The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඔබ, අප සැම ගේ ජීවිත කියවන 'ජීවිතේ චිත්‍රයක් මිස්'

Awara

Awara

October 15, 2026 • 11:00 AM

ඔබ, අප සැම ගේ ජීවිත කියවන 'ජීවිතේ චිත්‍රයක් මිස්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කාව්‍ය සංග්‍රහයේ කර්තෘ අඥාත වුව ද එය ලියා ඇත්තේ යසෝදරා කථකාව ලෙස හැඟෙන පරිදි ය; එනම් යසෝදරා හට දැනුණ සංවේදනා විදාරණය කෙරෙන කාව්‍ය සංග්‍රහයක් ලෙස ය.
  • ''කැලේ තියෙන කොයි දේවත් රස වේවා'' යශෝදරා ඔබ කීවත් සුසුම් දරා වැලේ පල බරව උහලනු නොහැකි පමා හැපේ ළඳුන් මිහිබට දුක් හොඳට උරා ''යසෝදරා වත'' කෘතියෙහි අන්තර්ගත, යට උපුටා දැක්වූ කවියේ පළමු පදය ද මුසු කරගනිමින් කිවිඳය මෙම කවිය රචනා කර ඇත්තේ යසෝදරා වෙත ආමන්ත්‍රණය කරන පරිදි ය.
  • එම පද හතරෙන් ගම්‍ය වන්නේ යසෝදරා සිය සැමියා (සිද්ධාර්ත කුමරුට) හට රසවත් ආහාර ලැබේවා කියා පැතුව ද සිය කුටුම්බ සංරක්ෂණය වෙනුවෙන් වෙහෙසන කාන්තාවන් (මවුවරුන්) ලොව කොතෙකුත් වෙසෙන බව ය.
  • පුරාණ ජනකවි, ජනකතා, දේව කතා, ජාතක කතා ඇතුළු සියලු පුරාණෝක්ති භාවිත කරමින් නූතන කාව්‍ය රචනා කිරීම වර්තමානයෙහි සුලබව දක්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා

මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා

අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා

ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා

 

යට උපුටා දැක්වූයේ; සැමියකු බිරිඳක හැර ගිය පසු එම බිරිඳට දැනෙන හෘද සංවේදී බව ඉතා මැනවින් ප්‍රකට කෙරෙන කාව්‍ය සංග්‍රහයක් ලෙස ප්‍රකට ''යසෝදරා වත'' කාව්‍ය සංග්‍රහයේ 100වන කවිය යි.

මෙම කාව්‍ය සංග්‍රහයේ කර්තෘ අඥාත වුව ද එය ලියා ඇත්තේ යසෝදරා කථකාව ලෙස හැඟෙන පරිදි ය; එනම් යසෝදරා හට දැනුණ සංවේදනා විදාරණය කෙරෙන කාව්‍ය සංග්‍රහයක් ලෙස ය.

අපි දැන් මතු දැක්වෙන කවිය වෙත අවධානය යොමු කරමු.  

''කැලේ තියෙන කොයි දේවත් රස වේවා''

යශෝදරා ඔබ කීවත් සුසුම් දරා

වැලේ පල බරව උහලනු නොහැකි පමා

හැපේ ළඳුන් මිහිබට දුක් හොඳට උරා

''යසෝදරා වත'' කෘතියෙහි අන්තර්ගත, යට උපුටා දැක්වූ කවියේ පළමු පදය ද මුසු කරගනිමින් කිවිඳය මෙම කවිය රචනා කර ඇත්තේ යසෝදරා වෙත ආමන්ත්‍රණය කරන පරිදි ය.

එම පද හතරෙන් ගම්‍ය වන්නේ යසෝදරා සිය සැමියා (සිද්ධාර්ත කුමරුට) හට රසවත් ආහාර ලැබේවා කියා පැතුව ද සිය කුටුම්බ සංරක්ෂණය වෙනුවෙන් වෙහෙසන කාන්තාවන් (මවුවරුන්) ලොව කොතෙකුත් වෙසෙන බව ය.

