කෙටිකතා, නවකතා සහ ශාස්ත්‍රීය කෘති රචනයේ යෙදෙන අතර ම සාහිත්‍ය දේශකයකු ලෙසද කටයුතු කරන සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය රචනා කළ ‘කුඩා කවුළු ඈත පෙනෙන’ සහ ‘කවබත ඔබ හරි, විවාහය බිහිසුණු දෙයක් තමයි’ නමැති නවතම කෘති ද්විත්වය පසුගියදා විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශන ලෙස නිකුත් විය.
මතු පළ වන්නේ එය නිමිති කරගනිමින් ඔහු සමඟ කළ කතාබහකි.
‘කුඩා කවුළු ඈත පෙනෙන’ කෘතිය කෙටිකතා පොතක්. එහි එන ක්ෂුද්‍ර කතා ගැන කෙටි හැඳින්වීමක් කළ හැකි ද…?

මම දීර්ඝ කාලයක් තිස්සේ කෙටිකතා ලියලා තියෙනවා. මෑත කාලයේ දී තමයි ඔය ක්ෂුද්‍ර කෙටිකතා කියන සාහිත්‍ය ප්‍රවර්ගය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේ. මේ පිළිබඳ යම් යම් ශාස්ත්‍රීය විග්‍රහයන් කියවන්නටත් මට අවස්ථාව ලැබුණා. ඒවා කියවනකොට මගේ තරුණ කාලයේ මා ලැබූ අත්දැකීම් ලියා තිබුණු සටහන් මට මතක් වෙලා ඒවා ආපහු අරගෙන කියවලා බැලුවා. අපි යම්කිසි අත්දැකීමක් ලැබුවාම ඒවා අමතක වෙයි කියලා යම් ක්‍රමයකට සටහන් කරනවනෙ. මට හිතුණා ලොකු සංස්කරණයකට ලක් නොකළොත් මේවා ක්ෂුද්‍ර කතා වශයෙන් ඉදිරිපත් කළ හැකියි කියලා. මම ඒ කතා ටික එකතු කරලා, අලුතෙනුත් තව කතා කිහිපයක් ලියලා ‘ගිගිරි වළලු පය නොලා’ නමින් පොතක් පළ කළා. ඒ පොතට සෑහෙන යහපත් ප්‍රතිචාර ලැබුණා. ඇතැම් අය කිව්වේ, කවිය සහ කෙටිකතාව අතර අවස්ථාවක් මේ කතාවලින් දකින්නට පුළුවන්කම ලැබුණා කියලයි. ඒ ශෛලියේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ප්‍රමාණයෙන් ඉතා කෙටි, සම්පිණ්ඩිත ස්වභාවයයි. මට හිතෙන විදියට අද මුහුණුපොතත් එක්ක වැඩි කාලයක් ගත කරන අය දීර්ඝ වශයෙන් කියවීමට අකමැත්තක් දක්වනවා. පොඩි දෙයක් ඉක්මණට කියවන්න දැන් බොහෝ අය කැමතියි. ඒ වගේ අයට මේ ක්ෂුද්‍ර කතා වැදගත් කියලා මට හිතුණා. යම්කිසි කාන්තාවක් වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහිල්ලා වෛද්‍යවරයා එනකම් ඉන්නකොට ඇය සාමාන්‍යයෙන් කරන්නේ මුහුණුපොතට ගිහිල්ලා යම් යම් දේවල් බලන එක වෙන්න පුළුවන්. ඒ වගේ අය අතරෙ පොතක් අරගෙන යන සමහර අයත් ඉන්නවා. එහෙම බෑග් එකේ දාගෙන යන්න පුළුවන් කුඩා පොතක් හැටියටයි ‘කුඩා කවුළු ඈත පෙනෙන’ සකස් කළේ.
‘කවබත ඔබ හරි, විවාහය බිහිසුණු දෙයක් තමයි’ කෘතිය ගැනත් යමක් කියනවා නම්?
