The Leader News
BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : 'මට සිදුවන දේ රාජ්‍ය නිලධාරීන්ට පූර්වාදර්ශයක්'

Nethmini

Nethmini

November 2, 2026 • 4:17 PM

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : 'මට සිදුවන දේ රාජ්‍ය නිලධාරීන්ට පූර්වාදර්ශයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සෑම විටම මා රාජකාරිය නිසි ලෙස ඉටුකළා.
  • අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස මට සිදුවන දේ ගැන රටම බලා සිටිනවා.
  • ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට මට වන දේ පූර්වාදර්ශයක් වේවි" යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  • ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී හය වන විත්තිකරු ලෙස විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

"සෑම විටම මා රාජකාරිය නිසි ලෙස ඉටුකළා. අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස මට සිදුවන දේ ගැන රටම බලා සිටිනවා. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට මට වන දේ පූර්වාදර්ශයක් වේවි" යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී හය වන විත්තිකරු ලෙස විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම පසුගියදා අවසන් කරන ලදි. විත්තියෙන් සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම මීට පෙර අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව විත්තිකරුවන්ගේ විත්තිවාචක කැඳවීමට තීරණය කළ අතර පළමුවන සහ දෙවන විත්තිකරුවන් සිය විත්තිවාචක ඉදිරිපත් කිරීම ඉකුත් විසි නම වැනිදා සිදු කර අවසන් කළහ. තුන්වන විත්තිකාරිය සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් සිටියදී එදින නඩු විභාගය අවසන් කෙරිණි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී එම විත්තිවාචකය වැඩිදුරටත් ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක වූ තුන්වන විත්තිකාරිය වන පීස් දේව ශාන්තිනී සොලමන් විසින් සිදු කරන ලදි.

සහකාර අධ්‍යක්ෂවරියගේ ප්‍රකාශය: "අපි හැමදේම කළේ පටිපාටියට"

සිය විත්තිවාචකය වැඩිදුරටත් ඉදිරිපත් කරමින් ඇය මෙලෙසද ප්‍රකාශ කර සිටියාය:

"ස්වාමීනී, ඕඩර් එක stock control officer පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ කිරීම සඳහා මා වෙත යොමු කරනවා. මාගේ නිර්දේශයෙන් අනතුරුව directorට යොමු කරනවා. අපි හදන සෑම ඕඩර් එකක්ම එහෙම තමයි සිදු කෙරෙන්නේ. තොග පාලක නිලධාරී පරීක්ෂා කර, සහකාර අධ්‍යක්ෂක නිර්දේශ කර, අධ්‍යක්ෂක අනුමත කරනවා. ඒ විදිහට තමයි හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් යන ඖෂධ දෙකටම අනුමැතිය ලබා දුන්නේ. ඒ දෙකම එක වගේ තමයි සිදු කෙරෙන්නේ. රිටොක්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් චාන්දනී වන්නිආරච්චි සහකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සම්බන්ධයෙන් මා කටයුතු කළා."

"ඖෂධ ලබා ගැනීමේදී ගැටලුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් රිපෝට් කරන්න පුළුවන්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ පළමුවන ස්ටොක් එක ලැබී තිබුණේ 2023 මැයි මාසයේදී. Stock control officer ඒක පරීක්ෂා කරලා බලලා එය භාර දිය යුතු දින පසුවෙලා තිබුණු නිසා ඒ ගැන මගෙත් directorගෙත් instructions ඉල්ලලා තිබුණා. ඒ ෆයිල් එක සමග සාම්පල් මා වෙත එවා තිබුණා. Cool box එකක අයිතම හතරක් පහක් තිබුණා. එහි පැකේජ් එක හරියටම තිබුණා. ඒ සම්බන්ධයෙන් satisfied වුණා හරියටම තියෙනවා කියලා. Stock control officer ඊට අදාළ invoice, purchasing order, WOR ඒවා තිබුණා. ඒවායේ එකම නම්බර් එක තමයි තිබුණේ. එම ඖෂධයේ මාසෙකට national availability එක 1.3යි කියලා සඳහන් කර තිබුණා. ඒක priority item එකක් කියලත් තිබුණා."

