The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ශ්‍රී ලංකාවට තර්ජනයක්ද?

T

The Leader Desk

February 28, 2022 • 4:42 PM

මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ශ්‍රී ලංකාවට තර්ජනයක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇති අතර 2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.
  • ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියා වැඩපිළිවෙළේ ප්‍රගතිය ඇතුළුව වගවීම ගැන මෙහිදී අවදානය යොමු කෙරෙනු ඇත.
  • වාර්තාවේ දැක්වෙන්නේ, වින්දිතයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා අඛණ්ඩව වගවීමක් නොමැතිකම ගැන මහ කොමසාරිස්වරිය කනස්සල්ලට පත්ව සිටින බවයි.
  • ඇය පෙන්වා දෙන්නේ, මිලිටරිකරණය සහ වාර්ගික-ආගමික ජාතිකවාදය සඳහා වන අඛණ්ඩ ප්‍රවණතා, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අඩපන කිරීමට මෙන්ම, සුළු ජාතීන්ගේ කනස්සල්ට සහ සංහිඳියාවට බාධා ඇති කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ලබන අප්‍රේල් 1 වැනිදා දක්වා සැසිවාරය පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව හා සංහිඳියාව උදෙසා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරන වැඩ පිළිවෙල පිළිබඳව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙවර සැසිවාරයේදී අවධානය යොමුවනු ඇතැයි විචාරකයෝ පවසති.

මෙවර සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇති අතර 2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියා වැඩපිළිවෙළේ ප්‍රගතිය ඇතුළුව වගවීම ගැන මෙහිදී අවදානය යොමු කෙරෙනු ඇත.



මහ කොමසාරිස්වරියගේ වාර්තාව:

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මැයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

වාර්තාවේ දැක්වෙන්නේ, වින්දිතයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා අඛණ්ඩව වගවීමක් නොමැතිකම ගැන මහ කොමසාරිස්වරිය කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඇය පෙන්වා දෙන්නේ, මිලිටරිකරණය සහ වාර්ගික-ආගමික ජාතිකවාදය සඳහා වන අඛණ්ඩ ප්‍රවණතා, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අඩපන කිරීමට මෙන්ම, සුළු ජාතීන්ගේ කනස්සල්ට සහ සංහිඳියාවට බාධා ඇති කරන බවයි.

ඒ අතරම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සම්බන්ධ වීමේ රජයේ විවෘතභාවය අලුත් වීම සහ සමහර ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට ගෙන ඇති මූලික පියවර මහ කොමසාරිස්වරිය හඳුනා ගෙන ඇත.

කෙසේ වෙතත් සැබෑ සංහිඳියාවක් සඳහා වූ පුළුල් දැක්මක් සහ වගවීමේ ක්‍රියාවලියක් කඩිනමින් අවශ්‍ය බව මහ කොමසාරිස්වරය අවධාරණය කළාය.



එමෙන්ම අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යළි ඇතිවීම වැළැක්වීම සහ දඬුවම් නොලබා සිටීම නතර කිරීම උදෙසා ගැඹුරු ආයතනික හා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බවද මහ කොමසාරිස්වරිය සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.




හමුදාකරණය සහ ඉඩම් ගැටළු

පෙර වාර්තාවල නිරීක්ෂණය කළ පරිදි, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ, සිවිල් රජයේ කටයුතු තුළ හමුදාකරණය කිරීම වැඩි වීමක් දක්නට ලැබෙන බවද එකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ දැක්වෙයි.

ඇය පෙන්වා දෙන්නේ, මෙම පත්වීම් කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු කිරීම සහ නීතියට අනුකූල වීම යන කරුණු මත සිදු කරන බවට රජය විසින් සාධාරණීකරණය කරනු ලබන බවයි.

කෙසේවෙතත්, මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ අවදානය යොමුවී ඇති අතර, ඇය පෙන්වා දෙන්නේ, සිවිල් තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ රාජ්‍යයේ දිගුකාලීන ස්වභාවයට බලපෑම් එල්ල කරන බවයි.



