(ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයන්හිදී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන බොහොමයක් රටේ ආර්ථික ධාරිතාව ඉක්මවා ගිය හිස් පොරොන්දු බවත්, බලය ලබාගැනීමෙන් අනතුරුව කුමන පාලකයෙකුට වුවද මුහුණ දීමට සිදුවන්නේ ප්‍රායෝගික ආර්ථික යථාර්ථයට බවත් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක ප්‍රකාශ කරයි.)
මෙරට නිදහසින් පසු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන, සුබසාධන රාජ්‍යය සහ විවෘත ආර්ථිකයේ විකාශනය පිළිබඳ ඓතිහාසික විග්රහයක නිරත වන දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පෙන්වා දෙනේනෙ, බලයට පත්වන සෑම ආණ්ඩුවකටම, ඔවුන් මැතිවරණයට පෙර ජනතාව ඉදිරියේ ලබා දෙන බොරු පොරොන්දු වලට එහා ගිය සැබෑ යථාර්ථයට මුහුණ දීමට සිදුවන බවයි. හෙතෙම ඒ බව පවසා සිටියේ, BlindSpot දේශපාලන සංවාද මාලාව ඔස්සේ මාධ්‍යවේදී බිඟුන් මේනක සමග පැවති සාකච්ඡාවකදී ය.
"නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසිය"
සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විපුල කරුණාතිලක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මැතිවරණ යනු "නොපවතින සම්පත් පිළිබඳ කෙරෙන වෙන්දේසියක්" බවයි.
1948 නිදහස ලබන විට මෙරට ජනගහනය මිලියන 8ක් පමණ වූ බවත්, 1952 පමණ වන තෙක් පැවති කොරියානු යුද සමයේ වෙළඳ වාසිය නිසා ගෙවුම් ශේෂ අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කළේය. කෙසේවෙතත්, ඉන් අනතුරුව බලය ලබාගැනීමේ තරගය නිසා ආර්ථිකයට දරාගත නොහැකි මට්ටමින් නොමිලේ හා සහන මිලට හාල් සේරු දෙකක් ලබාදීම වැනි සුබසාධන පොරොන්දු දේශපාලනඥයන් විසින් ජනතාවට ලබාදුන් බව හෙතෙම පැවසීය. 1953 හර්තාලය ඇතිවූයේද ඩඩ්ලි සේනානායක රජය මෙම දරාගත නොහැකි සහනාධාර කපාහැරීමට උත්සාහ කළ අවස්ථාවේදී බව ඔහු පෙන්වා දුන්නේය.
සංවෘත ආර්ථිකය, අධ්‍යාපන ප්‍රසාරණය සහ 71 තරුණ කැරැල්ල
1956 බණ්ඩාරනායක යුගයේදී බිහිවූ "සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු" සමාජ ව්‍යාපාරය බ්‍රිතාන්‍යයේ ෆේබියන් සමාජවාදී (Fabian Socialism) සුබසාධන මොඩලය මත පදනම් වූ බව විපුල කරුණාතිලක මහතා පැහැදිලි කළේය. ඒ අනුව ඛනිජ තෙල්, රක්ෂණ සහ බස් සමාගම් 17ක් රජයට පවරා ගනිමින් රාජ්‍ය ව්‍යවසායකත්වය ප්‍රසාරණය කළ බව හෙතෙම පැවසීය.
නිදහස් අධ්‍යාපන පනත හා මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය හරහා විශාල උගත් පරපුරක් බිහිවුවද, සංවෘත රාජ්‍ය ආර්ථිකය තුළ ඔවුන්ට සුදුසු රැකියා උත්පාදනය කිරීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේය. ඒ හේතුවෙන් 1970 දශකය වන විට උපාධිධාරී හා උසස් පෙළ සමතුන් අතර විරැකියාව 20%–25% දක්වාද, ඌන සේවා නියුක්තිය 40%–60% දක්වාද ඉහළ ගිය බවත්, එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස 1971 ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ල පුපුරා ගිය බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ඩඩ්ලි සියර්ස් (Dudley Seers) වාර්තාව මගින් වෘත්තීය අධ්‍යාපනය (වඩු, ලෝහ, මෝටර් කාර්මික) පාසල්වලට හඳුන්වා දීමට උත්සාහ කළද, සුදු කරපටි රැකියා බලාපොරොත්තු වූ සමාජය ඊට දැඩි විරෝධයක් දැක්වූ බවද ඔහු සිහිපත් කළේය.
1977 විවෘත ආර්ථිකය සහ ජේ.ආර්.ගේ උපායමාර්ගය
1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත්වන විට රට හමුවේ තිබූ බරපතළම අභියෝගය විරැකියාව විසඳීම සහ ධන උත්පාදනය බව විපුල ප්‍රකාශ කළේය.