හිඟය මධ්‍යයේ ගත් තීරණ සහ WOR ගැටලුව

"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය VEN category එකේ තිබුණේ. එය කාණ්ඩ තුනකින් තිබුණා. Crisis එකේදී සියල්ලම සප්ලයි කරන්න බැරි නිසා ලිස්ට් එක කෙටි කිරීමක් කළා. එහි 1g සහ 5-6g priority දාලා තිබුණා. නමුත් 2.5g සඳහා ඉල්ලුම තිබුණා. ඒක 5-6g වලින් කවර් වෙන්න ඕන නිසා තමයි මම එය අනිවාර්යයි කියා දැම්මේ. ඒක හැමෝටම available විය යුතු නිසයි එහෙම ලිව්වේ. ඒ order එක දීලා තිබුණේ ජනවාරි මාසයේදී ලබා ගැනීමටයි. නමුත් සැපයීම කළේ මැයි 26 වෙනිදා. එවැනි අවස්ථාවල ඕනෑම ඒවා විතරයි ගන්න පුළුවන්. මේ අයිතම ඕනද කියලා බලනකොට එය priority item එකක් කියලා තිබුණා."

"SPC ඕඩර් දෙකක් එන්න නියමිත බව stock control officer දාලා තිබුණා. ඒ ගැන හොයලා බලනකොට ඒවා ගැනීමට LC open කරලාවත් තිබුණේ නෑ. ඊට පෙර එන්න නියමිතව තිබූ ඕඩරයක් ලැබී තිබුණේ නෑ. ඒවා කොම්පියුටරය බලලා තමයි සොයා ගත්තේ. දඩ මුදල් අය කරගත හැකි බව තිබුණා. මාස තුනක් පරක්කු නිසා රටටත් ආදායමක් ලැබෙනවා කියලා තමයි මා එය නිර්දේශ කළේ. අධ්‍යක්ෂවරයාත් ඒක අනුමත කළා. අනුමැතිය දුන්නාට පස්සේ තමයි stock control officer බඩු භාර ගත්තේ."

"WOR ගැන stock control officer සටහනක් දාලා තිබුණා. හැමදාම WOR වල ෆොටෝ කොපි පමණයි ලැබුණේ. ඒක නිකුත් කරන්නේ import controllerට තමයි. WOR බැලුවේ නෑ කියලා 2023/11/20 වැනිදා අපිව අත්අඩංගුවට ගත්තේ. ඒක තමයි දිගටම කරපු procedure එක. ඒක වරදක් නෙමෙයි. 2024 හිටපු DDG සර් NMRA එකෙන් විස්තර අහලා තිබුණා WOR expire වුණාම බඩු භාර ගැනීමේ ගැටලුවක් ගැන. ඒ අවස්ථාවේදී කියලා තිබුණ උත්තරය තමයි 2V20 ලෙස මේ අධිකරණයේ ලකුණු කළේ. ඒකේ තිබුණේ shelf life තියෙනවා නම් අදාළ ඖෂධ භාරගන්න පුළුවන් කියලා. Expiry date එක import controllerට තමයි අදාළ වෙන්නේ. Shelf life තියෙනවා නම් බඩු භාර ගැනීමේ පුළුවන්කම තිබුණා. එතැන වරදක් තිබුණේ නෑ. WOR ගැන ට්‍රේනින් එකක් දීලා තිබුණෙත් නෑ. පසුව තමයි ඒ ගැන 2023 නොවැම්බර් 15 වැනිදා පුහුණුවක් ලබා දී තිබුණේ."

"මාස හතක් හිරේ හිටියා; කකුලට මාංචු දාලා තිබුණේ"


"COA ලේඛනයක් ගැන අපිට දැනුම් දීලා තිබුණෙත් නෑ. ඒ ලේඛනය බලන්න කියලා උපදෙසක් දීලා තිබුණේ නෑ. එහෙම වුණාට සහකාර අධ්‍යක්ෂිකා චාන්දනී වන්නිආරච්චි කිව්වා ඒ ගැන. මං හිතන්නේ මේ රැස්වීම්වලට සහභාගී වී සිටි නිසා ඇයට අවබෝධයක් තියෙන්න ඇති. එවැනි instructions දීලා තිබුණේ නෑ. Quality, safety, efficacy ගැන වගකීම තියෙන්නේ NMRA ආයතනයට බව දැනගෙන හිටියා."