පුරාණ ජනකවි, ජනකතා, දේව කතා, ජාතක කතා ඇතුළු සියලු පුරාණෝක්ති භාවිත කරමින් නූතන කාව්‍ය රචනා කිරීම වර්තමානයෙහි සුලබව දක්නට ඇත. යට උපුටා දැක්වූයේ දිනිති දීපිකා කිවිඳිය ගේ තෙවන කාව්‍ය සංග්‍රහය වන ''ජීවිතේ චිත්‍රයක් මිස්'' කෘතියෙහි  අන්තර්ගත කර ඇති කවියකි.

නූතන යසෝදරලාට අමතන්නී

පළමු කවිය යට උපුටා දක්වා ඇති බැවින් අපි ඉතිරි කවි කිහිපය පිළිබඳ අවධානය යොමු කරමු.

සඳේ සොමි කැළුම් විහිදෙන රැස් මාලා

ඔබේ සැමිය වෙත පුදනා හැටි ඇහුණා

හිතේ ගින්න ඇවිලෙන යුරු යසෝදරා

දුටිද ඔබත් බැල මෙහෙවර දුක කොහොමා

 

ගව්වෙන් ගව්ව දිව මාලිග කුමට පතා

වියතින් වියත ලන්දු ඇත හිසත් වසා

අල්ලෙන් අල්ල පුරවයි උන් ඇගිටි කියා

ඇසඟින් පනින කඳුළැල් නොමැත නිමා

 

සිල්වත් සුවඳ රහමෙර ළඟ දණින් වැටී

වල්මත් හැඟුම් මැද සැමියන් ඔටුනු ගනී

ගුණවත් කමින් පිරිපුන් හොඳ ගැහැනු සොයා

පොත්පත් වලින් උන් දොඩවති සිහින මවා

 

කාරණාව බුදු වෙනවා ලකුණු නැතී

පාරවනා හද ගින්ද උන් ම දනී

ජීවිතේ ම බැලමෙහෙවර මැදින් ගෙවී

වාලුකාවෙ ඇත ගැහැනුන් ඔබ නොදනී

සමස්ත කාන්තා පරපුර විඳින නේක වේදනා සිය කාව්‍යමය ශක්‍යතාව තුළින් පිළිබිඹු කරන්නට කිවිඳිය සමත් වන්නී ''යසෝදරා වත'' ද සිය කාව්‍යග්‍රහණයට නතු කරගනිමිනි.

මෙහි එන සෑම කවියකට ම පාහේ කිවිඳිය ''යසෝදරා වත'' කාව්‍ය සංග්‍රහයේ එන පදයක් ද ඈඳා ගනිමින් එය වත්මන් කාන්තා පරපුර සමග සසඳන්නේ සිය කවිත්වයේ පර්යේෂණාත්මක භාවය ද මැනවින් ස්ඵුට කරමිනි.

පළමු කවියේ එන '' කැලේ තිබෙන කොයි දේවත් රස වේවා'' නමැති පදය ඍජුව ම උපුටා ගෙන ඇති අතර: ''ගව්වෙන් ගව්ව දිව මාලිග'' සහ 'කාරණාව බුදු වෙනවා ලකුණු නැතී'' යන පද ද උපුටා ගන්නේ ''යසෝදරා වත'' කාව්‍ය සංග්‍රහයෙනි.

එම පද උපුටා ගන්නා කිවිඳිය සිය පර්කල්පනීය පද රචනාව ද එයට එක් කරන්නී සිය කවිතාව මැනවින් ප්‍රකට කරමිනි; ඒ සෑම පදයකින් ම කිවිදිය පවසන්නී කාන්තාවන් ගේ ජීවන පවතේ ශෝක කලාපයේ රූපාවලිය යි.

මෙය සරල කාර්යයක් නොවේ; ඒ සඳහා කිවිඳිය ''යසෝදරා වත'' හැදැරිය යුතු ය; ඇගේ පරිකල්පනය මුසු කළ යුත්තේ ඉනික්බිති ය. මේ පද සිතට නැගුණ සැණින් අකුරු කළ නොහැකි ය.

