මංගල සමරවීර කිසිදිනෙක සිය ප්‍රතිපත්ති පාවා නොදුන් ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.



ඔහු එබව සඳහන් කලේ දිවංගත මංගල සමරවීර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අද (11) දිනය පුරා පැවැත්වෙන ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.

''මංගල සමරවීර මැතිතුමා ඇත්ත වශයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ හිටපු අපූරුම චරිතයක්. එතුමා ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක ව තමන්ගේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරපු පුද්ගලයෙක්. ස්ථිර ප්‍රතිපත්තියක ඉඳගෙන ස්ථිර ස්ථාවරයක ඉඳගෙන මොනම ආකාරයකින්වත් නොසැලී කාටවත් දෙවැනි වන්නේ නැතුව ඒ තමන් විශ්වාස කරපු ප්‍රතිපත්ති අකුරටම පිළිපදින්න ට එතුමා කටයුතු කළා.

මොනම ආකාරයකින්වත් එතුමා දරපු දේශපාලන ප්‍රතිපත්තිය, සමාජ ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය ඒ වගේම අන්තර්ජාතික විදේශ ප්‍රතිපත්තීන් එතුමා ඒවා වෙනස් කළේ නැහැ. ඒ නොවෙනස් වීම තුළ  යම් යම් අවස්ථාවන් වලදී දේශපාලන හැල හැප්පීම් මත ගැටුම් විවිධාකාර වූ මත මතාන්තර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

 

මොනම  අවස්ථාවකදීවත් තනතුරු මත යැපුණ චරිතයක් නෙමෙයි මංගල සමරවීර මැතිතුමා. තමන්ගේ ප්‍රතිපත්තියට අනුකූලව, ඒ දර්ශනයට අනුකූලව ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක නොවු නා නම් මොහොතකටවත් එතුමා එතන රැඳී සිටියේ නැහැ. ඒ ගුණාංගය අගය කරනවා. හෘද ශාක්ෂියට එකඟව එතුමා හැමවිටම වැඩ කළා.

 

මේ නිසා ජනතාව තුළ ජන සමාජයේ විවිධ තලයන් තුළ එතුමා ලොකු විශ්වාසනීයත්වයක් ගොඩනැගුවා. මහජන පිළිගැනීමකට එතුමා ලක්වුණා. සමහරෙක් එතුමා දරපු මතිමතාන්තර සමඟ එකග උනේ නැහැ . නමුත් ඔහු හිටපු තිරසාර ප්‍රතිපත්ති වල ස්ථිර තැනක ඉඳගෙන කටයුතු කරපු ආකාරය බොහෝ දෙනා ඇගැයීමකට ලක් කරා.

මංගල සමරවීර මැතිතුමා මනා ආර්ථික කළමනාකරණය පිළිබඳව ලොකු විශ්වාසයක් තැබුවා. විශේෂයෙන්ම  මුදල් අමාත්‍යවරයා හැටියට සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳව එතුමා ලොකු විශ්වාසයක් තිබ්බා. විශේෂයෙන්ම ආර්ථික වර්ධන වේගය  ඉහල දැමීම, උද්ධමනය අවම කිරීම, ත්‍රිත්ව හිඟ තාවයෙන් තොරව ආර්ථිකය මෙහෙවීම, විදේශ සංචිත ඉහළ මට්ටමක පවත්වාගෙන යාම, අපනයන කේන්ද්‍රීය ආර්ථික රටාවක් තුළ නූතනවාදයට නව තාක්ෂණයට කෘතිම බුද්ධිය ට තොරතුරු තාක්ෂණ පරිගණක විද්‍යාවට මුල්තැන ලබා දීලා රට ගොඩනැගීම මේ යනාදී වශයෙන් වැදගත් නූතනවාදී සංකල්ප අනුගමනය කරමින් රටක සාර්ව ආර්ථික විචල්‍ය පරිණත මෙහෙයවීම තුළ රටක් ගොඩ නැගිය යුතු ආකාරය පිළිබඳව එතුමා ලොකු විශ්වාසයක් තැබුවා.  

ඒ වගේම  එතුමා හැම අවස්ථාවකදීම එතුමා වෙත එල්ල කරපු ඒ විවිධ චෝදනාවලට විවේචන වලට එතුමා සෘජුවම පිළිතුරු ලබා දුන්නා.

 

සෘජු භාවය කියන ගුණ අංගය මංගල සමරවීර මැතිතුමාගේ මේක ඇඟේ තිබුණ දෙයක්. කිසිම දේකට මොනම ආකාරයකින්වත් එතුමා බිය වුණේ නැහැ .  එඩිතර චරිතයක්. විවේචන වලට චෝදනා වලට බොහොම එඩිතරව සෘජුව පිළිතුරු ලබා දෙන්නට එතුමා හැම අවස්ථාවකදිම උත්සුක වුණා.

 

අපිට මතකයි විවිධ මාධ්‍යන් එතුමාගේ ක්‍රියාකලාපයන් විවේචනයට ලක් කරන කොට එතුමා ඒ හැම දෙයක්ම හොද හිතින් බාර ගත්තා. කිසිම දවසක චෝදනා එල්ල කරපු කණ්ඩායම් වලට පහර දෙන්නට ගියේ නැහැ. මර්දනය කරන්නට ගියේ නැහැ. සමහර අවස්ථාවල දී ධනාත්මක හරාත්මක විවේචනවලින්  යම් පාඩම් ඉගෙන ගෙන එතුමා යම් යම් සංශෝධනය කිරීමටත් පැකිලුනේ නැහැ. 

