BREAKING
Top Ad
Life

විප්‍රලම්භ රසයෙන් අනූන වූ ‘සුසානය’ - (ජයසිරි අලවත්ත)

T

The Leader

November 5, 2022 • 11:23 PM

විප්‍රලම්භ රසයෙන් අනූන වූ ‘සුසානය’ - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුණු පොතේ ඉහළ පහළ ගමන් කරන විට හමුවෙන: දේශපාලන ලියවිලි, මමායන ලියවිලි, චිත්‍රපට විචාර, සාහිත්‍ය විචාර, පුද්ගලික මඩ ගැසීම් සඳහා
  • මන්ද ඇතැම් පද රචනයක් සාර්ථක වුව ද එම පද රචනය සඳහා උපස්තම්භක කරගෙන තිබෙන තනුව මෙන් ම සංගීත සංකලනය ද අදාළ පද රචනයට නොගැළපේ.
  • තවත් ඇතැම් අවස්ථාවක: හොඳ තනුවක්, සංගීත සංකලනයක් සහ කන්කලු කට හඬක් සහිත ගීයක පද රචනය ඉතාම අවර ගණයේ පද රචනයක් විය හැකි ය.
  • ඔබට ද මෙවන් ගීත අනන්ත අප්‍රමාණ අසන්නට ලැබී ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

භාවිත කරන ලියවිලි සහ කවි යනාදි ලියවිලි අතර ගීත විඩියෝ ද හමුවේ. එම ගීත වීඩියෝ සියල්ල ම ශ්‍රවණය නොකළ ද ඉඳ හිට ගීතයකට සවන් දිය යුතු යැයි සිතුණු සැණින් ආසන්නයේ ම හමුවන ගීතයක් ශ්‍රවණය කිරීම මගේ සාමාන්‍ය පුරුද්දකි. එහෙත් අදාළ ගීතයේ පළමු පේළිය හෝ උපරිම දෙවන පේළිය ශ්‍රවණය කරන විට ම අදාළ ගීතය ශ්‍රවණය නොකර සිටීම වඩා යහපත් යැයි සිතෙන ගීත බහුතරයක් අතර වුමනාවෙන් ම ශ්‍රවණය කළ යුතු යැයි හැඟෙන ගීත ද ඉඳ හිට හමුවේ.


මතු දැක්වෙන්නේ එසේ වුමනාවෙන් ම ශ්‍රවණය කළ, ශ්‍රවණය කිරීමෙන් ඉක්බිති ඒ පිළිබඳව මගේ වින්දනය හෝ කියවීම ද සටහන් කළ යුතු යැයි අදහස් කළ ගීතයක් පිළිබද ලියවිල්ලකි.

 

ගීතයක් යනු සාහිත්‍යයේ ද, සංගීතයේ ද, කිසියම් පුද්ගලයෙකුගේ කට හඬෙහි ද සුසංයෝගයේ අවසාන ඵලය භුක්ති විඳීමට ලැබෙන මහඟු අවස්ථාවකි. මෙම සුසංයෝගය පත අට එකට සිඳවා පානය කළ හැකි අවස්ථා දුර්ලබ ය. මන්ද ඇතැම් පද රචනයක් සාර්ථක වුව ද එම පද රචනය සඳහා උපස්තම්භක කරගෙන තිබෙන තනුව මෙන් ම සංගීත සංකලනය ද අදාළ පද රචනයට නොගැළපේ. පද රචනයට ගැළපෙන තනුවක් සහ සංගීත සංකලනයක් සහිත ගීතයක් හමු වූ විට එය ගායනා කරන ගායකයා හෝ ගායිකාව අදාළ කටයුත්තට සුදුසුකම් සැපිරූ අය නොවේ. තවත් ඇතැම් අවස්ථාවක: හොඳ තනුවක්, සංගීත සංකලනයක් සහ කන්කලු කට හඬක් සහිත ගීයක පද රචනය ඉතාම අවර ගණයේ පද රචනයක් විය හැකි ය. එවන් ගීත ශ්‍රවණය කළ නොහැකි ය. ඔබට ද මෙවන් ගීත අනන්ත අප්‍රමාණ අසන්නට ලැබී ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය.

 

එවන් කුමන හෝ දෝෂ සහිත ගීත බහුතරයක් පවතින අතරවාරයේ යට කී සියලු අංග සමපාත ලෙස එනම් පත අට එකට සිඳවූ නිර්මාණ ද හමුවේ. රසික ඩී. දුමින්ද (Rasika D Duminda) විසින් රචිත, දීපති ජයසූරිය විසින් සංගීතය නිමවන ලද, දිනේන්ද්‍ර බණ්ඩාර ජයවීරගේ ගායනයෙන් සුසැදි ‘‘සුසානය’’ යන මැයෙන් නම් කර ඇති ගීතය පසුගිය දිනෙක ශ්‍රවණය කිරිමට අවස්ථාව ලද විරල ගණයේ ගීතයකි.


