The Leader News
BREAKING
ලෙස්ටර් ගේ ලොකු ම විප්ලවය; 'රන් සළු'●ක්ෂුද්‍ර කතාව නෑකම් දක්වන්නේ කෙටිකතාවට වඩා කවියට - සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය●කථානායකගේ තීරණ අධිකරණයට ප්‍රශ්න කළ හැකිද? නීති තර්ක උණුසුම් වෙයි●හිටපු මන්ත්‍රීවරුන් යළි එකම වේදිකාවකට: නව සංගමය 28 දා ඇරඹේ●Diginote : දේශීය ආදායම් බදු ඉලක්කය ඉක්මවයි; ලාෆ්ස් ගෑස් අඩුවෙයි●මිනිත්තු කිහිපයකින් සංචිත අහිමි වීමේ අවදානමක්? සයිබර් ආරක්ෂාව ගැන රවී ප්‍රශ්න කරයි●ඉන්දියාව පාකිස්තානය පරදවා 10 වැනි සාෆ් කුසලානය දිනයි!●විදේශිකයන් 5,000කට වීසා දුන් අබිරහස ගැන විමර්ශන ඉල්ලීම්●ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් පෙනෙන ඖෂධ වෙළෙඳපොළේ තරගකාරී රහස●සිනොපෙක් පසුබෑමෙන් පසු ලංකාවේ බලශක්ති සිතියම වෙනස් වෙයිද?●
Top Ad
සාහිත්‍ය - කලා

ලෙස්ටර් ගේ ලොකු ම විප්ලවය; 'රන් සළු'

Nethmini

Nethmini

November 18, 2026 • 12:33 PM

ලෙස්ටර් ගේ ලොකු ම විප්ලවය; 'රන් සළු'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමසිය හැට හතේ තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රන්සළු’ චිත්රපටයෙන් 60 දශකයේ කොළඹ නාගරික ඉහළ පන්ති සමාජය සහ බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය කෙබඳුදැ යි විමසනවා.
  • ලස්සනක් දැක්කම අපේ ඇතුළේ ඇතිවෙන ඒ තිගැස්ම ගැන කියවීමක්.
  • අවසන හිස් වන ජීවිතය ලෙස්ටර් මේ ගීතය යොදා ගන්නේ සිරිල් (ටෝනි) ගේ කතාව මැදට.
  • නාගරික සංකර සිරිල්ට එහි ඇති සුන්දරත්වය දැනෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

නමසිය හැට හතේ තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රන්සළු’ චිත්රපටයෙන් 60 දශකයේ කොළඹ නාගරික ඉහළ පන්ති සමාජය සහ බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය කෙබඳුදැ යි විමසනවා.

නිර්මාණයේ හදවත

කතා තේමාවට අනුව, සංයමයෙන් යුත් ආගමික නැඹුරුවක් ඇති සුජාතා (පුන්යා හීන්දෙණිය) සමඟ විවාහ ගිවිසගෙන සිටින නූතන පන්නයේ වැදගත් නමුත් සෙල්ලක්කාර (ඉහළ මධ්යම) තරුණයෙකු වන සිරිල් (ටෝනි රණසිංහ), එම සම්බන්ධය හදිසියේ අත්හැර නිදහස් ජීවන රටාවකට හුරු වූ සරෝජිනී (අනුලා කරුණාතිලක) සමඟ සබඳතාවක් පවත්වා ඇයව ගැබ්ගන්වනව. පසුව සිරිල් සරෝජිනීව ද අතහැර ධනවත් වැඩිහිටි කාන්තාවක් වෙත යන අතර, ඉන් අන්ත අසරණ වී සියදිවි නසා ගැනීමට පවා සිතන සරෝජිනීට සුජාතා පිහිට වී රැකවරණය සපයනවා. අවසානයේ දී චරිත දෙකෙහි ම පෙරළියක් සිදුවෙමින්, මුලින් මෙහෙණියක වීමට සිතා සිටි සුජාතා තරුණයකුට ආදරයෙන් බැඳෙන අතර අසරණව සිටි සරෝජිනී මෙහෙණි දිවියට යොමු වෙනවා. ලස්සන වැඩේ කියන්නේ මේ කතාවේ හදවත තියෙන්නේ එහි නෙවිල් ප්‍රනාන්දු ගයන පණ්ඩිත් අමරදේව තනු යොදා සංගීතවත් කළ මෙන්න මේ ගීතයේ යි. ගීතය රචනා කළේ බී. ටී. මෙන්ඩිස්.

