තලංගම පොතුආරාව පාර අකුරේ ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට ඉකුත් (13) සිදු වූ අඹු සැමි යුවළ ඝාතනය මෙම වසරේ සිදු වූ ප්‍රථම ද්විත්ව ඝාතනය බව පොලිසිය සඳහන් කරයි.
ඊට පසු දින ඊයේ රාත්‍රී(14) විනාඩි 30 ක් තුළදී වෙරළ බඩ සහ කළුතර උතුර පොලිස් වසම්ලදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර ප්‍රහාරක්ව ඝාතනයට ලක් වූ බව පොලිසිය කියයි.
මේ දක්වා වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් සඳහන්කරයි.
තැන තැන වෙඩි තබන යුගය ඉවර කරන වේගය වැඩි කරන්න
මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ රජයේ වෑයම තවත් වැඩි කළ යුතු බවයි.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය මෙසේද කියයි.
'' සාහසිකයින්ගේ ප්‍රහාරයට ලක්ව අප අතරින් වියෝවූ බුද්ධික මල්ලවආරච්චි වෘත්තීය සහෝදරයා සහ ඔහුගේ බිරිඳගේ වියෝව පිලිබඳ ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස අපි දැඩි සංවේගයට පත්වන්නෙමු.
පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ එම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
දහවල් කාලය තුළ සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන වටපිටාවක ආයුධ සන්නද්ධව පැමිණ නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වර්තමාන රජය එකී අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වන වේගයටත් වඩා වැඩි වේගයකින් කටයුතු කළ යුතු බව මෙකී සිදුවීම පසක් කරයි.
එයට හේතුව මෙකී සිදුවීමේ වින්දිතයා වන්නේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වීම හේතුවෙන් පමණක්ම නොව එය මෙරට පුරවැසියන් දෙදෙනෙකුට එල්ල වූ කුරිරු හා අමානුෂික ප්‍රහාරයක් නිසාවෙනි.
එමෙන්ම ප්‍රශ්නය තම පරිදියට ඇතුළු නොවන තාක් විචිත්‍ර සංකල්ප ගෙනහැර දැක්වීම කළ හැකි වුවද ප්‍රශ්නය තම පරිදියට පැමිණි පසු එහි බරපතළකම සේම ජීවිතය පිළිබඳව තැති ගැන්ම සියලු දෙනා කෙරෙහි පවතී.
මන්ද පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ ඉලක්කය විටක මාධ්‍යවේදියෙකි. විටක පොලිස් නිලධාරියකි. විටක විනිසුරුවරයකි. පසුගිය සිකුරාදා දිනයේදී පසක් කළේ එකී ඉලක්කය විටෙක නීතිඥවරක් වුවද විය හැකි බවයි. එය හෙට කුමන වෘත්තියක් ඉලක්ක කර ගනු ඇත්ද යන්න උපකල්පනය කළ හැකි නොවේ.
නමුත් නිතැතින්ම නීතිඥවරු ලෙස අප පසක් කරන්නේ රාජ්‍යයට එකී වගකීමෙන් මිදිය නොහැක්කා සේම යුක්තිය පසිඳලීමේ සහ ඒ වෙනුවෙන් සිදුකරන විමර්ශන මෙන්ම පූර්ව අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදවල දැති රෝද අන් සැමදාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මකවීම සිදුවිය යුතු බවයි.
සියලු පුරවැසියන්ගේ ගෞරවය හා යහපත් ජීවිතයක් වෙනුවෙන් පත් කරන ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තම වගකීම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙකී ක්‍රියාව සම්බන්ධයෙන් නිසි උද්යෝගයෙන් යුතුව කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කොට අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.''
(උපුටා ගැනීම අවසන් )
නීතිඥයා-බිරිය ඝාතකයන් ආ මෝටර් රථයට ගිනි තියලා
තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන මෝටර් රථය ගාල්ල අගලිය මුල්කඩ පාලම ආසන්නයේ කුට්ටියාවත්ත අතුරු මාර්ගයේ ගිනි ගනිමින් තිබියදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඝාතනය ට ලක් වූ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඩඩ්ලිව් ඒ නිසංසලා අකුරේගොඩ සුපිරි වෙළඳ සැලක්ඉදිරිපිටදී ඊයේ (14) ටි 56 ගිනි අවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඝාතකයන් පැමිණී මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් එය ගිනිගෙන දැවීමෙන් තිබූ බව පොලිසිය කියයි.
විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙම ඝාතනය මෙහෙයවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.