"ස්වාමීනී, මෙහිදී කතා වුණා සුජිත් සහ මා අතර දුරකථන සංවාද ගැන. ඔහු මගේ පහළ නිලධාරියා. ඒ නිසා රාජකාරීමය ලෙස නිතරම කතා කරනවා. කුමන්ත්‍රණය කිරීමට නෙවෙයි. හැම control officer කෙනෙක් සමගම කතා කරලා තියෙනවා. සද්භාවයෙන් රාජකාරිය කිරීමට තමයි එහෙම කළේ. මාව EOI කමිටුවට පත්කර තිබුණා. එහි සභාපතිනිය ලෙස දොඩාවත්ත මැඩම් වැඩ කළා. කොම්පියුටර් තොරතුරු දෙන්න කියලා තමයි මට කියලා තිබුණේ. ඒ තොරතුරු ලබා දුන්නා. ඒ ලබාදුන් තොරතුරු වැරදි බවට කිසිදු සාක්ෂියක් ආවේ නෑ."

"බෙහෙත් නැති වුණාම මිනිස්සු කොච්චර අපහසුතාවයට පත්වෙනවාද කියලා අපි දන්නවා. බෙහෙත් හත අටක් ලියලා දීලා, එක බෙහෙතක් දීලා, ඉතිරි ටික ෆාමසියෙන් ගන්න කිව්වාම මිනිස්සු පත්වෙන අපහසුතාවය පිළිබඳ හොඳ වැටහීමක් මට තියෙනවා. නුවරඑළිය රෝහලේදී මම ඒක අත්දැකලා තියෙනවා. හරියටම වැඩ කරන නිසා තමයි ඖෂධවේදියෙකු ලෙස සිටි මට සහකාර අධ්‍යක්ෂක ලෙස ප්‍රමෝෂන් එක ලැබුණේ."

"මගේ පියාට වයස අනූ අටක්. ඔහු තවමත් ජීවත් වෙන්නේ අපේ රෝහල්වලින් ලබා දෙන බෙහෙත්වලින් තමයි. 2023 නොවැම්බර් 20 වැනිදා උදේ වැඩට ගියා. DDG සර් එක්ක meeting එකක් තිබුණා. ඒකෙන් ආව ගමන් අපිව අත්අඩංගුවට ගත්තා. හරියටම වැඩ කළ අපිව කට්ටිය බලාගෙන ඉද්දී වාහනයක දාලා අරගෙන ගියා. මාස හතක් හිරේ හිටියා. එහිදී අසනීප වුණා. Hospital එකේ ඉන්න වුණා. ඒකෙදී කකුලට මාංචු දාලා තමයි තියාගෙන හිටියේ. හරිම වේදනාවක් වුණා. මේ නඩුව වැටිලා අවුරුදු තුනක් ගොඩාක් දුක් වින්දා. මගේ දුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ batch top වුණා. නමුත් ඒකටවත් මට යන්න ලැබුණේ නෑ. මේ චෝදනාවලින් මාව නිදොස් කොට නිදහස් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."


තුන්වන විත්තිකාරියගේ එම විත්තිවාචකය අවසන් කිරීමෙන් අනතුරුව ඇය සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත අවසන් කරන බව නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේය.