නාටිකාංගනාවක ගේ ජීවිත ඇතුළු වත

සංගීත ප්‍රසංග සඳහා නාටිකාංගනාවන් (නැටුම් ශිල්පිණියන්) යොදා ගැනීම දැනට දශක කිහිපයක සිට දක්නට ලැබෙන ප්‍රවණතාවකි. වේදිකාවේ සිනා සපිරි මුවින් නර්තනයෙහි යෙදෙන මේ ඇතැම් කාන්තාවක ගේ හෝ බොහෝ කාන්තාවන් ගේ සැබෑ ජීවිතය: ඉතා කටුක, කර්කශ, පිඩාකාරි, වෙහෙසකර ජීවිත විය හැකි ය. එහෙත් ඔවුන්ට ඒ සියලු ශාරීරික මෙන් ම මානසික පීඩා යටපත් කරගෙන සිය නර්තන ඉදිරිපත් කරන්නට සිදුව තිබේ. එසේ නොවුන හොත් ඔවුන් ගේ ජීවන පැවැත්මට ඒය බරපතළ අභියෝගයකි.

මෙම කාව්‍ය සංග්‍රහයේ එන ''නැටුමෙ නැටුවට මගෙ හිතෙත් පොඩි සිහින තිබ්බා'' නමැති නිර්මාණය මා යට සඳහන් කළ කටුක යථාර්ථය පිළිබිඹු කරන නිර්මාණයකි.

සිවු පද සතරකින් යුක්ත මෙම නිර්මාණයේ අවසන් කවිය පමණක් උපුටා දක්වන්නේ එබදු කාන්තාවන් ගේ ජීවන යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා එම කවිය පමණක් වුව ද සෑහෙතැයි මා සිතන බැවිනි.

රෙද්දෙ තුත්තිරි හොය හොයා උන් අපේ අම්මට බනිනවත් ඇහුණා

කන්දෙ විස්තර දන්නෙ නැතුවට උන්, කටින් කඳුවල මිම්ම දුන්නා

ඔහොම නට නට ගන්න සොච්චම වේලටත් මදි හිතින් ඇඬුවා

වේදිකාවෙදි රෑට නැටුවට ජිවිතේ කටු තුඩු උල්ව ඇනුණා

 

මෙම කවියේ පළමු දෙපදයෙන් කිවිඳිය, කථකාවට විවිධ චෝදනා නගන අය ගේ ජීවිත ඇතුළාන්තය මෙන් ම නොදන්නා දේ පිළිබඳ කයිවාරු ගසන ප්‍රජාව පිළිබඳව ද වක් බිනුමෙන් පවසන්නී ය.

කිවිඳය, මෙම කවිය අවසන වාක්‍යයක් අන්තර්ගත කර ඇත; එය අනවශ්‍ය ය යන්න මගේ පුද්ගලික හැඟීම ය. පුහුණු කාව්‍ය පාඨක ප්‍රජාවට කවිය විඳගැනීම සඳහා එම වාක්‍ය අවශ්‍ය නොවේ. මෙය එක්තරා ආකාරයකින් කිවිඳිය ම කවිය වටහා දීමට යෑමකි. මෙබඳුකවි කිහිපයක් ම මෙම කෘතියෙහි අන්තර්ගත ය. ඉදිරි නිර්මාණකරණයේ දී මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් අගනා බව ද මේ මොහෙතේ කිවිඳියට සිහිපත් කළ යුතු ය.

'සංවර්ධනය' වෙසින් පැමිණෙන රකුසෝ

මෙම කාව්‍ය සංග්‍රහයෙහි අන්තර්ගත ''අපිට තිබුණා කුරුළු කැදැල්ලක්'' නමැති නිර්මාණය ද සමාජ, ආර්ථික සහ දේශපාලන යථාර්ථය පිළිබිඹු කරන නිර්මාණයක් ලෙස කියවා ගත හැකි ය. එය නිසි ලෙස වටහා ගන්නට නම් සමස්ත කවිය ම කියවා ගත යුතු ය. එබැවින් එම නිර්මාණය සම්පූර්ණයෙන් ම උපුටා දැක්විය යුතු ය.