මෙය විප්‍රලම්භ රසයෙන් සපිරි ගීතයකි. සමස්ත ගීතය පුරාම කියැවෙන්නේ කථකයා ආදරය කළ තරුණිය ඔහු හැර යන මොහොතේ හෝ හැර ගිය පසු ඔහුගේ සිතේ නැගෙන විරහ වේදනාව ය. ගීතය ශ්‍රවණය කර අවසන් වනවාත් සමග ම මට සිහිපත් වූයේ: කේ. ඩී. කේ. ධර්මවර්ධනගේ පද රචනයක් වන, ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය සැපයූ, මිල්ටන් මල්ලවආරච්චි ගායනා කළ  ‘‘කෙසේ කියන්න ද ඔබ මා අතහැර ඉවත ගියා කියලා’’ නමැති ගීතය යි






කෙසේ කියන්න ද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

සෙනෙහස බිඳුණ ද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
මවිසින් ඔබ අත් හලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා


කේ. ඩී. කේ. ධර්මවර්ධනගේ පද රචනයෙන් කියැවෙන්නේ ද පෙම්වතිය පෙම්වතා හැරගිය පසු පෙම්වතාගේ හදවතට දැනෙන විරහ වේදනාව ය. කථකයාගේ පෙම්වතිය ඔහු හැර යන්නේ ඔහුගේ වරදකින් නොවුණ ද සිය පෙම්වතිය ඉතා හොඳ කෙනෙක් බව කථකයා ලෝකයට පවසා ඇති බැවින් එය ආපසු හැරවීමට හෙතෙම අකමැති ය. එබැවින් ඔහු අවසන පවසන්නේ පෙම්වතිය තමා හැර ගිය ද ඇයට අවමානයක්, අපහාසයක් කළ නොහැකි බැවින් පෙම්වතා විසින් පෙම්වතිය අත් හැර දමනු ලැබු බව ලෝකයට පවසන බවයි.


මෙම ගීතයේ පද රචනයේ කෙතරම් විප්‍රලම්භ රසයක් පැවතිය ද මෙහි පළමු තනුව, සංගීත සංකලනය සහ ගායනය තුළින් එම විප්‍රලම්න රසය උද්දීපනය නොවේ. නමුදු පසු කලෙක මෙම ගීතය (Cover song) ගායනා කළ මියුරු සංගීත් නමැති ගායකයා එහි විප්‍රලම්භ රසය ඉතා මැනවින් පිළිබිඹු වන ලෙස ගායනා කර ඇති අතර ඔහු විසින් ම මුසු කරන ලද පියානෝ වාදනය ද පද රචනයයෙන් මතු කෙරෙන විප්‍රලම්භ රසය කදිමට මතු කර ඇත.





කේ. ඩී. කේ. ධර්මවර්ධන විසින් රචිත ‘‘කෙසේ කියන්න ද’’ ගීතයට ද රසික ඩී. දුමින්ද විසින් රචිත ‘‘සුසානේ’’ ගීතයට ද පාදක වන අනුභූතිය සමපාත ය. නමුදු රසික ඩී. දුමින්ද සිය පද රචනය කේ. ඩී. කේ. ධර්මවර්ධනගේ පද රචනය යම් පමණකට අභිභවන්නට සමත් වී ඇත. එම පදරචනයේ විප්‍රලම්භ රසය ද ඩී. කේ. ධර්මවර්ධනගේ පද රචනයට වඩා හදවතට දැනෙනසුලු ය.


ඔහු පෙම්වතිය වෙනුවෙන් කරන කැපවීම ඉතා ප්‍රබල ය. එනම් හෙතෙම සියලු වරද තමා මත පටවා ගන්නා අතර ම ඔහු මිය ගිය පසුව වුව ද පෙම්වතියට හැඟෙන දැනෙන සියලු දුක් වේදනා ද ඔහුටම ලබා දෙන්නැයි ඉල්ලා සිටී.


කථකයා සිය පෙම්වතියට කෙතරම් ආදරය කරනවා කිවහොත් පෙම්වතාට පෙර පෙම්වතිය මිය යන්නේ නම් යෙහෙකැයි ඇය පැවසූ අන්දම සිහිපත් කරන පෙම්වතා පවසන්නේ එම වදන් ඉල්ලා අස්කර ගන්නා ලෙසයි. කිසියම් ආකාරයකින් ඒ සම්බන්ධයෙන් පුංචි හෝ දුකක් දැනුණ හොත් ඒ දුක ඉවසා හිනහෙන ලෙස ද ඔහු ඇගෙන් ඉල්ලා සිටියි.