ගණකාධිකාරී නිරාන් ධනංජයගේ විත්තිවාචකය

ඉන් අනතුරුව හතරවෙනි චූදිත වෙනුවෙන් සාක්ෂිකරුවන් නොමැති බවත් ඔහු විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන බවත් නීතිඥ සුරංගී බස්නායක මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

ඒ අනුව සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් මෙම නඩුවේ හතරවන චූදිත වන වෛද්‍ය සැපයුම් ඒකකයේ ගණකාධිකාරී (සැපයුම්) ලෙස සේවය කළ මරක්කල මානගේ නිරාන් ධනංජය මෙසේද ප්‍රකාශ කළේය:

"ස්වාමීනී, මම රුහුණු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධරයෙක්. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විභාගයෙන් ලංකාවෙන්ම හතරවෙනියා වෙලා ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව සේවයට පැමිණියා. එහි තුන්වන ශ්‍රේණියේ ගණකාධිකාරීවරයෙකු ලෙස තමයි සේවය කළේ. එහිදී අභ්‍යන්තර ගෙවීම් හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තමයි වගකීම ලැබී තිබුණේ. බෙහෙත් සම්බන්ධයෙන් මට කිසිදු දැනීමක් තිබුණේ නෑ."

"රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි වීමෙන් පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට යාමට මම සියලු කටයුතු සූදානම් කරගෙන හිටියේ. එහෙත් සේවා අවශ්‍යතාවය මත වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම් ගණකාධිකාරී ලෙස මට පත්වීමක් ලැබුණා. ඒ සඳහා මගේ කැමැත්තක් තිබුණෙත් නෑ. මට බෙහෙත් ගැන පුහුණුවක් දීලා තිබුණෙත් නෑ. එහිදී ලැබුණු රාජකාරී ලැයිස්තුවේ ඖෂධ මිලදී ගැනීමට අදාළ ගැනුම් ඇනවුම් සකස් කිරීම, වවුචර් පත් සකස් කිරීම අධීක්ෂණය කිරීම ඇතුළු රාජකාරී හයක් ඇතුළත්ව තිබුණා."

"මුදල් ගෙවීමේ වගකීම සහතික කිරීමේ නිලධාරියා සතුයි"


"ස්වාමීනී, මෙම අංශයේ වැඩ භාර ගන්නා විට මට පුහුණුවක් තිබුණේ නෑ. එහි සිටි නිලධාරීන්ගෙන් විමසීම් කරමින් තමයි රාජකාරී කළේ. මට භාරව තිබුණේ දේශීය සැපයුම්කරුවන් සම්බන්ධ කටයුතු. සතිෂ් කුමාර නැමැති නිලධාරියාට තමයි EOI යටතේ රාජකාරී පැවරී තිබුණේ. පැ. 310 දරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැනුම් ඇනවුම ලැබෙන විට මම වැඩ භාරගෙන දින 25යි. සතිෂ් කුමාර නිලධාරියා කිව්වේ මේකට කැබිනට් අනුමැතියක් තියෙනවා, ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා කියලා. ගැනුම් ඇනවුමක් නිකුත් කිරීමකින් තොරව Pronto පද්ධතියට දත්ත ඇතුළත් කළ නොහැකි බව පැවසූ නිසා අභ්‍යන්තර පරිගණක පරිහරණ කටයුතු සඳහා මම P.O. එක අත්සන් කළා."

"ස්වාමීනී, මුදල් ගෙවීමේ කටයුතු මට අදාළ වන්නේ නෑ. මුදල් රෙගුලාසි 135 අනුව ප්‍රධාන ගණකාධිකාරීවරයාට තමයි සහතික කිරීමේ නිලධාරියා ලෙස එම කටයුත්ත පැවරෙන්නේ. P.O. එක, නිර්දේශ කිරීම, අනුමත කිරීම හා ගෙවීම් සිදුකිරීම අතර සෘජු සම්බන්ධයක් නෑ. සහතික කරන නිලධාරියා තමයි ගෙවීම් සිදුකරන්නේ. මුදල් ගෙවනවාද, කුමන වැය විෂයක් යටතේ එම ගෙවීම් කරනවාද කියන එක තීරණය කරන්නේ සහතික කිරීමේ නිලධාරියා විසින්. මුදල් රෙගුලාසි 138(4) යටතේ ලියවිලි පරීක්ෂා කිරීමේ වගකීම සහ හැකියාව සහතික කිරීමේ නිලධාරියාට තිබෙනවා."