මහ කොමසාරිස්වරියගේ වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ, සිවිල් කටයුතු පවත්වාගෙන යාමට හමුදාව මත යැපීමෙන් වළකින්න ලෙසත් සිවිල් ජීවිතයට හමුදාවේ බලපෑම අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.



එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීනව, ප්‍රායෝගිකව සහ ඕනෑම සැක සහිත අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හමුදා තරාතිරම, නිල හෝ වෙනත් බලතල නොසලකා නීතිපති දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක විය හැකි බවට සහතික වන්නැයිද මහ කොමසාරිස්වරිය නිර්දේශ කරනු ලැබ ඇත.


බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් :

Disappearances in sri lanka

අතුරුදහන් වූ සියලු දෙනාගේ ඉරණම සහ ඔවුන්ගේ තොරතුරු සොයා බැලීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගන්නා ලෙසත් ඒ සඳහා අදාළ හමුදා ලේඛනාගාරය වහාම විවෘත කිරීමට පියවර ගන්නා ලෙසත් වාර්තාවේ දක්වා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සැක කරන සියලු දෙනා සම්බන්ධයෙන් සාපරාධී වගකීම සම්බන්ධයෙන් ස්වාධීනව විමර්ශනය කර බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට පියවර ගැනීමත් නිර්දේශ අතරට ඇතුළත්ය.



ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තවත් මූලික ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස වාර්තාවෙන් ඉල්ලා ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීති බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන බව සහතික කිරීම සඳහා කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම රැඳවියන් පිළිබඳ සමාලෝචනය කර ප්‍රමාණවත් නෛතික සහ සාක්ෂි පදනමක් නොමැතිව රඳවා සිටින සියලු දෙනා කඩිනම් කර නිදහස් කරන ලෙසද නිර්දේශකර ඇති අතර ප්‍රතිත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ග, ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය අඩපණ නොකරන බවට සහතික කරන්නැයිද ඉල්ලා ඇත.



විදේශ ලේකම් ජයනාත් කොළඹගේ පවසා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි රැඳවියන් 81 දෙනෙකු මේවන විට නිදහස් කර ඇති බවයි. ඒ අතුරින් 16 දෙනෙකු සිරදඬුවම නියම සිට ජනපති සමාව ලැබූ එල්.ටී.ටී.ඊ රැඳවියන් බවද ලේකම්වරයා සඳහන් කළේය.



මානව හිමිකම් ආරක්ෂකයින්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් කඩ වීමට ලක් වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වලට හිරිහැර කිරීම සහ පළිගැනීම ඇතුලුව සියලුම ආකාරයේ ආවේක්ෂණ වහාම අවසන් කරන ලෙස සියලුම ආරක්ෂක ආයතනවලට නියෝග කරන්න ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉල්ලා තිබේ.

ඉඩම් ආරවුල් විනිවිද පෙනෙන අයුරීන් හා අපක්ෂපාතී සහ වෙනස් කොට සැලකීමකින් තොරව සිදුකිරීමත් නිර්දේශ අතරට ඇතුලත්ය.

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ සොයාගැනීම් ප්‍රකාශයට පත් කරන ලෙසත් නිර්දේශ කර තිබේ.



සංහිඳියාවේ සහ වගවීමේ ප්‍රගතිය:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනාව හා 34/1 සහ 30/1 අදාළ යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය මීට පෙර තීරණය කළේය.

ඒ, දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද සංහිඳියා සහ වගවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව පවසමිනි.

වසර දෙකක් ගතව ඇතැත්, වගවීම සහ සංහිඳියාව සඳහා යුක්තිය උදෙසා රජය තවමත් කිසිදු විශ්වසනීය නව මාර්ග සිතියමක් ඉදිරිපත් කර නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ දැක්වෙයි.




ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ අමාත්‍ය ජී.එල් පීරිස්ට

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි. විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී, කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංගය අමතනු ඇත.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව පිළිබඳව පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය අමතනු ඇත.

තවද, විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවීමට ද නියමිත බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.



මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් නැහැ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් නොවනු ඇතැයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය.

ඇය පෙන්වා දුන්නේ "වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීම පමණයි වෙන්නේ. මුකුත් යෝජනා වලියක් එන්නේ නැහැ. ඒක ගැන අවදානය යොමු වන්නේ සැප්තැම්බර් මාසයේදී. වාර්තාවේ තියෙන කරුණු පිළිබඳ සාකච්ඡාවෙයි."

නීතිඥවරිය තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව තම වැඩ පිළිවෙල මෙහිදී ඉදිරිපත් කරනු ඇති බවයි.


"ආණ්ඩුව එකක් කියයි. මහ කොමසාරිස්වරිය එකක් කියයි. ඇත්තටම විසඳුමක් කියලා දෙයක් එන්නේ නැහැ. ස්ථිර තීරණයක් ගන්නේ නැහැ."



"ආණ්ඩුව තමා කියන්න ඕනේ දැන් ඉදන් සැප්තැම්බර් මාසය වන විට මොකද කරන්නේ කියලා. ආණ්ඩුව මොනවද කරන්නේ, මොකද්ද සැලැස්ම කියලා කියන්න ඕනේ." භවානි ෆොන්සේකා පැවසුවාය.

විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේ, "මෙවර සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව පමණක් බවයි. අලුතින් යෝජනාවක් නැහැ. ඡන්ද විමසීමක් නැහැ."

වාර්තාවේ කරුණුවලට මේවන විටත් රජය නිසි පිළිතුරු ලබාදී ඇතැයි ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, මෙම වාර්තාව සම්බන්ධව මානව හිමිකම් සමුළුවේ සාකච්ඡාවක් ඇති වීමට නියමිත බව විදේශ ලේකම්වරයා පවසා සිටියේය.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬක් නඟනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසුවේය.


මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනයට සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

nimalarajan
මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්


2000 වසරේදී මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසිය පෙබරවාරි 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

මැතිවරණ වාර්තාකරණය සම්බන්ධයෙන් මරණ තර්ජන එල්ල වී දින කිහිපයකට පසු 2000 වසරේ දී මයිල්වාගනම් නිමලරාජන් වෙඩි තබා ඝාතනය කෙරුණේය.

ඔහු බීබීසීයේ සිංහල සහ දෙමළ භාෂා සේවා සඳහා සේවය කළේය.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි දී 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මෙට්‍රොපොලිටන් පොලිසිය නිවේදනය කළේය.

2001 ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතේ 51 වැනි වගන්තිය යටතේ වැරදි සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගත බවට පොලිසිය පසුගිය දා පැවසීය.

ඔහුව අත්අඩංගුවේ පසුවන අතර පසුව විමර්ශන යටතේ නිදහස් කර ඇත.

මේ අතර පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විසින් මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව හා බ්‍රිතාන්‍ය විසින් යුද අපරාධවලට එරෙහිව විශ්වීය අධිකරණ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය කුමක් දැයි විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ගෙන් විමසා සිටියේය.



විදේශ ලේකම්වරයා මෙහිදී පවසා සිටියේ බ්‍රිතාන්‍ය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවයි. කෙසේවෙතත් විශ්වීය අධිකරණ බලය ලෝකයේම විවාදයට ලක්වූ මාතෘකාවක් බවද ඔහු පවසා සිටියේය.




වෙනත් රටක පුද්ගලයෙකු ඉලක්ක කිරීම සඳහා ඕනෑම රටකට මෙය නිදහසට කරුණක් ලෙස භාවිත කළ හැකි බව ද අද්මිරාල්වරයා සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, "එහි යුක්තියක් නැහැ, එහි සාධාරණයක් නැහැ. කෙනෙකුට දඬුවම් කරන්න හෝ වෙනත් රටක් ඉලක්ක කරන්න ඕනේ නම්, විශ්වීය අධිකරණ බලය භාවිත කළ හැකි බවයි.


(BBC සිංහල සේවය)

 
 

Leader Whats app

  

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...