The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දුටු ගැමුණු තනි යහනේ තනි වූයේ ඇයි…?

Nethmini

Nethmini

October 24, 2026 • 10:47 AM

දුටු ගැමුණු තනි යහනේ තනි වූයේ ඇයි…?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාවංශයේ අන්තර්ගතවන පරිදි , දුටු ගැමුණු මහරජතුමා (ක්‍රි.පූ.
  • වංශකථාවේ ප්‍රධානතම වීරයා ලෙස සැලකෙන අතර ම ඔහු ගේ වෘත්තාන්තය විස්තර කිරීම සඳහා මහාවංශයේ පළමු කොටසින් පරිච්ඡේද 11 ක් ( 22 වන පරිච්ඡේදයේ සිට 32 වන පරිච්ඡේදය දක්වා) වෙන් කර ඇත.
  • දුටු ගැමුණු රජු පිළිබඳ පරිච්ඡේද ලෙස වර්ගීකරණය කරන්නේ නම්: 22 වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: ගැමුණු කුමරු ගේ උත්පත්තිය (ගාමිණී කුමාරසූති) කාවන්තිස්ස රජු සහ විහාරමහා දේවිය පිළිබඳව , ගැමුණු සහ තිස්ස කුමාරවරුන් ගේ උපත සහ විහාරමහා දේවිය ගේ දොළදුක් පිළිබඳව ය.
  • විජිතපුර බලකොටුව බිඳ දැමීම ඇතුළු උතුරේ බලය අල්ලා ගැනීමට කළ සටන්, අවසානයේ එළාර රජු සමග කළ ද්වන්ද්ව යුද්ධයෙන් එළාර රජු පරදවා ලංකාව එක්සේසත් කිරීම සහ එළාර රජුට ගරු කිරීමක් ලෙස සොහොනක් බැඳවීම යනාදි කරුණු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහාවංශයේ අන්තර්ගතවන පරිදි, දුටු ගැමුණු මහරජතුමා (ක්‍රි.පූ. 161 - 137) වංශකථාවේ ප්‍රධානතම වීරයා ලෙස සැලකෙන අතර ම ඔහු ගේ වෘත්තාන්තය විස්තර කිරීම සඳහා මහාවංශයේ පළමු කොටසින් පරිච්ඡේද 11ක් (22වන පරිච්ඡේදයේ සිට 32වන පරිච්ඡේදය දක්වා) වෙන් කර ඇත.

පළමුවෙන් ම අපි එම පරිච්ඡේද සහ ඒවායේ අන්තර්ගත ප්‍රධාන කරුණු පිළිබඳව අවධානය යොමු කරමු.

දුටු ගැමුණු රජු පිළිබඳ පරිච්ඡේද ලෙස වර්ගීකරණය කරන්නේ නම්:

22වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: ගැමුණු කුමරු ගේ උත්පත්තිය (ගාමිණී කුමාරසූති) කාවන්තිස්ස රජු සහ විහාරමහා දේවිය පිළිබඳව, ගැමුණු සහ තිස්ස කුමාරවරුන් ගේ උපත සහ විහාරමහා දේවිය ගේ දොළදුක් පිළිබඳව ය.

23වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ:  යෝධයින් රැස් කිරීම (යෝධ සංගහ) දුටුගැමුණු රජුට රට එක්සේසත් කිරීමේ සටනට සහාය වූ නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන ඇතුළු දස මහා යෝධයින් ගේ උපත, ශක්තිය සහ ඔවුන් සේනාවට බඳවා ගත් ආකාරය යි.

24වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: දෙබෑයින් ගේ යුද්ධය (ද්වතිභාතික යුද්ධ) කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු කන්ඩුල ඇතුළු රාජකීය වස්තුව අයිති කර ගැනීම සම්බන්ධයෙන් ගැමුණු සහ තිස්ස කුමාරවරු (මල්නුවන්) අතර ඇති වූ සටන් සහ පසුව මහා සංඝයා ගේ මැදිහත් වීමෙන් ඔවුන් සමගි වූ ආකාරය යි.

25වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: දුටුගැමුණු රජුගේ විජයග්‍රහණය (දුට්ඨගාමිණී විජය) මහාවංශයේ අතිශය වැදගත් පරිච්ඡේදයකි. විජිතපුර බලකොටුව බිඳ දැමීම ඇතුළු උතුරේ බලය අල්ලා ගැනීමට කළ සටන්, අවසානයේ එළාර රජු සමග කළ ද්වන්ද්ව යුද්ධයෙන් එළාර රජු පරදවා ලංකාව එක්සේසත් කිරීම සහ එළාර රජුට ගරු කිරීමක් ලෙස සොහොනක් බැඳවීම යනාදි කරුණු ය.

26වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: මරිචවත්ති විහාර පූජාව (මරිචවත්ති විහාරමහ) රජතුමා විසින් කරන ලද ප්‍රථම මහා ආගමික නිර්මාණය වන මිරිසවැටිය දාගැබ ඉදිකිරීම සහ එහි පූජෝත්සවය පිළිබඳව විස්තර යි.

27වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: ලෝවාමහාපාය කරවීම (ලෝහ පාසාද) මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා උදෙසා මහල් නවයකින් සහ ගබඩා දහසකින් යුක්තව ලෝවාමහාපාය (පොහොය ගෙය) තඹ උළු සෙවිලි කර අලංකාර ලෙස ඉදිකළ ආකාරය යි.

28වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: මහාථූපයට ද්‍රව්‍ය ලැබීම (ථූපසා ධන පටිලාභ) රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සඳහා අවශ්‍ය රන්, රිදී, මුතු, මැණික් සහ ගඩොල් ඇතුළු අමුද්‍රව්‍ය විවිධ ප්‍රදේශවලින් ආශ්චර්යමත් ලෙස පහළ වූ ආකාරය යි.

29වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: මහාථූපය ආරම්භ කිරීම (ථූපාරම්භ) රුවන්වැලි සෑයේ මංගල ගඩොල තැබීම, අත්තිවාරම කැපීම සහ ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය (යොන් රටවල් යනාදි) මහා සංඝරත්නය විශාල වශයෙන් වැඩම කළ ආකාරය යි.

30වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: ධාතු ගර්භ වර්ණනාව (ධාතු ගබ්භ භූමි භාග) රුවන්වැලි සෑයේ ධාතු ගර්භය තුළ නෙළුෑ අසිරිමත් බුද්ධ චරිතයේ කැටයම් සහ එහි සෞන්දර්යය ඉතා සවිස්තරාත්මක වර්ණනාවකි.

31වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: ධාතු නිධානය (ධාතු නිධාන) සර්වඥ ධාතූන් වහන්සේලා මහා සෑයේ තැන්පත් කිරීමේ දී සිදු වූ ප්‍රාතිහාර්ය සහ උත්සව ශ්‍රීය පිළිබඳ ව ය.

32වන පරිච්ඡේදයෙන් විස්තර කෙරෙන්නේ: දුටුගැමුණු රජු තුසිත භවනයට යෑම (තුසිතපුර ගමන) මහා සෑයේ වැඩ නිම කිරීමට පෙර රජතුමා දැඩි සේ ගිලන් වීම, සද්ධාතිස්ස කුමරු සෑය රෙදිවලින් වසා නිම කළ බව පෙන්වීම, රජුගේ පින් පොත කියවීම සහ රජතුමා මියගොස් තුසිත දිව්‍ය ලෝකයේ උපත ලැබීම යනාදි කරුණු ය.

මෙහි දී මහාවංශකරු දුටු ගැමුණු චරිතය ඉස්මතු කළ ආකාරය ද සඳහන් කළ යුතු ය.