"නොමිලේ අධ්‍යාපනය ලැබූ මා ඒ ලැබුණු අධ්‍යාපනය වෙනුවෙන් රටට යමක් කරන්න තමයි උත්සාහ කළේ. 2023/11/20 දින මා අත්අඩංගුවට පත්වුණා. ඒ වන විට මම රැකියාව භාරගෙන අවුරුද්දක්වත් ගතවෙලා නෑ. මා අත්අඩංගුවට පත්වන විට මගේ දරුවාට මාස අටයි. මාස හයක් හිරේ හිටියා. පැවරුණු රාජකාරිය නිසි ලෙස කළ බව මා ප්‍රකාශ කරනවා."

හතරවන චූදිතගේ එම විත්තිවාචකය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් නඩු කටයුත්ත අවසන් කරන බව නීතිඥ සුරංගී බස්නායක මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.

තොග පාලක සුජිත් වසන්ත කුමාරගේ විත්තිවාචකය


ඉන් අනතුරුව පස්වන විත්තිකරු වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බවත් ඔහු විත්තිවාචකයක් ඉදිරිපත් කරන බවත් නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය. ඒ අනුව පස්වන විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලක නිලධාරී සුජිත් වසන්ත කුමාර සිය විත්තිවාචකය ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කළේය:

"ස්වාමීනී, පළමුවෙන්ම මට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම රුහුණු විශ්වවිද්‍යාලයට තේරී පත්වී උපාධි පාඨමාලාව හදාරමින් සිටියදී වෘත්තීය ඖෂධවේදී පාඨමාලාව හදාරා ජාතික රෝහලේදී එය අවසන් කළා. 2019 පෙබරවාරි 11 වැනිදා ආධුනික ඖෂධවේදියෙකු ලෙස ත්‍රිකුණාමලය රෝහලේ සේවය කළා. 2021 අගෝස්තු මස 16 වැනිදා වෛද්‍ය සැපයුම් ඒකකයේ රාජකාරියට පැමිණියා. මාස තුනක් පමණ ගතවෙද්දී ගබඩා අංක හය භාර තොග පාලක නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමට මට සිදුවුණා. ඒ වෙද්දී මගේ පරිවාස කාලයවත් සම්පූර්ණ වී තිබුණේ නෑ. අංක 6 ඖෂධ ගබඩාව කියන්නේ මිල අධිකම, අත්‍යවශ්‍ය සහ ජීවිත ආරක්ෂක ඖෂධ තිබූ විශේෂිත ගබඩාවක්."

"2022/2023 ඉතාම දුෂ්කර කාලයක්. අපිට නිවාඩු අනුමත කළේ නෑ. රාත්‍රී සේවයටත් දාලා තිබුණා. රෝගීන් පවා ඖෂධ නැති වූ අවස්ථාවල අපේ පෞද්ගලික දුරකථනවලට කතා කරලා බෙහෙත් ඉල්ලූ අවස්ථා තිබුණා. ප්‍රසම්පාදන ක්‍රමවේද සම්බන්ධ විශේෂිත දැනුවත් කිරීමක් අපට කර තිබුණේ නෑ. 2022 ඔක්තෝම්බර් මස උපදෙස් ලැබුණා EOI යටතේ SPC ආයතනයට 'V' අකුරෙන් ඕඩර්ස් ලබාදෙන ලෙස. ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර මහතා දුන් උපදෙස් සහ චක්‍රලේඛ අනුව තමයි ඇනවුම් යෙදීම අප සිදු කළේ."

"බාල බෙහෙත් දෙන්න තුන් හිතකවත් තිබුණේ නෑ"


"ස්වාමීනී, මම කටයුතු කළේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සම්බන්ධයෙන් පමණයි. රිටොක්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් මගේ අබමල් රේණුවකවත් සම්බන්ධයක් නෑ. සැපයුම් කොන්දේසි අනුව ප්‍රමාද වී ලැබෙන ඖෂධ භාර ගැනීමට නම් ඉහළ නිලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගත යුතු නිසා මා සහකාර අධ්‍යක්ෂකවරියගේත් අධ්‍යක්ෂකවරයාගේත් උපදෙස් ඉල්ලා සිටියා. COA ලේඛන සම්බන්ධයෙන් අපිට කිසිම දැනුවත් කිරීමක් කර තිබුණේ නෑ. 2023 ඔක්තෝම්බර් 15 වැනිදා පැවැති වැඩමුළුවේදී තමයි අපිට WOR සහ COA ගැන දැනුවත් කිරීමක් කළේ."

