උසුලා ගන්නට බැරි තරම් ණය බරකට ශ්‍රී ලංකාව යටවී තිබෙන බවට අනතුරු අඟවන ලෝකයේ ප්‍රමුඛතම

මුල්‍යායතනයක් රට අස්ථාවර වීම වැලැක්වීම සඳහා බදු සහන අත් හිටුවා, මුදල් අච්චු ගැසීම නවත්වා, ඩොලරයේ අනුපාතය වෙළෙඳපොලට තීරණය කිරීමට ඉඩ සලසන ලෙසට අවවාද කරයි.  

ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග පවත්වනු ලබන වාර්ෂික ද්විපාර්ශවික හමුවෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් වොෂින්ටන් නුවරින් ප්‍රසිද්ධියට පත් කරන ලද විග්‍රහය අනුව රටේ අනාගතය එතරම් සුබපලදායී නොවේ.

“දරාගත නොහැකි මට්ටමකට ඉහල ගොස් ඇති රාජ්‍ය ණය, පහල වැටී ඇති ජාත්‍යන්තර සංචිත සහ ඉදිරි වර්ෂවල දිගටම සම්පාදනය කළ යුතු සුවිශාල මුල්‍ය අවශ්‍යතා ඇතුළු ගොඩගැසෙන අභියෝගවලට රට මුහුණ පා සිටී,” යි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබේ.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත මංඩලය සමග ආණ්ඩුවේ සාකච්ඡා හමාර වී ඇත්තේ පෙබරවාරි 25 දාය.

ණය බරින් ගැලවීම සඳහා විසඳුම් සෙවීමේදී අඩු හැකියාවන් සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව  සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස මුල්‍ය අරමුදල ඉල්ලා සිටී.

“මේ පසුබිම සැලකිල්ලට ගත්කල, ශක්තිමත්, මනා සේ ඉලක්කගත සමාජ ආරක්ෂණ ජාල යොදාගෙන අවදානමට මුහුණපා සිටින කණ්ඩායම් ආරක්ෂා කරමින්,  සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය දරාගත හැකිවීම සඳහා විශ්වසනීය සහ සංගත උපාය මාර්ගයක් ක්‍රියාවේ යෙදවීමේ හදිසි අවශ්‍යතාව,” IMF අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ අලුත 2019 අගදී දෙන ලද සුවිශාල බදු සහන, ඉන් අනතුරුව පැමිණි වසංගතය සමග ආදායම් බිඳ වැටීම සහ වසංගතයට මුහුණ දීමට දරන ලද වියදම් නිසා පසුගිය දෙවසර තුල ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 10ක හිඟයක් දක්වා බිඳ වැටුණු  බව ඔවුහු පෙන්වා දෙති. බදු සහන දීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන ගියොත් එය අවුරුදු හතරක්වත් අහිතකර ලෙස බලපානු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.


“වර්තමාන ප්‍රතිපත්ති සහ බදු කප්පාදු එලෙසම පවත්වාගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම යටතේ රාජ්‍ය මුදල් හිඟය 2022-26 විශාල ලෙසම පවතිමින්, මධ්‍යම කාලීන වශයෙන් රාජ්‍ය ණය තවත් ඉහල යනු ඇතැයි ප්‍රක්ෂේපනය කෙරේ.”

අගය එකතු කළ (වැට්) බද්ද  සහ ආදායම් බද්ද යොදාගෙන බදු එකතු කරන ලෙස IMF ඉල්ලා සිටී.

2019 බදු කප්පාදුවේ ප්‍රතිපලයක් ලෙස ආදායම් බිඳ වැටීම හමුවේ “රාජ්‍ය ආදායමේ හිඟය පියවා ගැනීමට මහබැංකුව මුදල් යෙදවීමට” සල්ලි අච්චු ගැසීම අත් හිටුවන ලෙසට  යෝජනා කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල,  එසේ නොකරන්නේ නම්, ආර්ථික වශයෙන් රට අස්ථාවර වනු ඇති බව අවධාරණය කරයි.  

“රාජ්‍ය වියදම් සහ ගෙවුම් ශේෂ සඳහා මුදල් සැපයීම සාක්ෂාත් කර නොගන්නේ නම්, ආනයනයේ සහ පෞද්ගලික අය වර්ධනයේ සැලකිය යුතු හිරවීමක් හෝ  රාජ්‍ය ආදායමේ හිඟය පියවා ගැනීමට මහබැංකුව තවදුරටත් මුදල් යෙදවුවහොත් ආර්ථික අස්ථාවර භාවයක් හෝ අත් විඳීමට රටට සිදුවනු ඇත.”

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 2.36ක් දක්වා පහත වැටීම ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ඇනහිටීමට දැනටත් බලපා ඇත. එහි ප්‍රතිපලයක් වශයෙන් මේ වනවිට දිනකට පැය හතහමාරක විදුලි කප්පාදුවක් බලපැවැත්වේ.



මේ අවුරුද්දේ පමණක් ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් බිලියන 4ක් වෙතැයි ගණන් බලා තිබේ.

රටේ පවතින ඩොලර් හිඟය ලිහිල් කිරීම සඳහා ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීමට නම් මහ බැංකුව විසින් පවත්වාගෙන යන විනිමය අනුපාතිකය වෙනුවට වෙළෙඳපොල විසින් තීරණය කෙරෙන පාවෙන විනිමය අනුපාතිකයක් කරා නැවත යා යුතු බව IMF නිර්දේශයයි.

ආර්ථිකයේ ප්‍රසාරණයක් ඇති කරගැනීම සඳහා කෙරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම  බලකාය වැඩි කිරීමේත්, තරුණ විරැකියාව අඩු කිරීමේත් අවශ්‍යතාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවධාරණය කර තිබේ.

IMF 22 03 02

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්