මහාවංශය ලියූ මහානාම හිමි දුටු ගැමුණු රජු හුදෙක් දේශපාලනික වීරයකු ලෙස පමණක් නොව, "බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවූ ශ්‍රේෂ්ඨ ආගමික වීරයෙකු" ලෙස චිත්‍රණය කර ඇත. එමෙන් ම රජතුමා යුද්ධයට ගියේ පෞද්ගලික රජ සැප පිණිස නොව "සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ම පමණක්" (නොසො සූඛාය රාජ්ජාය - ඤාතුං ධම්මස්ස වුද්ධියා) ය යන්න ද මහාවංශය අවධාරණය කරයි.

මේ ඒ දුටුගැමුණු ම ද…?

මා දැන් ලිවීමට සුදානම් වන්නේ, යට ලියා ඇති බොහෝ කරුණුවලට පරිබාහිර කරුණු ය; එනම්, දුටු ගැමුණු චරිතය පිළිබඳ ව  මහාවංශයේ සඳහන් නොවන හෝ වුවමනාවෙන් ම සඳහන් නොකළ කරුණු ය.

මෙම කරුණු අන්තර්ගත වන්නේ ඉතිහාස ගවේශකයකු මෙන් ම ඉතිහාස ප්‍රබන්ධකරුවකු වන සුජිත් අක්කරවත්ත ගේ නවත ම ප්‍රබන්ධය වන ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතියේ ය.

දුටු ගැමුණු කුඩා වියේ සිට ම සිය පිය පාර්ශ්වය කෙරෙහි දැක්වූයේ විරුද්ධාභාෂයකි. ඒ ඇයි ද යන්න කිසිදු ඉතිහාස ගවේශකයකු සෙවීමට යත්න දරා නැත. අවම වශයෙන් ඔහුට සිය පියා වන කාවන්තිස්ස 'තිස්ස' නමැති නාමය හෝ ලබා නොදුන්නේ ඇයි ද යන්න පවා ගැටලුවකි.

රාජ්‍ය පාලකයකයකු වන්නට අකමැති වූ දුටු ගැමුණු

එම කරුණ පිළිබඳව මෙතෙක් කිසිවකු අවධානය යොමු නොකර සිටින තත්ත්වයක අක්කරවත්ත ලේඛකයා ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතිය තුළ මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් සපයා ඇත.

එමෙන් ම දුටු ගැමුණු යනු රාජ්‍ය පාලකයකු වීම පිළිබඳ එතරම් කැමැත්තක් නොතිබූ පුද්ගලයකු බව ද ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතියෙහි පිළිබිඹු කර ඇත.

එසේ නම් දුටුගැමුණු කුමරු ප්‍රමුඛ ඔහු ගේ සේනාව දැවැන්ත යුද්ධයක් කර, අවසන ද්වන්ද්ව සටනකින් එළාර ඝාතනය කළේ ඇයි ද යන්න පිළිබඳව ගැටලුවක් ඉතිරි වන්නේ ය.

අවබෝධයකින් යුතුව ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතිය කියවන්නේ නම් ඒ සඳහා ද පිළිතුරු සපයාගත හැකි ය.

එළාර රජුට ලක් වැසියන් විරුද්ධ වූයේ ඇයි…?

තව ද එළාර නමැති රාජ්‍ය පාලකයාට ලකවැසියන් විරුද්ධ වීමට බලපෑ ඇත්ත හේතු ‌මොනවා ද යන්න පිළිබඳව පවා සුජිත් අක්කරවත්ත සිය ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතියේ අන්තර්ගත කර ඇත.

ඔහු මේ සියලු කරුණු ගෙනහැර පාන්නේ ඔහු ගේ ගවේෂණශීලිත්වය ද පිළිබිඹු කරමිනි.