"ස්වාමීනී, 2023/11/20 වැනිදා අපිව අත්අඩංගුවට ගත්තා. මාස දෙකක් පමණ බන්ධනාගාරගතව සිටීමට සිදුවුණා. දෙසීයකට පමණ පාවිච්චි කිරීමට තිබුණේ ටොයිලට් දෙකයි. එක වේලයි ආහාර ගත්තේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු පැවැති මූලික අභ්‍යන්තර පරීක්ෂණයේදීම මා නිදොස් කොට නිදහස් කර නැවත රැකියාව ලබා දුන්නා. නමුත් දැන් මාස හතරක සිට මගේ වැටුප් අත්හිටුවලා තියෙන්නේ. ජීවත්වීමට පවා නොහැකි තත්ත්වයක ඉන්නේ."

"මේ නඩුව ලැබෙනකොට මම විවාහ වෙලා ටික කාලයයි. මගේ බිරිඳටත් මානසික රෝගයක් මේ නිසා ඇතිවුණා. නඩුවේ මුල් කාලයේදී තමයි දරුවා ඉපදුණේ. ඒ වෙලාවෙත් මම හිටියේ උසාවියේ. රෝගියෙකුට බාල බෙහෙත් ලබාදෙන්න තුන් හිතකවත් තිබුණේ නෑ. බෙහෙත් සමග සෙල්ලම් කරන්නේ නෑ. අපි කළේ පින් රස්සාවක්. චෝදනාවලින් මා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා."


පස්වන විත්තිකරුගේ විත්තිවාචකය අවසන් වීමත් සමග ඔහු වෙනුවෙන් නඩු කටයුත්ත අවසන් කරන බව නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගේ ප්‍රකාශය


ඉන් අනතුරුව හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සඳහන් කළේ හයවන විත්තිකරු විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කරන බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් මෙලෙස සඳහන් කළේය:

"ස්වාමීනී, අධිචෝදනා පත්‍රයේ පළමුවන සහ හත්වන චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. කිසිදු අවස්ථාවක කිසිදු වරදකට ආධාර අනුබල දීමක් මා සිදු කළේ නෑ. මගේ සේවා කාලය වසර 36ක් සහ මාස නවයක් වෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිකැළැල්ව සේවය කළ මට මේ අපරාධ චෝදනාව එල්ල වනතුරු කිසිදු විනය විරෝධී චෝදනාවක් එල්ල වී තිබුණේ නෑ."

"2022 මැයි 25 වැනිදා මා සෞඛ්‍ය ලේකම් ලෙස පත්වන විට රට බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ. ඇම්බියුලන්ස් රථවලට ඉන්ධන ලබාදීම පවා දුෂ්කර වුණා. විදුලි කප්පාදුව පැය ගණන් තිබුණා. සමහර අවස්ථාවල විදුලි බිල්පත් ගෙවා අවසන් කරන තුරුම විදුලි සැපයුම ලබා දුන්නේ නෑ. ඖෂධ ලබාගැනීමේ හදිසි තත්ත්වය නිසා තමයි හදිසි අවස්ථා ප්‍රසම්පාදන මාර්ගෝපදේශය සකස් කළේ."