අවසන කථකයා සිය පෙම්වතියගෙන් ඉල්ලීමක් ද කරයි. එනම් මේ භවයේ දී තමා අත් හැර ගියද මතු ඉපදෙන ආත්මයක හෝ ඔහු වෙනුවෙන් ඇගේ හදවතේ ඉඩක් වෙන් කරන ලෙසයි. ඒ දිනය තෙක් කිසියම් දුකත් දැනුණ හොත් එය ද ඔහු වෙත පවරන ලෙසයි.

 

සමස්ත සිංහල ගීත සාහිත්‍ය දෙස අවධානය යොමු කළ විට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය නම් එම ගීත බොහොමයක් විරහ වේදනාව පාදක කරගනිමින් රචනා කර ඇති ගීත බවයි. එහෙත් එම විරහව පද රචනයේ ද, සංගීතයේ ද, ගායනයේ ද සමපාත ආකාරයක් පිළිබිඹු කෙරෙන්නේ ඉතා කලාතුරකිනි. මන්ද එම ගීත බොහොමයක් ශ්‍රවණය කරන විට හදවත රිදුම් දෙනවා වෙනුවට දෙපා සැලීම අනිවාර්ය කරුණක් වන බැවිනි. නමුදු ‘‘සුසානය’’ ගීතයේ පද රචනය ද, තනුව ද, සංගීත සංකලනය ද, ගායනය ද වචනයේ පරිසමාප්ත අරුතෙන් ම විප්‍රලම්භ රසය ඉතා මැනවින් උද්දිපනය කෙරෙන ලෙස නිමවී තිබේ. එය වර්තමානයේ අසන්නට ලැබෙන විරහ ගී අතුරන් අහසට පොළොව සේ වෙනස් වන්නේ එබැවිනි.

 

ආදරයේ වේදනාව පද රචනයකට ගොනු කළ යුත්තේ කෙසේ ද, එකී පද රචනය සියුම් තනුවකට පරිවර්තනය කරගත යුත්තේ කෙසේ ද, එම තනුවට සරිලන සංගීත සංකලනයක් භාවිත කරන්නේ කෙසේ ද සහ ඒ සියල්ලෙහි බර සාර බව රැකෙන පරිදි ගායනා කරන්නේ කෙසේද යන්න මෙම ගීතයට සම්බන්ධ වූ සියලු පාර්ශ්ව මනා අවබෝධයකින් කටයුතු කර ඇත.


ඒ සියලු අගය කිරීම් අතරේ දුටු බරපතළ දුර්වලතාවක් ද සටහන් කළ යුතු ම ය. එනම් මෙම ගීත වීඩියෝව සඳහා අමුණා තිබූ එක්තරා රූප රාමු පෙළක් පිළිබඳව ය. එම රූප රාමු පෙළ මේ වන විට විකාශනය වන ‘‘පාර දිගේ’’ ටෙලි නිර්මාණයෙන් උපුටා ගත්තකි. එහි පිළිබිඹු කෙරෙන්නේ සිය පෙම්වතිය/අනාගත බිරිඳගේ මළගමට සහභාගිවන පෙම්වතා/අනාගත සහකරු එම මළ ගෙදරට සහභාගි වී ආපසු යන ආකාරය යි. එම රූප රාමු පෙළ මෙම ගීතයට කිසි සේත් ම නොගැළපේ. එයින් සිදුව ඇත්තේ සමස්ත ගීතයේ ම අරුත විකෘති කිරීම ය. යම් ආකාරකින් මෙම ලිපිය ගීතයට සම්බන්ධ කිසිවකුගේ හෝ නෙතෙ ගැටුණ හොත් ඉනික්බිතිව හෝ අදාළ රූපරාමු සහිත ගීත විඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නේ නම් එය ගීතයට කරන ඉමහත් ගෞරවයක් බව ද සඳහන් කළ යුතු ය.  


නුඹ නිදොස් වී යන්න
වරද මට පවරන්න
හුස්ම ගිලිහුණු පසුව දවසක
සුසානය වෙත එන්න
දුකක් දැනුනොත් නෙතේ කඳුලැල්

මා මත ම සතපන්න//

මගෙ දෙනෙත් පියවෙන්න
පෙර හිතින් මිය යන්න
කියා දුන් හැටි නුඹ ම පෙර දින
ඔය හිතින් පිසලන්න
දුකක් දැනුනොත් හිතේ කඳුළැල්

ඉවසලා හිනහෙන්න//

අපේ විජිතෙක සිනා අරගෙන
නුඹේ ළඟ මට ඉන්න
යළිත් සසරක හදවතේ ඉඩ
මගෙ නමට පවරන්න
එතෙක් ළබැඳිය දුකක් දැනුනොත්

කඳුළු හැම මට දෙන්න//






Rasika D Duminda
ගායනය / දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර
පද රචනය /රසික ඩී දුමින්ද
සංගීතය / දීපති ජයසූරිය




ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/11/06

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...