මම කාලයක් තිස්සේ තවත් කතා ටිකකට අදාළ අත්දැකීම් අඛණ්ඩව සටහන් කරමින් හිටියා. ඒ අතරතුර විවිධ අවස්ථාවලදී මට ලැබුණු සමහර ජීවන අත්දැකීම් පාදක කරගනිමින් තවත් ක්ෂුද්‍ර කතා ටිකක් ලියන්න ඕනෙ කියලා මට අදහසක් ආවා. හැබැයි ඒ සමහර අත්දැකීම් ක්ෂුද්‍ර කතා කියන ප්‍රවර්ගය ඇතුළට දාන්න බැහැ. කොච්චර ලියලා සංක්ෂිප්ත කළත් ඒකෙ අවුලක් තියෙනවා. එවැනි කතා රචනා කිරීමේ දී ඒවාට ම ගැළපෙන තවත් ආකෘතියක් මම හදා ගත්තා. ඒවා මම හඳුන්වා දුන්නේ 'කුඩා කතා' කියන නමින්. ක්ෂුද්‍ර කියලා කිව්වාම ඒකෙ තියෙනවා සම්පිණ්ඩනය කරපු බවක්. කුඩා කතා රචනා කළේ ක්ෂුද්‍රත් නොවන, කෙටිකතාත් නොවන විදියේ ආකෘතියකින්. මම ඒ විදියේ කතා කාලයකට පෙරත් ලියලා තියෙනවා. ‘මිහිරි හැඟුම්’ සහ ‘ආදරයයි කරුණාවය’ වගේ පොත් කිහිපයකටම ඒ කතා ඇතුළත් වුණා. ‘කවබත ඔබ හරි, විවාහය බිහිසුණු දෙයක් තමයි’ කෘතියටත් ඇතුළත් වෙලා තියෙන්නේ එවැනි කුඩා කතා කිහිපයක්.
ක්ෂුද්‍ර කතා සහ කුඩා කතා එකම කෘතියකට අන්තර්ගත වන ප්‍රථම අවස්ථාව මෙය ද…?

ඔව්, මේ පොතේ එක අඩක තියෙන්නේ ක්ෂුද්‍ර කතා. අනෙක් අඩ තුළ තියෙන්නේ කුඩා කතා. මේ සියලු කතාවල තියෙන්නේ මිනිස් සිත්වල පහළ වෙන ආදෘශ්‍යමාන හැඟීම්. ඉතාම සියුම් දේවල් නිසා මිනිසුන් තුළ ඇති වන අවපීඩනය සහ ගැටුම් ගැන මේ කතාවලින් කියැවෙනවා. ඒවාට පාදක වන සමහර අත්දැකීම්වල පොඩි උත්ප්‍රාසයකුත් තියෙනවා. මේ කතා වෙනම කෘතියකට එකතු කළේ කියවීමෙන් ඈත් වෙමින් යන පිරිස ඉලක්ක කරගෙනයි. අද පාඨක සමාජයක් දිනාගන්නවා කියන එකත් ලේඛකයෙකුට පැවරිලා තියෙන වගකීමක්. ඉස්සරට වඩා දැන් පුවත්පත් කියවන එක අඩු වෙලා තියෙනවා. සාහිත්‍ය සාකච්ඡාවලට සහභාගි වෙන පිරිස අඩු වෙලා තියෙනවා. හුඟක් වෙලාවට පොතක් දොරට වඩින අවස්ථාවකට වුණත් අපේ පරම්පරාවල අය තමයි එකතු වෙන්නේ. ඒ අතර පොත්පත් කියවන යම් තරුණ පිරිසකුත් ඉන්නවා. යම්කිසි අධ්‍යාපනයක් ලබපු ගෘහණියන්ට අමතරව ගුරුවරු සහ ගුරුවරියන් වගේ සාමාන්‍ය මධ්‍යම පාන්තික රැකියා කරන අයත් තවමත් පොත් කියන සමාජය තුළ ඉන්නවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දි ඒ වගේ අය මට මුණගැහිලා තියෙනවා. ඔවුන් එක්ක කතාබහ කරනකොට ඒ බොහෝ දෙනෙකුගෙන් කියැවෙන්නේ ආසාවට පොත් ගත්තට කියවන්න වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන බවයි. ඒ අය එක්ක කතා කරනකොට මට දැනගන්න ලැබුණු විදියට අලුතෙන් ගත්ත පොත්වලින් ඔවුන් කියවලා ඉවර කරලා තිබුණේ ඉතා කුඩා පොත් පමණයි.
මෙයට පෙරත් මෙවැනි කෙටිම කෙටි කතා පළ වූ අවස්ථා තිබෙනවා?