"හොරකමක් කරන්න ඕන නම් ලේඛන හදන්නේ නෑ"


"ඖෂධ සමාලෝචන රැස්වීම්වලදී SPC එකට ලබාදී තිබූ ඇණවුම් ප්‍රමාද වන බවට කරුණු හෙළිවුණා. පවතින තත්ත්වයන් යටතේ හදිසි මිලදී ගැනීම් කළ යුතු බවට වූ විධායකයේ නියමයන්ට සහ අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව මා කටයුතු කළා. සෑම විටම මා කටයුතු කළේ රාජ්‍ය පරිපාලන නීතිරීති සහ කාර්යාල ක්‍රමවේද අනුවයි. සෑම දෙයක්ම ලේඛනගත කර තිබුණා. කිසිදු අවස්ථාවක වාචික උපදෙස් ලබාදී නෑ. හොරකමක් කරන්න අවශ්‍යතාවය තිබුණා නම් ලේඛන සකස් කරන්නේ නෑ."

"පෞද්ගලික වාසියක් හෝ වරප්‍රසාදයක් ලබා ගැනීමේ අරමුණෙන් අයිසොලෙස් බයෝටෙක් ෆාමා ආයතනය සමග කටයුතු කළේ නෑ. පළමුවන චූදිත සමග කිසිදු දුරකථන සංවාදයක් හෝ කෙටි පණිවිඩයක් හුවමාරු කරගෙන නෑ. කිසිදු මූල්‍ය ලාභයක් හෝ ත්‍යාගයක් ලබාගෙන නෑ. කිසිදු අවස්ථාවක ගෙවීමක් අනුමත කිරීමක් හෝ බලපෑම් කිරීමක් කළේ නෑ. ඇනවුම්, බිල්පත්, කුවිතාන්සි හෝ ගෙවීම් සිදු කිරීමට මා සම්බන්ධ නෑ."

"ස්වාමීනී, මා සෑම විටම කටයුතු කළේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමටයි. නමුත් අවසානයේදී මට ඉතිරි වුණේ මගේ බිරිඳ පමණයි; මගේ දරුවා පවා මට නැති වුණා. අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් මට වෙන දේ රටම බලා සිටිනවා. කවදාක හෝ සත්‍යය හෙළි වේවි. ස්වභාවධර්මය විසින් සියල්ල බලා ගනීවි යැයි මා විශ්වාස කරනවා."

හයවන විත්තිකරුගේ විත්තිවාචකය අවසන් වීමෙන් පසු ඔහු වෙනුවෙන් වන නඩු කටයුත්ත අවසන් බව නීතිඥ නුවන් ජයවර්ධන මහතා දන්වා සිටියේය.

සාක්ෂිකරුවන් කැඳවීම ගැන විරෝධතා සහ නියෝග

ඉන් අනතුරුව අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සේවාදායකයා වෙනුවෙන් සාක්ෂි ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඊට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කළාය.

අදාළ රැස්වීම් සටහන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂියකදී අමලී රඹුක්වැල්ල මහත්මිය සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ බවට වූ ප්‍රකාශය තහවුරු කර ගැනීමට මෙම සාක්ෂිකරු කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළ අවස්ථාවේදී නීතිඥවරයා කියා සිටියේ, "ස්වාමීනී, මා මේ සාක්ෂිකරු කැඳවන්නේ දොඩාවත්ත නමැත්තා එම ස්ථානයේ සිටියාද නැද්ද යන්න තහවුරු කර ගැනීමටයි. අපි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ අතපල්ලෙන් වැටුණු අය නෙවෙයි. අපිටත් සාක්ෂිකරුවන් කැඳවීමේ අයිතිය තිබිය යුතුයි" යනුවෙනි.

කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම පළමු සාක්ෂිකරු කැඳවීමට අවසර ලබා දුන් නමුත්, දෙවන සාක්ෂිකරු කැඳවීම සඳහා කළ ඉල්ලීම වක්‍ර උත්සාහයක් ලෙස සලකා ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඉදිරිපත් වූ මෝෂන් පත්‍ර අනුව අදාළ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.

නඩුවේ පසුබිම සහ අධිචෝදනා


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.


අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂිකා පීස් ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශගතව සිටී), අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය තුසිත සුදර්ශන සහ NMRA හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.

මෙම නඩුව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ සහ NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු සාක්ෂිකරුවන් 350 දෙනෙකුගේ නම් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇත.

(සටහන | නෙල්කා මැදගෙදර)
ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...