බඳුන් පිරී ඉතිරෙන මී

ලඳුන ලවන් පුරා

නැගෙන ගීතේ රැඟුම කෙරේ

පවර ගිගුම් නුරා...

ලෙස්ටර් ජේම්ස් පීරිස්

කාන්තාවක ගේ මුවින් ගීයක් නැගෙනකොට අපට පේන්නේ ඇය ගේ දෙතොල් විතරක් නෙවෙයි. පේන්නේ මධුවිත පිරී ඉතිරිලා යන වීදුරු බඳුනක්. ගීතයත්, රැඟුමත් එක්ක අපේ මනස තුළ ඉහළ මට්ටමේ අනුරාගයක් නුරාවක් ගිගුරුම් දෙනවා වගේ දැනෙනවා. මෙතන තියෙන්නේ ලස්සන ගැහැනියක් ගැන කියවීමක් නෙවෙයි. ලස්සනක් දැක්කම අපේ ඇතුළේ ඇතිවෙන ඒ තිගැස්ම ගැන කියවීමක්. ඒක තමයි අනුරාගය.

අවසන හිස් වන ජීවිතය

ලෙස්ටර් මේ ගීතය යොදා ගන්නේ සිරිල් (ටෝනි) ගේ කතාව මැදට. ජවනිකාව තමයි සිරිල් සරා (අනුලා) එක්ක චිත්‍රපටයක් නැරඹීම. සරා චිත්‍රපටයේ ගීත දර්ශනයට ආශාක්තව බැඳී එය විඳිමින් ඉන්නවා. නාගරික සංකර සිරිල්ට එහි ඇති සුන්දරත්වය දැනෙන්නේ නැහැ. ඔහු කියන්නේ මොනවාද මේ විකාර කියලා… සිරිල් කවදාවත් බඳුන දිහා බලාගෙන රස වින්දේ නෑ. එයා හැම වෙලේම බඳුන බොන්න හැදුවා. බීලා ඉවර වුණාම, අලුත් බඳුනක් හෙව්වා. ඒකයි එයාගේ ජීවිතේ අන්තිමට හිස් වෙන්නේ.

සැන්දෑ වලා පෙළින් මිදී

පහන් සිලේ රැඳී

පාන මියුරු ලීලා

මැවී රැඟුම් අපේ...

මේ ජීවන රැඟුම කොච්චර ලස්සන ද කියනවා නම්, ඒක හරියට සැන්දෑ අහසේ වලාකුළුවලින් මැවෙන රටා වගේ. අපේම ජීවිතේ රැඟුම කැඩපතක් වගේ ඒකේ පේනවා. සැන්දෑ අඳුර පහවෙලා පහන් ආලෝකය වැටුණාම, ඒ රැඟුම තවත් විචිත්‍ර වෙනවා. ඒ කියන්නේ, අඳුරේ දී අපිට පෙනුනේ ආශාව විතරයි. එළිය වැටුණාම අපිට පේන්නේ ඒ ආශාව පසුපස ඇති කලාව, සෞන්දර්යය. සරෝජිනී/සරා (අනුලා) කියන්නේ ඒ අඳුරේ හිටපු ගැහැනිය. සිරිල් එයාව දැක්කේ ගීතයක් විදිහට නෙවෙයි, බොන්න පුළුවන් බඳුනක් විදිහට. එයා ගැබ්ගත්තම සමාජය (ඇයගේ බොදු පවුල් පසුබිම) එයාව අතහැරියා. එයා සියදිවි නසාගන්න හදන්නේ ඒ නිසා. ඒත් ෆිල්ම් එකේ ලස්සනම පෙරළිය තියෙන්නේ මෙතන. සරෝජිනී අන්තිමට මෙහෙණි දිවියට යන්නේ පරාජය වෙලා නෙවෙයි. එයා තමන්ව බඳුනක් කරගත්ත සමාජයෙන් මිදිලා, තමන් විශ්වාස (බෞද්ධ දර්ශනය) කරන මඟ හොයාගන්නවා.

