විභාග වංචාවක් හා මුදල් වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවතින විදුහල්පතිවරයකු පරීක්ෂණ අවසන් වීමට පෙර නැවත සේවයේ පිහිටුවීම

සම්බන්ධයෙන් විරෝධය පළ කරන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි.

ලංකා ගුරු සංගමය පවසන්නේ මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ 2020 වසරේ පැවති උසස් පෙළ විභාගයේ දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය අවභාවිත කරමින් සිදු කරන ලද විභාග වංචාවක් හේතුවෙන් ඔහු පාසලෙන් ඉවත් කර පාසල් භූමියට ඇතුළු වීමද තහනම් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි.

එසේම මෙම විදුහල්පතිවරයා විසින් පාසලේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් පවතින බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ, පාසලක ගිණුම් 3 ක් පමණක් පවත්වා ගත යුතුව තිබියදී ජයන්ත වික්‍රමසිංහ විදුහල්පතිවරයා අනීතික ලෙස තොරතුරු තාක්ෂණ ඒකක ගිණුම යනුවෙන් පාසලේ ගිණුම් 5 ක් පවත්වාගෙන ගොස් ඇති අතර දූෂිත ආකාරයෙන් ගණුදෙනු සිදුකර ඇති බවයි.

 

''මෙම ගිණුම්වල අත්සන් කිරීමේ බලය යොදා ඇත්තේ විදුහල්පතිවරයා හා වෙනත් බාහිර පුද්ගලයන්ය. St. Mary's Charity Association  නමින් පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු ගිණුමේ රුපියල් කෝටියක මුදලක් ඇති අතර, එම ගිණුමේ පොලිය මාසිකව මෙම විදුහල්පතිවරයාගේ පෞද්ගලික ගිණුමට බැරවන ආකාරයෙන් කටයුතු කර ඇත.''

 

චෝදනාවට ලක්ව සිටින විදුහල්පතිවරයාට ඇති මුල්‍ය චෝදනා කිහිපයක්ම ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

''පාසලේ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට පාසලේ එක් ළමයෙකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇති අතර, එම මුදල් භාවිත කළ ආකාරයක් නැත. පෞද්ගලික දානපතියකු විසින් ඉඩමක් විකුණා පාසලේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් කෝටියක මුදලක් ලබා දී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ද සිදු වූ දෙයක් නැත. ඒ පිළිබඳව දැනගැනීමට හැකි වී ඇත්තේ පරිත්‍යාගය කළ පුද්ගලයා විසින් පසුගිය කාලයේ වැඩබැලූ විදුහල්පතිවරියගෙන් ඒ පිළිබඳව කළ විමසීමේ දී ය. එසේම දිනපතා පාසලට ප්‍රමාද වී පැමිණෙන සිසුන්ගෙන් රු.150-250 දක්වා මුදලක් මෙම විදුහල්පතිවරයා විසින් දඩමුදල් ලෙස එකතු කර ඇති අතර, එම මුදල්වලට සිදු වූ දෙයක් නැත.''

මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කර සිටි කාලයේ ළමුන් ඇතුළත් කිරීමේදී පරිත්‍යාග ලෙස සිය කැමැත්තෙන් දෙමාපියන් විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර, වැඩබනල විදුහල්පතිවරිය විසින් එම මුදල් නිසි ලෙස ගිණුම්ගත කර ඇති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ, ඊට පෙර චෝදනාලාභී විදුහල්පතිවරයා විදුහල්පති ධූරයේ කටයුතු කරද්දී එලෙස පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් ගිණුම් ගත කර නොමැති අතර, එම මුදල් වංචා කර ඇති බව පෙනී යන බවයි.

 

ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා පවසන්නේ එසේ තිබියදීත් පෙබරවාරි 9 වැනි දින රාත්‍රී 8.30 ට පමණ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු  විසින් පාසලේ වැඩබලන විදුහල්පතිවරිය වන මනිලා පෙරේරාගේ නිවසට ගොස් බලහත්කාරයෙන් යතුරු ලබාගෙන පාසලේ ලොග් සටහන් පොතේ සටහනක් ද තබා මෙම විදුහල්පතිවරයා නැවත පාසලේ විදුහල්පති ලෙස පත් කර ඇති බවයි.

 

මෙය බරපතල අනීතික ක්‍රියාවක් බව අවධාරණය කරන ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා වැඩි දුරටත් අවධාරණ්‍ය කරන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මෙවර අපොස උසස් පෙළ විභාගයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන අතර, විභාග වංචනිකයෙකු සමග විභාග නීතිරීති උල්ලංඝණය කරමින් මෙම විදුහල්පතිවරයා සේවයේ පිහිටුවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බවයි.

මේ තත්වය තුළ මෙම සේවයේ පිහිටුවීම වහා අවලංගු කර මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්