ඔව්, විශේෂයෙන්ම අනිල් හේරත් වගේ අය මට කලින් මෙවැනි කතා ලියලා තියෙනවා. ඔහු ඒ කෙටිකතා ඇතුළත් පොත් කිහිපයක් ලියා පළ කළා. ඇත්තටම ඔහු ක්ෂුද්‍ර කතා පළ කිරීම සම්බන්ධයෙන් ඉදිරියෙන් හිටපු ලේඛකයෙක්. මේ වගේ කතා ඇන්ටන් චෙකෝෆ් පවා ලියලා තියෙනවා. ලියනගේ අමරකීර්තිගේ ‘කෙටිකතා කලාව’ කියන පොතේ ඒ ගැන යම්කිසි විග්‍රහයක් ඔහු සනිදර්ශිතව දක්වලා තියෙනවා. අනිල්ගේ කතා ගැනත් ඒ පොතෙන් යම්කිසි ඇගයීමක් කරලා තියෙනවා. අපේ ශිෂ්‍ය හාමුදුරු නමක් හිටියා හොරගල විමලතිස්ස කියලා. සාහිත්‍යය ගැන ලොකු උනන්දුවක් දක්වන උන්වහන්සේගේ උපාධි නිබන්ධනයටත් තෝරා ගත්තේ ක්ෂුද්‍ර කතා ශානරයයි. උන්වහන්සේගේ ඒ අධ්‍යයනය පිළිබඳ නිරීක්ෂණය මට මේ කතා ශෛලිය ගොඩනඟා ගන්න යම්කිසි ආකාරයක උත්තේජනයක් ඇති කළ බවත් කියන්න කැමතියි. හැබැයි, මේ ක්ෂුද්‍ර කතා ප්‍රවර්ගය තවමත් එතරම් ජනප්‍රිය එකක් නෙවෙයි. ඒක අපේ නූතන සාහිත්‍යය තුළ වැඩී, වර්ධනය වෙලා නැහැ. මේ ක්ෂුද්‍ර කතාවල එක්තරා ආකාරයක සංකීර්ණභාවයකුත් තියෙනවා. මේ ක්ෂුද්‍ර කතාවක් කියෙව්වාට පසුව පාඨකයාට තමන්ගේ පරිකල්පන ඥානයෙන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න සිදු වෙනවා. ඒ සඳහා මට හිතෙන විදියට කවි කියවීම වගේ පොඩි පුරුද්දක් තියෙන්න ඕනෙ. මේ නිර්මාණවල භාෂාවෙන් කරන පොඩි උපක්‍රමයක් තියෙනවා. එතැනදි සිදු වෙන්නේ එක්තරා ආකාරයක සංක්ෂේප කිරීමක්. සාමාන්‍යයෙන් අපි කෙටිකතාවක් ලියනකොට යම් යම් දේවල් විස්තර කරනවානෙ. මෙතැනදි එවැනි විස්තර කිරීමක් සිදු වෙන්නේ නැහැ. පොඩි පොඩි සංකල්ප රූප ටිකක් විතරයි තියෙන්නේ. ඒකත් මේ කතා තවමත් ලොකු පාඨක සමාජයක පැතිරිලා නොයෑමට එක හේතුවක් හැටියට සලකන්න පුළුවන්. හැබැයි, කාන්තාවන් ලියලා තියෙන සමහර කතාවල ස්ත්‍රීන්ට තියෙන සංකීර්ණ ප්‍රශ්න සාහිත්‍යමය ගුණයෙන් අනූනව ප්‍රබලව ප්‍රකාශ කරන්න මේ කතා ශෛලිය හරියටම හරිගිහිල්ලා තියෙනවා. මම කලින් කිව්වා වගේ අද බොහෝ අය හුඟක් දිගට කියවන්න කැමති නැහැ වගේම දිගට ලියන්නත් අකමැතියි. මගේ මිත්‍ර පත්තර කර්තෘවරු කියන්නේ දැන් පුවත්පත්වල පවා දිගට ලියන ලිපි කියවනවා අඩුයි කියලයි. සාහිත්‍යය කෙසේ වෙතත් දේශපාලනය වගේ වෙනත් විෂයයන් ගැන කෙටියෙන් ලියන දේවල් තමයි වැඩිපුර කියවන බවක් පෙනෙන්නේ. මේ වෙනකොට සමාජය තුළ කියවීමට වෙන් කරන කාලය මිනිස්සුන්ගේ සිත්සතන්වලින්ම කුඩා කරලා තියෙනවා. ඒ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී මේ ක්ෂුද්‍ර කතා සහ කුඩා කතා වත්මන් පාඨක සමාජයට වඩාත් ගැළපෙන බවක් පෙනෙනවා. ක්ෂුද්‍ර කතාවලට වඩා කුඩා කතාවල රීතිය සරලයි. ඒ හරහා පැහැදිලිවම මුල, මැද, අග කතන්දරයක් විස්තර සහිතව කියනවා. හැබැයි ඒවා කුඩායි. අද වැඩි පිරිසක් ඉන්නේ රූපමය ලෝකයකනේ. මුහුණු පොත සහ රූපවාහිනිය වැනි මාධ්‍ය හරහා දකින්න ලැබෙන්නේ රූප. ඒනිසා ඉස්සරට වඩා පහසුවෙන් චිත්ත රූප මවා ගන්න හැකියාවකුත් අද පාඨකයාට තියෙනවා කියලා මට හිතෙනවා. ඒනිසා මේ කතා ශෛලිය ඉදිරියේ දී තව තවත් වැඩී වර්ධනය වෙන්න පුළුවන්.