ගීත නළු කලා පෙරපර යා නොවී බෙදී

සිතුම් පැතුම් මැදුම් මඟෙහී

රැඳී රසින් වෙලී...

ගීත, නළු, කලා කියන්නේ පෙරදිගට ද, බටහිරට ද කියලා බෙදෙන්න ඕන දේවල් නෙවෙයි. අධික කාමභෝගී බවට, ඒ කියන්නේ බටහිර පන්නයේ සාද සංස්කෘතියටත් නෙවෙයි, අධික තපස් බවටත් නෙවෙයි. සිතුම් පැතුම් මැදුම් මඟේ තියාගෙන, කලාව රස විඳින්න ඕන කියන එක තමයි ගීත රචකයා කියන්නේ.

බටහිර තර්කය පෙරදිග විඳීමට හැරවීම

මේක බෞද්ධ දර්ශනයේ මැදුම් පිළිවෙතට වැඩියෙන්ම කිට්ටුයි. ඒත් මේක තනිකරම බුදුදහම විතරක් නෙවෙයි. මේක පෙරදිග තව දර්ශන කීපයකට ම කිට්ටුයි. චීනයේ තාඕවාදය කියන්නේ හැමදේම ස්වභාවිකව ගලායන්න දෙන එක. බලෙන් අයිති කරගන්නේ නැතුව, බලෙන් අත්හරින්නෙත් නැතුව. ඉන්දියාවේ අද්වෛතය කියන්නේ ලස්සන දැක්කම ඇතිවෙන තිගැස්ම පිටින් එන දෙයක් නෙවෙයි, අපේ ඇතුළෙ ම තියෙන දෙයක් කියන එක. සූෆිවාදය කියන්නේ ගැහැනිය ගේ ලස්සන යනු දිව්‍යමය ලස්සනේ කැඩපතක්, ඒකට ළං වෙලා අයිති කරගන්න බෑ, දුරින් ඉඳලා විඳින්න විතරයි පුළුවන් කියන එක. අපරදිගින් මේකට වැඩියෙන්ම කිට්ටු වෙන්නේ බටහිර පන්නයේ පරිභෝජනවාදී සංස්කෘතිය ම නෙවෙයි, පුරාණ ග්‍රීසිය. ප්ලේටෝගේ Symposium එකේ කියනවා, ලස්සන ශරීරයක් දැක්කම ඇතිවෙන ආදරය පඩිපෙළක පළවෙනි පඩිය විතරයි කියලා, ඒකෙන් පටන් අරන් අන්තිමට ලස්සන කියන සංකල්පය වටහා ගැනීමටම යන්න ඕන කියලා. ඇරිස්ටෝටල්ගේ Golden Mean එක කියන්නේ හැම ගුණයක් ම තියෙන්නේ අන්ත දෙකක් මැද කියලා. ඒ වගේ ම ස්ටොයික්වරු කිව්වේ අපිට පාලනය කරන්න බැරි දේවල් ගැන දුක් වෙන්න එපා, පාලනය කරන්න පුළුවන් එකම දේ අපේ හිත විතරයි කියලා. අනිත් පැත්තෙන් එපිකියුරස් කිව්වේ අඩුවෙන් භෝග කරලා වැඩියෙන් සතුටු වෙන්න කියලා. ලෙස්ටර් කරන්නේ මේ ඔක්කොම එකට ගෙනල්ලා, අපේම භාෂාවෙන් කියන එක. බටහිර තර්කය පෙරදිග විඳීමට හරවන එක.