මංගල සමරවීර මැතිතුමා කිසිදාක තමන් විවේචනය කරපු මාධ්‍ය පාර්ශවයන් පසුපස ලුහු බැඳලා පළිගන්නට ගියේ නැහැ.

ගරු කතානායකතුමනි,

විශේෂයෙන්ම ඕනෑම දේශපාලන ගමනක් තුළ විවිධ මත තිබෙනවා  විවිධ න්‍යායන් තිබෙනවා, විවිධ ප්‍රතිපත්තීන් තිබෙනවා. ප්‍රතිපත්තීන් පිළිබඳව විවිධ කණ්ඩායම් විවිධ කොටස්වලට බෙදිලා තර්ක විතර්ක කරනවා. මට හොඳින් මතකයි  මංගල සමරවීර මැතිතුමන් සමග  මමත් බොහොම අවස්ථාවල ලොකු සංවාදයන් වල නිරත වුණා.

මංගල සමරවීර මැතිතුමා තරයේ විශ්වාස කරා නව ලිබරල් වාදී දර්ශනය. මම තරයේ විශ්වාස කරනවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානුෂීය ධනවාදී ක්‍රමවේදය.  ඉතින් මට මතකයි බොහෝ අවස්ථාවන්වල දී එතුමන් සමග  බොහෝම හිතවත් භාවයෙන් එනමුත් දැඩිලෙස  අපි යෝජනා අදහස් හුවමාරු කරගත්තා. අපි අපේ ස්ථාවරයන් වල ඉඳගෙන ඒ ප්‍රතිපත්ති පිළිබඳව වාද විවාද කළා.

ඒ හැම වාද විවාදයකින් ම අපි දෙපළම හොඳ පාඩම් ඉගෙන ගත්තා. හොඳ අදහස් ලබා ගත්තා. ඒත් සාකච්ඡා තුළ අපි විශ්වාස කරනවා අපි දෙපලටම  ලොකු අගයක්  එකතු වුණා. ලොකු value addition එකක් සිද්ධ වුණා. 

විශේෂයෙන්ම මංගල සමරවීර මැතිතුමා මාත් අතර මූලාරම්භයේ දී ආරම්භ හිතවත් භාවයක් තිබුණේ නෑ. මං ඒක කියන්නට ඕනේ. අපි සත්‍යවාදී වෙන්නට ඕනේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් එතුමාගේ ඒ දැඩි ස්ථාවරය තිබෙන එතුමාගේ තිබෙන දැඩි ලෙන්ගතු භාවය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත්තා. ඒවගේම එතුමා අපි පිලිබඳවත් ඒ අවබෝධයක් ලබාගෙන ඒ අන්‍යෝන්‍ය විශ්වාසය තුළ අපි කටයුතු කරන්නට ඉදිරිපත් වුණා.

 

ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ මංගල සමරවීර මැතිතුමාට තිබුණා දැවැන්ත දක්ෂතාවයක්. ඉතාමත්ම සුහදශීලීව තමන්ගේ වාග් ශෛලිය, තමන්ගේ වචන හැසිරවීම , තමන්ගෙ සන්නිවේදන ක්‍රමවේද උපයෝගී කරගෙන ලොව දිනා ගැනීමේ හැකියාව ජාත්‍යන්තරව වැදගත් වන පාර්ශවයන් සමග සාකච්ඡා කොට අපේ මාතෘභූමියට අගයක් එකතු කරන සම්බන්ධතා රැසක් පවත්වා ගෙන යාමේ හැකියාව එතුමාට තිබුණා. 

 

මං හිතනවා අපි සියලු දෙනාටම ජාත්‍යන්තරයත් සමග ගනුදෙනු කිරීමේදී සමහර විට තුමා දරපු මතයන් පිළිබඳව අපට එකඟ වන්නට බැරි වෙන්න පුළුවන් . නමුත් එතුමා ජාත්‍යන්තරය දිනා ගන්නට උපයෝගී කරගත් ක්‍රමවේදයන්, ඒ වැඩපිළිවෙළත් අපිට පුළුවන් ආදර්ශයක් හැටියට ගෙන ජනතාවාදී අපේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරිත්වය, දේශපාලන නිදහස සුරකින ආකාරයට  ඒ සම්බන්ධතා ඉදිරියට ගෙන යන්න . 

අවසාන වශයෙන් මංගල සමරවීර මැතිතුමා කියන්නේ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ බිහිවුණු ප්‍රබල චරිතයක් . වැදගත් චරිතයක්. ඒ වගේම මානව හිතවාදියෙක්. මනුස්සකමට මුල් තැන දුන්නා. මනුෂ්‍යත්වය ට ප්‍රමුඛතාව ලබා දුන්නා. මානුෂීය ගුණාංග එතුමා තුළ තිබුණා මනුස්සයෙක් දුකට පත් වුනාම හැම අවස්ථාවකදීම තුනී කරන්නට, දුකට පිහිට වන්නට දුකට පත්වූ පුද්ගලයා සැපතට කරන්නට එතුමා ඉදිරිපත් වුනා.

ඒ නිසා මේ අවස්ථාවේ දී එතුමාගේ සහෝදරිය ප්‍රමුඛ මේ සියලුම දෙනාට අපගේ තමාගේ අභාවය පිළිබඳව දැඩි ශෝකය, කනගාටුව, සාතිශය, සංවේගය පළ කරමින් මංගල සමරවීර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.''

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්