The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තවමත් නවකතාවේ පවතින ‘මැයි මාර ප්‍රසංගය’

Nethmini

Nethmini

November 2, 2026 • 3:03 PM

තවමත් නවකතාවේ පවතින ‘මැයි මාර ප්‍රසංගය’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙනෙකුගේ පළවෙනි ම චිත්‍රපටිය ඔහු ගේ සිනමාව මනින තීරකයක් නොවේ.
  • ලෙස්ටර් ගේ සිනමාව යනු ‘රේඛාව’ නොවේ.
  • එබැවින් මේ චිත්‍රපටය ගැන මට හිතෙන ඇතැම් දේ සමග ඔහු එකඟ වනු ඇත්තේ ඔහු තව චිත්‍රපටි කීපයක් හදා සිනමාකරුවකු වන අනාගත කාලෙක දී ය.
  • මේ චිත්‍රපටය තවමත් ඇත්තේ නවකතාවේ විය යුතු යැයි මට අනුමාන වන්නේ ඇයි ?
අකුරු ප්‍රමාණය (Font Size):

කෙනෙකුගේ පළවෙනි ම චිත්‍රපටිය ඔහු ගේ සිනමාව මනින තීරකයක් නොවේ. ලෙස්ටර් ගේ සිනමාව යනු ‘රේඛාව’ නොවේ. ‘නිධානය’යි. ප්‍රසන්නගේ සිනමාව යනු ‘සිසිල ගිනිගනී’ නොව පවුරු වළලු’යි. හඳගම ගේ සිනමාව යනු ‘චන්ද කින්නරී’ද? නැත. එබැවින් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’ යනු ඔහු ගේ සිනමාව විය නොහැකි ය. එබැවින් මේ චිත්‍රපටය ගැන මට හිතෙන ඇතැම් දේ සමග ඔහු එකඟ වනු ඇත්තේ ඔහු තව චිත්‍රපටි කීපයක් හදා සිනමාකරුවකු වන අනාගත කාලෙක දී ය. තාමත් ඔහු නවකතාකරුවෙකි. මේ චිත්‍රපටය තවමත් ඇත්තේ නවකතාවේ විය යුතු යැයි මට අනුමාන වන්නේ ඇයි? සිනමාකරුවකුට (සහ මස්ඉඹුලට වුව ද) තම පළමු චිත්‍රපටය යනු අන් මාධ්‍යයක හරඹ පාමින් හිඳ මේ බලගතු රූප මාධ්‍යයට ඇතුළු විය හැකිදැයි පරීක්ෂා කරන බලන දෙගිඩි අවස්ථාවයි. ‘මැයි මාර ප්‍රසංගය’ මාධ්‍ය සඳහා ප්‍රදර්ශනය කළ අවස්ථාවේ දී මේ නවකතාකාර සිනමාකරුවා සභාව ඇමතූ හැටියම ඊට සාක්ෂි ය. 

නවකතාව හිමිකරුවා ම තිර රචනය ලිවිය යුතු ද…?

‘මැයි මාර ප්‍රසංගය’ නවකතාව මා කියවා නැත. එය මහත් අඩුවකැයි මේ චිත්‍රපටය නරඹන තුරු සිතුවෙමි. මෙම නවකතාව සිනමා රූපයට පෙරළෙන බව දැන ගත් විගස මා මෙම නවකතාව නොකියවා සිටින්නට මම ඒකමතික තීරණයකට ආවෙමි. ඒ නිසා මෙම නවකතාව කියවා එම විඳීමත් සමග මෙම චිත්‍රපටය විඳගන්නට උත්සාහ කරන ලක්ෂ 10ක (පාරමී කියපු ගාණ) පාඨක සමූහයා අතරට මා අයත් නොවේ. ඒ ගැන මට ඇත්තේ සතුටකි. චිත්‍රපටිය තුළ සිනමාව හොයන මම සිනමාකරුවා ගේ නවකතාව මත නොයැපීම ගැන ඇත්තේ සතුටකි. සිනමාකරුවා සම්මානිත නවකතාකරුවකු වීම චිත්‍රපටි බලන මට වැදගත් නැත. නවකතාව කියවා ඉන් හැදෙන චිත්‍රපටය ඒ නවකතාවත් සමග සසඳන්නට සිදුවීම (හෝ පෙලඹීම) නිරායාස බාධාවක් බව මගේ අදහසයි. තිස්ස අබේසේකර හොඳ තිරරචනා ලිව්වේ ඇතැම් විට දුර්වල නවකතාවලිනි. නවකතාවකින් හැදෙන චිත්‍රපටියක සිනමා තිරරචනය ලිවිය යුත්තේ එම නවකතාකරුවා නොවේ යැයි මා සිතන්නේ ලෙස්ටර්ගේ සිනමාත්මක වැඩ පිරික්සීමෙන් සහ මැයි මාර ප්‍රසංගය දෙවරක් නැරඹීමෙන් පසුව ය.

චිත්‍රපටයක් දැකීම යනු…

‘මැයි මාර ප්‍රසංගය’ මා නැරඹුවේ දෙවන වතාවට යි. පළමු වර නරඹද්දී මෙහි රූපමය කතන්දරය නිර්වුල් කර ගන්නට මට දුෂ්කර විය. හේතුව මා නවකතාව කියවා නැති නිසා ද විය හැකි ය. එසේ නම් එය මගේ දුර්වලකමකටත් වඩා නවකතාකරු හැදූ චිත්‍රපටයේ දුර්වලකමකි. චිත්‍රපටයක් හදන්නේ දෙවරක් නරඹන්නට නොවේ. පොතක් ලියන්නේ නැවත නැවත කියවා විඳින්නට සහ පැටලිලි ලිහා ගන්නට හැකි වන පරිදි ය. චිත්‍රපටයක් දැකීම යනු ගලන ගංගාවකින් දියදෝතක් ගැනීමක් බඳු ය. ප්‍රක්ෂේපණය වන රූපවලී ගංගාවක් නවත්වන්නට හැකි රිමෝට් කොන්ට්‍රෝලයක් සිනමා ප්‍රේක්ෂකයාට නැති බව නවකතාකරුවා සහ සිය පාඨකයා අවධාරණයට ගත යුතුය. මට මේ චිත්‍රපටය දෙවරක් බලන්නට සිත් වූයේ මන්දැයි පැහැදිලි ය.

 

චිත්‍රපටයක් හදන්නා යනු…

නවකතාව කියවූවකු එම නවකතාවේ චිත්ත රූපාවලියක් හදා ගනී. එනම් එය තමන්ගේ ම ස්වීය වූ මනස් චිත්‍රපටියකි; එය තමා ම හදාගත් කදිම පරිකල්පනීය චිත්‍රපටියකි. නවකතාවකින් චිත්‍රපටයක් හදන්නා යනු සිය පාඨකයා ගේ එම ස්වෝත්සාහී මනස් චිත්‍රපටය කඩා බිඳ දමා එම හිඩැසට තමන් ගේ චිත්‍රපටිය බහාලන ආක්‍රමණිකයෙකි. මස්ඉඹුල ද එවැනි වූ කඩාපනින්නෙකි. චිත්‍රපටය බලා ඊට පාදක වූ නවකතාව කියවීමට අවශ්‍ය නොවීම නවකතානූකූල චිත්‍රපටියක සිනමාත්මක අගය මැනිය හැකි එක් මිණුම් දණ්ඩකැයි මට සිතේ.

(තව ලියන්නට තිබෙන අසම්පූර්ණ සටහනකි)

 

අජිත් ගලප්පත්ති

උපුටා ගත්තේ Ajith Galappaththi ගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...