බොහෝ දෙනා චෝදනා කළද, ජේ.ආර්. ජයවර්ධන මහතා රජය සතු කිසිදු ප්‍රධාන බැංකුවක්, රක්ෂණ සංස්ථාවක් හෝ ප්‍රවාහන ඩිපෝවක් පෞද්ගලීකරණය නොකළ බවත්, ඔහු සිදු කළේ රාජ්‍ය අංශය සමග තරග කිරීමට පෞද්ගලික අංශයට වෙළඳපොළ විවෘත කරදීම පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය. රාජ්‍ය ආදායමෙන් 30%–40%ක් ගිලගත් විශ්ව සහනාධාර වෙනුවට අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා වූ "ආහාර මුද්දර" ක්‍රමය හඳුන්වා දෙමින් රාජ්‍ය වියදම් පාලනය කළ බවද ඔහු සඳහන් කළේය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළඳ කලාප සහ මැදපෙරදිග රැකියා සඳහා දොරටු විවර කිරීම මගින් තරුණ විරැකියාවට ක්ෂණික විසඳුම් ලබාදීමට ජේ.ආර්. පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රේමදාස යුගයේ සැබෑ පෞද්ගලීකරණය සහ ජනසවිය
1988–89 භීෂණ සමයෙන් පසු බලයට පත් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තරුණ අතෘප්තිය පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ බව ද සිහිපත් කළේය.
රාජ්‍ය වියදම් අවම කරගැනීම සඳහා සතොස මෝටර්ස්, යුනයිටඩ් මෝටර්ස්, බී.සී.සී. සහ ප්‍රීමා වැනි ලාභ ලබන ආයතන පවා කොටස් වෙළඳපොළ හරහා සැබෑ ලෙස පෞද්ගලීකරණය කිරීම (Peoplisation) ඇරඹුවේ ප්‍රේමදාස මහතා බව ඔහු සඳහන් කළේය.
එසේම දුප්පත්කම පිටුදැකීම වෙනුවෙන් හකුරුගල වැනි ප්‍රදේශවලින් ඇරඹි "ජනසවිය" ව්‍යාපාරය අතිශය විධිමත් හා කාර්යක්ෂම සහනාධාර වැඩපිළිවෙළක් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ප්රතිපත්තිවල අඛණ්ඩතාව සහ විවෘත ආර්ථිකය ඉදිරියට ගෙනයාම
1994දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය "මානුෂීය මුහුණුවරක් සහිත ධනවාදයක්" ගැන පවසමින් බලයට පැමිණියද, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම (PERC) පිහිටුවා ටෙලිකොම් ආයතනය පවා පෞද්ගලීකරණය කරමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගිය බව ඔහු සඳහන් කළේය.
අනතුරුව මහින්ද රාජපක්ෂ මහාමාර්ග හා යටිතල පහසුකම් දියුණු කළ අතර, 2015 රජය යහපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ බවත්, ආණ්ඩු මාරු වුවද ආර්ථික ප්රතිපත්තිවල මූලික අඛණ්ඩතාවක් (Policy Continuity) පැවති බවත් ඔහු පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය හා සමාජ දර්ශකවල ජයග්‍රහණ රැකගැනීමේ වැදගත්කම
ලෝකයේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව නොමිලේ සෞඛ්‍ය සේවාව, පිළිකා, ස්නායු හා විකලාංග වැනි විශේෂඥ ඒකක දිවයින පුරා ව්‍යාප්ත කරමින් විශිෂ්ට සෞඛ්‍ය දර්ශක අත්පත් කරගෙන ඇති බව පෙන්වා දුන්නේය.
ඉන්දියාව, පකිස්ථානය හෝ ඉන්දුනීසියාව වැනි රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ මුදල් නොමැති කම නිසා රෝහල්වලින් රෝගීන් ප්‍රතික්ෂේප නොවන බවත්, බටහිර රටවලින් පවා මෙරටට පැමිණ ප්‍රතිකාර ලබාගන්නා මට්ටමේ වෛද්‍ය ප්‍රගතියක් රට තුළ පවතින බවත් ඔහු පැවසීය.
මෙම පද්ධති විනාශ වීමට නොදී ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බවද හෙතෙම අවධාරණය කළේය.
වත්මන් මාලිමා පාලනය, IMF වැඩසටහන සහ ප්‍රායෝගික යථාර්ථය
ජාතික ජන බලවේගය (මාලිමාව) පසුගිය දශක කිහිපය පුරා වාමාංශික හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විරුද්ධ මතවාදයක සිටියද, ආණ්ඩු බලය භාරගත් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම (EFF) සමග ඉදිරියට යාමට තීරණය කිරීම ධනාත්මක සහ ප්‍රායෝගික ප්‍රවේශයක් බව විපුල කරුණාතිලක ප්‍රකාශ කළේය.