දුටු ගැමුණු රටක් රාජ්‍යයක් දිනාගත්ත ද සිය ප්‍රියම්බිකාව වූ රන් මැණිකා සමග සාර්ථක විවා දිවියක් ගත කිරිමට අවස්ථාව නොලද්දේ ය. සිය රුධිරයෙන් ජාතක වූ පුත් කුමරා වෙත අනාගත රාජ උරුමය අත්පත් කර දෙන්නට අසමත් විය. ඔහු ද දුටු ගැමුණු මෙන් ම රාජ්‍යත්වයට ලොබ නොබැඳි පුද්ගලයෙකි. සද්ධාතිස්ස සහ ඔහු ගේ පාර්ශ්වය ද ඔවුන් ගේ සිතැඟි ඉටු කරගන්නේ දුටු ගැමුණු රජු ගේ සහ සිය පුතු ගේ ද දුර්වලතා හඳුනාගත් බැවිනි.

යුද ජයග්‍රහණයෙන් ඉක්බිති දුටු ගැමුණු

හෙතෙම රජකු වුව ද යුද ජයග්‍රහණයෙන් ඉක්බිති ඔහු වටා සිටි සියලු පිරිස විවිධ දිශා කෙරෙහි විසිර යති. එම විසිර යෑම ද දුටු ගැමුණු රජුගේ ජීවිතයට දැඩි ලෙස බලපාන ආකාරය සුජිත් අක්කරවත්ත සිය ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතියේ ඉතා මැනවින් පිළිබිඹු කර ඇත.

පාසල් සමයේ සිට වැඩිහිටි අවධිය දක්වා ම අප දුටු ගැමුණු පිළිබඳ කියවූ කරුණු සහ සුජිත් අක්කරවත්ත සිය ''තනි යහනේ දුටු ගැමුණු'' කෘතියෙන් පිළිබිඹු කරන දුටු ගැමුණු චරිතය යනු සපුරා ම වෙනස් චරිතයකි. ඒ අන් කිසිවක් හේතුවෙන් නොව දුටු ගැමුණු හෙවත් දුට්ඨ ගාමිණි නමැති පුද්ගලයා ගේ හෘද අභ්‍යන්තරය කියවා ගන්නට කිසිවකු සමත් නොවූ බැවින් හෝ එම කරුණු පිළිබිඹු කරන්නට මහාවංශ රචකයා මෙන් ම ඉක්බිති බිහි වූ කිසිවකු උත්සාහ නොකළ බැවිනි. තවත් ආකාරයකින් පවසන්නේ නම් දුටු ගැමුණු නමැති මහා යුද වීරයා තුළ ජීවත් වූ: සුන්දර, සරල මිනිසා, ආදරවන්තයා සහ පියා හදුනාගන්නට කිසිවකු අසමත් වු බැවිනි; නැතිනම් වුවමනා වෙන් ම එය මගහැරි බැවිනි.

දුටු ගැමුණු ගේ හෘද අභ්‍යන්තරය කියවා ගත යුත්තේ ඇයි…?

ඔහු ලද යුද ජයග්‍රහණය ඉතා උත්කර්ෂයට නංවන කිසිවකු ඔහු ගේ හෘද අභ්‍යන්තරය කියවා නොගත්තා හෝ කියවා ගන්නට උත්සාහ නොකළ ද සුජිත් අක්කරවත්ත නමැති මහාර්ඝ ලේඛකයා ඇත්ත දුටු ගැමුණු හඳුනාගෙන ඇති බව ''තනි යහනේ දුටු ගැමුණු'' මැනවින් පසක් කරයි.

එබැවින් ඔබ මෙතෙක් දුටු ගැමුණු පිළිබඳ කියවා ඇති සියලු කරුණු අභිභවන, අනිවාර්යයෙන් ඔහු පිළිබඳ හෘද සංවේදී සිතක් පහල වන වියමනක් අන්තර්ගත ''තනි යහනේ දුටු ගැමුණු'' කියවන්නැයි මම ඔබට ආරාධනා කරමි.

මෙම කෘතිය කවිවර ප්‍රකාශනයකි; මිල රුපියක් 950කි. 

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...