ඔහු සබරගමුවේ ප්‍රබල නින්දගම් හිමි ප්රභූවරයෙකි. ඉද්දමල්ගොඩ පරපුරට මඩුවන්වෙල, එක්නැළිගොඩ, මහවලතැන්න, මොළමුරේ සහ එල්ලාවල වැනි ප්‍රභූ පවුල් සමඟ ඥාති සම්බන්ධතා තිබිණි.
මේ සඳහන් කරන කාල වකවානුව ක්‍රි.ව.1870 වසරයි. එකල එංගලන්තයේ රජකම් කළේ වික්ටෝරියා මහ රැජින ය. ඇගේ වැඩිමහල් පුතු වන එඩ්වඩ් කුමාරයා එවකට එඩින්බරෝ හි ආදිපාද ධූරය දැරීය. 1870 දී එඩ්වඩ් කුමරු තමන්ගේ යටත් විජිත රාජ්‍යයක් වූ ලංකාවට සංචාරයක් සඳහා පැමිණි අතර කුමරු ඇතුළු පිරිසගේ විනෝදාස්වාදය තකා ඉද්දමල්ගොඩ නිලමේ විසින් ඇත්ගාලක් සංවිධානය කරනු ලැබිණි. ලබුගම දී පවත්වන ලද එම ඇත්ගාල සංවිධානය කළේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ සමග එක්නැලිගොඩ දිසාව විසින් බව සඳහන් වේ.
මේ කාලයේ විලියම් මඩුවන්වෙල රටේ මහත්තයා වයස අවුරුදු විසිහයක තරුණයෙකි. මෙම ඇත්ගාල දැක බලා ගන්නට මඩුවන්වෙල රටේ මහත්තයාට ද ආශාවක් ඇතිවී තිබිණි. ඔහු තමන්ගේ එල්ලාවල ඥාති පරම්පරාවට අයත් ජේ.ටී. එල්ලාවල සමග එම දිනවල ලබුගම නතර විය.
පනාමුරේ නගරය
ඇත්ගාල නරඹන්නට පැමිණි එඩ්වඩ් කුමාරයාට ඉද්දමල්ගොඩ නිලමේගේ දියණිය වූ ඉද්දමල්ගොඩ පුංචි කුමාරිහාමි දැක ඇය පිළිබඳ සිතක් පහළ වූ බව ද සඳහන් වේ.
කෙසේ වුවද ලබුගම ඇත්ගාල දැක බලා ගැනීමෙන් පසු මඩුවන්වෙල රටේ මහත්තයාටත් ඇත්ගාලක් පැවැත්වීමේ අදහසක් ඇතිවිය. ඉන්පසුව 1880 දශකයේදී මඩුවන්වෙල රටේ මහත්තයා, එල්ලාවලගේ ද උපදෙස් මත අලි ඇතුන් ගාල් කිරීමට සුදුසු ස්ථානයක් සොයා කොළොන්න කෝරළයෙහි තම නින්දගම්වල විපරම් කළේය. එල්ලාවල රටේ මහත්තයා ද ඔහුට සහාය විය.
මඩුවන්වෙලට යාබදව පිහිටි පැරණි ගමක් වූයේ "කෑල්ල" ය. ඊටපසුව පනාමුර හමු වෙයි. අක්කර දහස් ගණන් වූ මෙම ප්‍රදේශ එවකට වනගත ව පැවති අතර මිනිස් ජනාවාස පැවතියේ මඩුවන්වෙල, කෑල්ල, කොලොන්න වැනි සීමිත ප්‍රදේශ කිහිපයක පමණි.
නොසිඳෙන දිය උල්පත අසල කිතලබොකු ඔය
මඩුවන්වෙල වලව්වේ සිට දළ වශයෙන් කිලෝමීටර් අටක පමණ දුරකින් නොසිඳෙන දිය උල්පතක් සහිත ස්ථානයක් හමුවේ. මෙම දිය උල්පත වර්තමානයේ ද ඒ ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය වන්නේ නියඟයකටවත් එහි වතුර නොසිඳෙන නිසා ය. මෙකල එම ප්‍රදේශයේ ජනතාව එය "නලියන උල්පත" ලෙසින් ද හඳුන්වති. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ එම ස්ථානයට ගොස් කිසියම් ශබ්දයක් නැගූ විටෙක පවා නිසලව තිබෙන එහි ජලයෙහි චංචල ස්වභාවයක් ඇතිවන නිසා ය. මෙම නොසිඳෙන උල්පත අපේ රටේ තිබෙන විශාලතම දිය උල්පත් අතරින් එකක් ලෙස ද සැලකේ. මෙය පිහිටි ප්‍රදේශය අයත් වන්නේ පනාමුරේ ට ය.
