ශ්‍රී ලංකාවේ ගීතවල පරම බුද්ධිමය දේපළ අයිතිය වර්තමාන නීතියට අනුව හිමිවන්නේ පද රචකයාට සහ තනු නිර්මාපකයාට පමණක් වන අතර, ගායකයාට හිමිවන්නේ "සම්බන්ධිත අයිතිවාසිකමක්" (Related/Performing Rights) පමණි.
මෑතකාලීනව මෙරට සංගීත ක්ෂේත්රය උඩුයටිකුරු කරමින් මතු වූ බුද්ධිමය දේපළ අර්බුදය, සරල කලාත්මක ගැටලුවක් නොව, නීතිය, සදාචාරය, ඩිජිටල් ආර්ථිකය සහ කලාකරුවන්ගේ පැවැත්ම පිළිබඳ බරපතළ ඝට්ටනයක් බවට පත්විය.
ගීතයක සැබෑ අයිතිකරුවා කවුද? රසික හදවත් වැළඳගත් ගායකයාද, නැතහොත් තිරය පිටුපස සිටි පද රචකයා සහ සංගීතඥයාද? මෑතකදී ඇතිවූ සිදුවීම් මාලාවත් සමඟ මෙම සංවාදය නැවතත් අළු යට ගිනි මෙන් වැසී ගොස් ඇත.පුංචි සුළඟකින් වුව එහි ගිනි පුපුරු නැවතත් මතුවිය හැක.මේ තාවකාලික විරාමයක් බඳුය.එය ලාංකීය සමාජයේ උණුසුම් මාතෘකාවක්ය.තුන්කොන් සටනක්මය.
අර්බුදයේ අතීත මුල් සහ අධිකරණ තීන්දු

ලංකාවේ ගීත අයිතිය පිළිබඳ නීතිමය පදනම සැකසෙන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත හරහාය. ශ්‍රී ලංකාව 1962 වසරේ සිටම ජාත්‍යන්තර 'බර්න් සම්මුතියට' (Berne Convention) බැඳී සිටින බැවින්, ලෝක සම්මත නීතියට අනුව ගීතයක "පරිකල්පනීය කාර්යය" සිදු කරන රචකයා සහ තනු නිර්මාපකයා එහි ප්‍රකාශන අයිතියේ (Copyright) හිමිකරුවන් වේ.
මෙම ගැටුම ප්‍රසිද්ධියට පත් වූ ප්‍රධානතම ඓතිහාසික සන්ධිස්ථාන කිහිපයකි.ඒවානම්
ලූෂන් බුලත්සිංහල සහ ටොරනා නඩු තීන්දුව
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවකින් තහවුරු කෙරුණේ, ගායකයාගේ කැමැත්ත පමණක් වාණිජමය භාවිතයකට ප්‍රමාණවත් නොවන බවත්, මූලික ආර්ථික අයිතිය රචකයා සහ සංගීතඥයා සතු වන බවත්ය.
සන්තුෂ් සහ සුනිල්
මෑතකදී ආචාර්ය රෝහණ වීරසිංහ සහ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සන්තුෂ් වීරමන් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත්තේ, ඔවුන්ගේ අවසරයකින් තොරව ගීතයක් විකෘති කර යූටියුබ් වාණිජ වෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට එරෙහිවයි.
ACPOSL බලපත්‍ර ගාස්තු සහ මෑතකාලීන පිපිරීම