කිචි බිචි ගගා දුව පැන ඉගිල්ලෙන

හිතුණ විලසට මාදං හිඹුටු ගිලගෙන

දුඹුරු පැහැ ඇස්වත් ආදරය උතුරණ

පැටව් හිටියා උන්ගෙ ලෝකය බදාගෙන

 

ලොකු කුරුල්ලා සීපද ගයන

රෑ හඳට කයියට ගොයම් කොළ ගහන

තරුත් නැති දාකට තනියාට ගිනි පිඹින

මහ කුරුල්ලා බාගෙට ඇසි පියන

අපිට තිබුණා කුරුළු කැදැල්ලක්

 

බඩ නොපිරුණත් කහ සිවුරට දංකඳ පුදන

කඩ මණ්ඩියෙදි කොහොමදැයි දුක සැප අසන

අත් ට්‍රැක්ටරේ වෙසක් කවි කියන

කන්න ගත් බත් පිඩත් කාට හෝ දෙන

අපිට තිබුණා කුරුළු කැදැල්ලක්

 

හූ තියාගෙන කැලයට ම රිද්දුව

ඩෝසර් යෝධයා මහ ගසුත් පෙරළුව

අල්ලපු ගෙදර අය ඉන්නවද නොදකින

අපිට තියෙනව කැදැල්ලක්

කන්නවත් වෙලාවක් නැති

පැටව් තැන තැන ඉගිළිලා ගිය

 

කිවිඳිය ව්‍යංගයෙන් පවසන්නී සංවර්ධනය ගමට පැමිණීමට පෙර ගමක පවුලක් තුළ තිබු දිවි පැවත්ම සහ සංවර්ධනයෙන් ඉකිබිත් එම පවුලේ අභ්‍යන්තර තත්ත්වය යි.

මෙහි දී කිවිඳිය කවි දෙකක ම ''අපිට තිබුණා කුරුළු කැදැල්ලක්'' යැයි යොදමින් අවසන් කවියේ…

'' අපිට තියෙනව කැදැල්ලක්

කන්නවත් වෙලාවක් නැති

පැටව් තැන තැන ඉගිළිලා ගිය''

යනුවෙන් යොදන ව්‍යංගාර්ථය ම එය මැනවින් ස්ඵුට කරයි. ඒබැවින් පුහුණු කාව්‍ය පාඨක ප්‍රජාවට කිවිඳිය වක්‍රෝක්තියෙන් පවසන්නී කුමක් ද යන්න වටහා ගැනීමට අපහසු නැතැයි යන්න මගේ අදහස ය.

ලිපිය දීර්ඝ වන බැවින් මෙම නිර්මාණ ත්‍රිත්වය පමණක් ඉදිරිපත් කළ ද මෙහි අන්තර්ගත: ''ජීවිතේ චිත්‍රයක් මිස්'', ''ලණු ඇඳයි තාත්තයි'', ''බෝ ගසක් වුන එකත් දුකක්'', ''මලක මළගම'', ''සීගිරි අප්සරාවට හෙවත් නැට්ටුක්කාර තාවකාලික පෙම්වතියට'', ''බරැති බර'', ''ඈ මනාලිය රැය පුරා'', ''නෙළුම් මලක් කතා කරයි'', ''වේවැලක මළගම'', ''බෙදීම - පිළිතුරක් නැත'', ''තම සැමියාට බයිපාස් සැත්කමක් කරන්න වුනු හදවත් වෛද්‍යවරිය මොහොතකට'', ''හරිද? වැරැදිද? කියන් ස්වාමීනි'', ''ජිනදාසගේ කවිය'', ''ගඟ'', ''ඉල් මහේ පිපුණු මල්'', ''ජීවිතය සීතල ද මේ හැටි'', ''වැවක් කියන්නෙ අම්මෙක්ට'', ''මගේ අම්මා ඔබ'', ''උත්තරිතරම ප්‍රේමය'', ''ආදරය කියන්නේ උණුසුම්ම පානයක් සීත කාලෙට වැඩියෙන් ම අවැසි බීමක්'', ''ප්‍රේමය කිමැයි'', ''මැණිකට'' සහ 75වන පිටුවෙහි අන්තර්ගත කවිය ද මා ඉතා කැමැත්තෙන් රස විඳි කවි බව සිහිපත් කළ යුතු ය.

කිවිඳිය, සිය පළමු සහ දෙවන කාව්‍ය සංග්‍රහ අභිභවන්නට සමත්ව ඇතැයි පවසන්නට නොහැකි ය; නමුදු ඇගේ පෙර දක්ෂතාව පහළ නොබැස ඇති බව සමස්ත කෘතිය ම සාක්ෂි දරණ බව ද පැවසිය යුතු ම ය.

සැ. යු. උපුටා ගත් සියලු නිර්මාණවල පද බෙදීම සහ අක්ෂර වින්‍යාසය කෘතියෙහි අන්තර්ගත පරිදි ම ය.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...