කෙටිකතාව පිළිබඳ නිර්වචනයට මේ කතා ශෛලිය අනුකූල ද…?
නැහැ, මේ කතා ශෛලිය තරමක් වෙනස්. නවකතා සහ කෙටි නවකතා කියලා දෙවර්ගයක් තියෙනවානේ. හැබැයි, නවකතාවේ ලක්ෂණම කෙටි නවකතාවේත් තියෙනවා. කෙටිකතාවලත් දිග කෙටිකතා වගේම කුඩා කෙටිකතාත් තියෙනවා. ක්ෂුද්‍ර කෙටිකතා ඒ සියල්ලට වඩා වෙනස්. කෙටිකතාවල සන්දර්භය ක්ෂුද්‍ර කතාවල නැහැ. ක්ෂුද්‍ර කතාව ලියන ලේඛකයෙක් හිටියාට එය කියවන පාඨකයාත් ඒ කතාව ලියන්නෙක් බවට පත් වෙනවා. ඔහු පරිකල්පනය කර ගන්නා දෙය තුළ තමයි කතාවෙන් මොකක්ද කියන්නේ කියන එක හරියටම වැටහෙන්නේ. කියවනවාට වඩා කාලයක් ඒ ගැන කල්පනා කරන්න පාඨකයාට සිද්ධ වෙනවා. මට හිතෙන විදියට ක්ෂුද්‍ර කතාව වැඩියෙන් නෑකම් දක්වන්නේ කෙටිකතාවට වඩා කවියටයි. කවියක් කියවන්න යම් පුරුද්දක් අවශ්‍යයි. එතැනදී කාව්‍යෝක්ති ග්‍රහණය කරගන්න සහ තේරුම් ගන්න රසිකත්වයක් වැඩිදියුණු කරගන්න සිදු වෙනවා. කිසි දවසක කවි කියවලා නැති රසිකයෙකුට කවි පොතක් අවසන් වන තුරු කියවන්න බැහැ. කොහොමත් කවි පොතක් එක දිගට කියවන්න බැහැ. එහෙම කියවනකොට කවියක් විඳින්න බැරි වෙනවා. එක කවියක් කියවලා විරාමයක් අරගන්න ඕනෙ. කවි කියවන අය. කවියක් දෙකක් කියවනවා, තියනවා, ආපහු අරගෙන කියවනවා. සමහර විට කියවපු කවියම ආයෙත් කියවනවා. එහෙම කියවාගෙන යනකොට තමයි සමහර කවි හරි විදියට දැනෙන්නේ. කවි කොච්චර කියෙව්වත් ග්‍රහණය වෙන්නේ නැති අය ඉන්නවා. කවි පොතක් කියවලා ඉවර කරන්න සෑහෙන දවසක් ගත වෙනවා. කවිය එක්ක ඇති කරගන්න සම්බන්ධතාවට කාලය අවශ්‍යයි. එතැනදි වෙන්නේ පාඨකයාගේ පරිකල්පනය අවදි කිරීමක්. එය ක්ෂුද්‍ර කතාවටත් අදාළයි කියලයි මම හිතන්නේ.

කෙටි කතාව වගේ ම කවියත් තවදුරටත් කෙටි වෙමින් කෙටි කවි බවට පත්වීම ගැන ඔබේ අදහස…?
ඒක හරිම විවාදාත්මක කාරණාවක්. කෙටි කවි ලියන අය දිග කවි සෑහෙන්න දෝෂදර්ශනයටත් ලක් කරනවා. ගුණදාස අමරසේකර වගේ කෙනෙක් ඔය කෙටි කවි නිර්දය ලෙස විවේචනය කරලත් තියෙනවා. කවිය මුහුණුපොත හරහා අවභාවිතා වෙලා තියෙනවා කියලත් මට හිතෙනවා. කෙටි කවිය දියුණු කරන්න මහන්සි ගත්ත ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ වගේ අයගේ කවි ඉහළ මට්ටමක තියෙනවා. ඔවුන් ලියන්නේ සංක්ෂිප්ත කාව්‍ය සම්ප්‍රදායය පිළිබඳ අවබෝධයකින්. හයිකු කාව්‍ය සහ වෙනත් එවැනි සම්ප්‍රදායයන් පිළිබඳ අවබෝධයකින් ඔවුන් රචනා කළ කෙටි කවි නව පරපුරේ අවධානයට ලක් විය යුතුයි.
මෙය ජනවාරි මාසයේ 'මව්බිම' පුවත්පතේ පළ වූ සාකච්ඡාවකි