අර්බුදය දැඩි ලෙස උත්සන්න වූයේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අනුමැතිය ඇතිව නව රෙගුලාසි ගැසට් කිරීමත් සමඟය.
මංගල උත්සව, පෞද්ගලික සාද, සුපිරි වෙළඳසැල් සහ ප්‍රසංගවලදී සිංහල, දෙමළ සහ හින්දි ගීත වාදනය කිරීම සඳහා රුපියල් 20,000 සිට 125,000 දක්වා වාර්ෂික හෝ අවස්ථානුකූල බලපත්‍ර ගාස්තුවක් (Licence Fee) ගෙවිය යුතු බවට නියම කෙරුණි.මෙමඟින් හෝටල් හිමියන්, මංගල උත්සව සංවිධායකයන් සහ සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර, දේශපාලන ලෝකය තුළ පවා මේ පිළිබඳව දැඩි ප්‍රශ්න කිරීම් මතු විය.
කාසියේ වාසිය තුන්කොන් සටන
මෙම අර්බුදය දෙස බලන විට ප්‍රධාන පාර්ශව තුනක තර්ක විතර්ක හඳුනාගත හැකිය.
පද රචකයන් සහ සංගීතඥයන් (නිර්මාණකරුවන්)
ඔවුන් පවසන්නේ ගීතයක "ආත්මය" නිර්මාණය කරන්නේ තමන් බවයි. වර්තමානයේ බොහෝ ප්‍රවීණ පද රචකයන් සහ සංගීතඥයන් වයෝවෘද්ධව, ආර්ථික අපහසුතාවලින් පෙළෙද්දී, ඔවුන්ගේ ගීත ගයන ගායකයන් ප්‍රසංග වේදිකාවලින් ලක්ෂ ගණනින් මුදල් උපයන බවට ඔවුහු චෝදනා කරති. එබැවින් සාධාරණ කර්තෘ භාගයක් (Royalties) තමන්ට ලැබිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.
ගායක ගායිකාවන් (ශිල්පීන්)
ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය (SLASA) මෑතකදී ජනාධිපතිවරයා පවා හමුවී තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. ඔවුන්ගේ තර්කය වන්නේ, කඩදාසියක ඇති පද පේළියක් සහ තනුවක් රසිකයා අතරට ගෙන ගොස්, එයට ජීවය දී, ජනප්‍රිය කරවන්නේ ගායකයාගේ "හඬ සහ සන්නාමය" (Brand) මඟින් බවයි. වත්මන් ඩිජිටල් යුගයේ (Streaming/Social Media) තමන්ගේම ගීත සමාජ මාධ්‍යවල පළ කිරීමට පවා නීතිමය බාධා එල්ල වීම අසාධාරණ බව ඔවුහු පවසති.
නිෂ්පාදකයන් (Producers) සහ ආයෝජකයන්
ගීතයක් පටිගත කිරීමට, ශබ්දාගාර (Studio) ගාස්තු ගෙවීමට සහ ප්‍රවර්ධනයට මුදල් ආයෝජනය කරන්නේ නිෂ්පාදකයා බැවින්, එහි වාණිජමය හෝ ආර්ථික අයිතිය (Economic Right) තමන්ට හිමි විය යුතු බව ඔවුන්ගේ තර්කයයි.
මහජන විරෝධය හමුවේ "බලපත්‍ර ගාස්තු" තාවකාලිකව හකුලා ගනී

සමාජ මාධ්‍ය හරහා සහ හෝටල් ක්ෂේත්රයෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් මංගල උත්සව, පෞද්ගලික සාද සහ DJ සංදර්ශන සඳහා හඳුන්වා දුන් බලපත්‍ර ගාස්තු ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.
ACPOSL නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම තාවකාලික අත්හිටුවීම ඔවුන්ගේ ඉදිරි වාර්ෂික මහා සභා රැස්වීම (AGM) දක්වා වලංගු වන බවයි. එහිදී සමස්ත සාමාජිකත්වයෙන් තුනෙන් දෙකක අනුමැතියකින් තොරව මෙයට ස්ථිර විසඳුමක් දිය නොහැකි බව ඔවුන් පවසා තිබේ.
මේ අතර රජය වෙනුවෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පැහැදිලිවම ප්‍රකාශ කළේ, මංගල උත්සව හෝ පෞද්ගලික සාදවලදී ගීත ගැයීම හෝ වාදනය කිරීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගෙන් කිසිදු මුදලක් අය කිරීමට රජය අවසර දී නොමැති බවත්, එවැනි තහංචි පැනවීමක් සිදු නොවන බවත්ය.
කෙසේ වෙතත්, නිර්මාණකරුවන්ට සාධාරණ කර්තෘ භාගයක් (Royalties) ලැබෙන ජාත්‍යන්තර ප්‍රමිතියේ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් ක්‍රමවේදයක් (Digital Royalty System) සැකසීම පිළිබඳව රජයේ අවධානය යොමුවිම ඉාම වැදගත්ය..
ගීතයක් යනු සාමූහික ප්රයත්නයකි. නීති පොත්වල අකුරුවලට පමණක් සීමා නොවී, නිර්මාණකරුවා කුසගින්නේ නොතබා, ගායකයාගේ දක්ෂතාවය අගයමින්, රසිකයාට බාධාවකින් තොරව සංගීතය විඳීමට හැකි, විනිවිදභාවයකින් යුතු ඩිජිටල් පද්ධතියක් (Digital Royalties System) ලංකාවට බිහිවීම කඩිනම් අවශ්‍යතාවයකි.එතෙක් ගීතයට ගහමරා ගැනීම කෙළවරක් නොවනු ඇත.නැතහොත් බොහෝ තැබෑරුම් වල මෙන් "සිංදු කීම තහනම්' යන දැන්වීම් ඇලවීමට සිදුවනු ඇත.




