර්ථය හෙළිදරව් කරන්නේ දරුවාගේ දඩබ්බරකම්වලට හේතුව සොයන ගුරුවරියගෙන් එය සැඟවිය නොහැකි අවස්ථාව එළඹි පසුව ය. 
 
එතෙක් රොෂාන් තුළ ජීවත් වූ වේදනාකාරී මිනිසා හඳුනාගන්නට කිසිවකු සමත් නොවූහ; ඔහු තුළ ම සැඟවී සිටි අවංක මිතුරා හඳුනාගැනීමට කිසිවකු සමත් නොවූහ. ඉදින් ඔබ ‘‘Inter නැසනල්’’ නැරඹුවා නම් ඔබ අසලත් මෙවන් චරිත සිටිය හැකි බව සිතන්න. එවන් චරිත කෙරෙහි වරදකාරී හැඟීමෙන් කටයුතු කිරීම නවතාලන්න.
 
 
 
inter1
 
 
 
පසු ගිය කාලවකවානුව තුළ ආලින්දයේ තිබෙන රුපවාහිනිය ඉදිරිපිට අසුන්ගෙන නැරඹූ පවුල් ආරවුල් සහිත මෙගා රූපවාහිනී නාට්‍ය ව්‍යසනය සම්පූර්ණයෙන් ම නවතාලන්නට නොහැකි වුව ද එකී ව්‍යසනය අවම කරන්නට තරම් තත්ත්වයක් ‘‘Inter නැසනල්’’ නාට්‍ය සහ තවත් එබඳු නාට්‍ය කිහිපයකට ම හැකි වී තිබීම සාධනිය ලක්ෂණයකි. 
 
එබැවින් රුපවාහිනි නාලිකා හිමිකරුවෝ මෙබඳු නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම් ලාංකීය රූපවාහිනී නාට්‍ය ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් ලබාගත හැකි බව නොවළහා පැවසිය හැකි ය.
 
 
Inter නැසනල් නිර්මාණයට දායක වූ පිරිස
 
රංගනය -:
 
දුලීකා මාරපන (දිස්නා ගෝකුල කස්තුරිරත්න), සරත් කොතලාවල (ජය මුදලාලි),  වගීෂා සල්ගාදු (සුලෝචනා ටීචර්), සුජීව ප්‍රියලාල් (රොෂාන්), මාලි ජයවීරගේ (සුමනාවතී) (චමත්), ගයාන් විතාන (සකුණ), සුරංගා රණවක (ටානියා), තරින්දි ප්‍රනාන්දු (චාරුණී), ටාෂි කාලිදාස (මීනු), ධනුෂ්කා ඉරෝෂණී (නිරූපා),මහේන්ද්‍ර වීරරත්න (සපරමාදු), සංගීත් ප්‍රභූ (වේටර්),  සමිත සුදීෂ්වර (නාරද -සික්‍යුරිටි), ආලෝක සම්පත්, චානුක ප්‍රබුද්ධ, මේධා ජයරත්න, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සාලින්ද රත්නායක   
 
සංගීතය - රුක්ෂාන් සුබසිංහ
 
තිර රචනය - Script https://www.google.com/url?q=http://hub.lk&source=gmail&ust=1626585706868000&usg=AFQjCNFPXXLsJbBm7tcsbFx2qAwlZg-Gbw">hub.lk
 
නිෂ්පාදනය - දුලීකා මාරපන සහ ධරණී ජයසේකර
 
අධ්‍යක්ෂණය - සුජීව ප්‍රියලාල්
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
 
 
 
 
THE LEADER TV
 

රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට 

 
 

 

අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...