නෑර සිතු නොලා තම සතු ආර සුරකිනේ

දිගන්තයන් සෙයින් වෙන්වී සදා බැතින් වැඩී...

සිත වෙනස් කරගන්නේ නැතුව, තමන්ගේ ස්වභාවය, ගෞරවය/ආර රැකගෙන ඉන්න එක. අහසයි පොළොවයි කෙළවර වෙන දිගන්තයක් වගේ, දුරස්ව ඉඳලා, ඒත් සදා බැඳීමකින්, බැතියකින් ජීවත් වෙන එක. අයිති කරගන්නේ නැතුව, දුරින් ඉඳලා රස විඳින එක. සුජාතා (පුණ්‍යා) තමයි මේ හැඟීම ඇත්තට ම ජීවත් කරවන්නේ. මුලින් මෙහෙණියක් වෙන්න හදපු, සංයමයෙන් ඉන්න ගැහැනිය. හැමෝම හිතන්නේ එයා තමයි බෞද්ධ චරිතය කියලා. ඒත් ලෙස්ටර් ඒක උඩු යටිකුරු කරනවා. සුජාතා සරෝජිනීට පිහිට වෙලා, එයාව රැකගන්නවා. ඒක තමයි ඇත්ත බෞද්ධ කරුණාව. පන්සලට වෙලා ඉන්න එක නෙවෙයි, අසරණ වෙච්ච කෙනෙක්ව බදාගන්න එක. අන්තිමට සුජාතා තරුණයෙකුට ආදරයෙන් බැඳෙනවා. ඒක ලෙස්ටර් ගේ ලොකුම විප්ලවය. සංයමය කියන්නේ ආදරය නැති කරගන්න එක නෙවෙයි. සංයමය කියන්නේ ආදරය හරියට තේරුම් අරන්, මැදින් විඳින එක කියලා ලෙස්ටර් කියනවා.

 1967 වසර 2026 වසරට අදාළ වීම

'ගීත නළු කලා පෙරපර යා නොවී බෙදී' මෙතැන කියන පෙරපර යනු පෙරදිග හුරුව යි අපරදිග හුරුව යි. සංස්කෘතිකව ගත්තත් සුජාතාට සරාට මේ ප්‍රතිවිරෝධයට මුහුණ දෙන්න වෙනවා. සුජාතා ජීවන විලාස පෙරදිගට තියාගත්තත් සරා බටහිර පන්නයට ආශාක්තව සිටීමට කැමතියි. යා නොවී... කියන්නේ දෙදෙනා ගේ අන්ත දෙක. නෙවිල් ප්‍රනාන්දු ගේ බටහිර උරුවෙ හඬින් මේ ගීතය ගැයෙනකොට, අමරදේව ගේ පුරුදු සංගීත හැඩය වෙනස් වෙලා තියෙන්නෙත්, ඒ නිසාම වෙන්න ඇති. 1967 දී එයා මේක කිව්වේ කොළඹ ඉහළ පන්තියට. 2026 දී මේක අදාළ වෙන්නේ අපි හැමෝටම. අපිත් දැන් ජීවත් වෙන්නේ ඒ අන්ත දෙකේම තමයි. එක පැත්තකින් හැමදේම ඕවර් සෙක්ෂුවලයිස් කරලා විකුණන එක, අනිත් පැත්තෙන් හැමදේම තහනම් කරලා, ඈත් කරලා මොරල් පොලිස් හදාගන්න එක. මේ ගීතය කියන්නේ ඒ දෙකම නෙවෙයි, මැද තමයි කලාව, මැද තමයි ජීවිතය කියලා.

උපුටා ගත්තේ Shiranjith Nishantha Gammudhuwattaගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...