කොලොන්න පැත්තේ සිට ගලා එන ඇරෑපෝරුව ගඟ හරස් කර කිතලබොකු ඔයට හරවා ඇති අතර මඩුවන්වෙල ප්‍රදේශය හරහා ගලා බසින කිතලබොකු ඔයේ තැනින් තැන අමුණු බැඳ කුඹුරු අස්වැද්දීම සඳහා වතුර ලබා ගැනේ. ඇරෑපෝරුව ගඟ දිගටම ගලා ගොස් රක්වාන ගඟට වැටෙන්නේ එහි අතු ගංගාවක් ලෙසිනි. කිතලබොකු ඔයෙන් පිළිවෙළින් මුංවතු යාය, තඹලවෙල යාය, ඇත්ගාල යාය, පනාමුර යාය, කරඳකැටිය යාය, අඹගහ ඇල යාය, හිඟුරආර යාය, මොදරවාන යාය වශයෙන් කුඹුරු අක්කර එක්දහස් අටසීයක් පමණ ප්‍රමාණයක් වගා කෙරේ. මෙසේ ගලා යන වතුර ඇඹිලිපිටිය - සූරියකන්ද මාර්ගයේ ඇඹිලිපිටිය සහ පනාමුර අතර තුනේ කණුව ආසන්නයෙන් හුලංදාව ඔයට වැටේ. ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව සාදා ඇත්තේ හුලංදාව ඔයෙන් වතුර ලබා ගනිමිනි. මේ කීවේ වර්තමානයට අයත් කතාවකි.
කිතලබොකු ඔයට යාව පනාමුරේ දිය උල්පත පිහිටියේය. නමුත් මීට වසර තිහ හතළිහකට කලින් ගඟේ වතුර උල්පත දෙසට හරවා අනවසර මැණික් ගරන්නන් විසින් ගඟේ මැණික් ගැරීම සිදුකොට ඇති නිසා ඔයෙන් කොටසක් ගලා බසින්නේ උල්පත හරහා ය. ගම්මුන් විසින් මෑත කාලයේ බැම්මක් ගසා මෙය වෙන් කළත් මහා වැසි වසින ලද කාලයක එම බැම්මද කඩාගෙන වතුර පාර සැරට ගලායාම නිසා අද වන විට එය නැවතත් පෙර තිබූ තත්ත්වයටම පත්ව තිබේ.
චන්ද්‍රිකා වැව
මේ සඳහන් කළේ නොසිඳෙන දිය උල්පතෙහි වර්තමානය ගැනයි. මඩුවන්වෙල රටේ මහත්තයාගේ කාලයෙහි පනාමුර යනු ඔහුට පරම්පරාවෙන් හිමිවූ නින්දගමකි. එය එම පරපුරේ මඩුවන්වෙල රටේ මහත්තයාට පරම්පරා පහකට කලින් සිටි මඩුවන්වෙල මොහොට්ටාලට ප්රදානය කර තිබුණේ එකල කන්ද උඩරට රාජ්‍යයේ රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි ව. 1707- 1739) රජතුමා ය.
මෙම නොසිඳෙන දිය උල්පත ඇතුළු අක්කර ගණනාවක ප්‍රදේශය එකල මහ වනයකි. මේ නින්දගම්වල වන අලින් විශාල වශයෙන් වාසය කළ අතර එකල නොසිඳෙන දිය උල්පතින් වතුර බීමටත්, කිතල බොකු ඔයෙන් දිය නෑමටත් දිවා කාලයේ වන අලි එක්රොක් වූහ. විශේෂයෙන් නොසිඳෙන දිය උල්පතෙහි ජලයේ පැවති ස්වභාවික කිවුල් රසයට අලින් ඉතාමත් කැමති ය. ඒ කොතෙක්ද යත් එකල පනාමුරේ සිට සැතපුම් ගණනක් දුරින් පිහිටි හම්බෙගමුව, වස්ගමුව, කහකුරුල්ලන්පැලැස්ස, බලහරුව, උඩවලවේ වැනි ප්‍රදේශවලින් පවා මෙම දිය උල්පතින් වතුර බොන්නට අලින් පැමිණ තිබිණි. පසුකාලීනව උඩවලවේ ජලාශය සෑදීමෙන් පසු දැන් පනාමුරේ දිය උල්පතට අලින් එන්නේ නැත.
මඩුවන්වෙල දිසාව
මඩුවන්වෙල සහ එල්ලාවල යන රටේ මහත්වරුන් කොලොන්න ප්‍රදේශයේ ඇත්ගාලක් පැවැත්වීම සඳහා විපරම් කරද්දී මෙම නොසිඳෙන දිය උල්පත සහිත ප්‍රදේශයට වන අලින් විශාල වශයෙන් සංක්‍රමණය වන බව ඔවුන්ට නිරීක්ෂණය විය. ඇත්ගාලක් පැවැත්වීමට මෙය ඉතාම සුදුසු ප්‍රදේශය බව ඔවුහු තීරණය කළහ. මඩුවන්වෙල රටේ මහත්තයා විසින් තම පළමු ඇත්ගාල වර්ෂ 1896 දී පනාමුරේ දී සංවිධානය කරනු ලැබුවේ එලෙසිනි. ඒ පනාමුරේ පළමු ඇත්ගාල වෙයි.
තවත් කොටසක් ලබන සතියේ
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - පනාමුරේ අරුණ ගමගේ සහ අන්තර්ජාලය