මේ රටේ තිබෙන ප්‍රධාන අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩය වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව 43 සේනාංකය සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන පවසයි.



ඔහු මේ බව ප්‍රකාශ කළේ වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් 43 සේනාංකය විසින් අද (11) සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකය සභාපතිවරයා මෙසේ පැවසිය.

''අද 2022 මාර්තු 11. 2022 වසරේ 69 වන දිනය.  දැන් ඡන්දේ දීපු 69 ලක්ෂයක් සහිත දෙකෝටි විසි ලක්ෂයක සමස්ත ජනතාවටම තරු පෙන්වමින් මේ 2022 අවුරුද්දේ 69 වන දිනයේ ආණ්ඩුව ගැහුවා ගැසට් එකක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමේ ගැසට් නිවේදනය.

ඊයේ රෑ නැවත වතාවක් තරු පෙන්වමින් ඩීසල් මිල, පෙට්‍රල් මිල, ඒ කියන්නේ ඉන්ධන මිල, ඓතිහාසික වශයෙන් වැඩි කරලා දැම්මා.

දැන් මේ ඉන්ධන මිල වැඩි වීමත් එක්කම මොනවද හෙට වෙන්නේ පාන් ගෙඩියේ මිල, බනිස් ගෙඩියේ මිල, පිටි කිලෝ එකේ මිල, ත්‍රීවිල් ගාස්තුව, බෙහෙත් මිල, එළවළු මිල, ප්‍රවාහන මිල හැමදෙයක්ම තව වටයකින් ඉහළ යනවා.



දැන් මේ වෙමින් තිබෙන්නේ මොකක්ද? මේකට මොකක්ද අපි කියන්නේ? ආර්ථික අර්බුදයද, උද්ධමනයද, ජීවන බර වැඩිවීමද, බදු බර වැඩිවීමද, නම් ගොඩක් තිබුණා. ඉතාම සරල නම තමයි, රට බංකොලොත් වෙලා කියන එක."



"හිරුණිකා මන්ත්‍රීතුමිය තවත් කාන්තාවන් පිරිසක් එක්ක රටේ ජනතාවගේ දුක කියන්න මිරිහානේ ජනාධිපතිතුමාගේ ගෙදරට සංදේශයක් භාර දෙන්න යනකොට ජනාධිපතිතුමා එතුමාගේ දුක කියන්න තවත් කාන්තාවක් හොයාගෙන අනුරාධපුරයට ගිහිල්ලා තියෙනවා. ඔන්න ජනාධිපතිතුමාගේ උත්තරේ. දැන් අද සාත්තරකාරියන්ගේ පිහිටයි මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න"

"දැන් ආණ්ඩුවේ අය ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා, ජනතාව ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ දැන් මේ බංකොලොත්භාවයෙන් රට ගොඩනගන්න මොකක්ද කරන්නේ? බඩු මිල වැඩි කරලා අනේ මේක දරාගන්න කියලා විතරක් හරියන්නේ නැහැ. දැන් මේ ගැන වහාම කියන්න ඕනේ. දැන් මේ අත්‍යාවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා කරලා තිබෙනවා.

"ගරු මුදල් ඇමතිතුමනි මේ රටට අත්‍යවශ්‍ය නොවන ප්‍රධාන ආනයනික භාණ්ඩය තමයි ඔබතුමා. ඒ භාණ්ඩය ආනයනය කරලා පාර්ලිමේන්තුවටත් ගෙනල්ලා මුදල් ඇමතිකමක් දුන්නට පස්සේ තමයි මේ හෙනේ තවත් වැඩි වුණේ.

එම නිසා අපි මේ කියන්නේ සාස්තරකාරියෝ හොයාගෙන ඒ වගේම තමයි මේ ආනයනික මුදල් ඇමතිතුමාත් ඇතුළු මේ පොහොට්ටු ආණ්ඩුවේ මේ වියත් පරිණත දැනුවත් ආර්ථික විශේෂඥ සියලු දෙනාම මේ ආර්ථික බංකොලොත් භාවයෙන් රට බේරා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. අර්බුදයෙන් අර්බුදයට රට ගමන් ගනිමින් සිටිනවා."

මේ තත්ත්වයට විසඳුමක් ලෙස පෙබරවාරු 23 වෙනිදා 43 සේනාංකය යෝජනා කළේ රටේ මූල්‍ය පාලන බලය තිබෙන පාර්ලිමේන්තුව එම බලය අතට ගෙන ආර්ථිකය මෙහෙයවීම බුද්ධිමත් මිනිස්සුන්ට, විශේෂඥයින්ට භාරදිය යුතු බවය. ඒ අවස්ථාවේ ඊට විශාල අවධානයක් නොතිබුණ ද සති දෙකකට පසු රටේ සියළුමදෙනා ඒ කරුණ ප්‍රකාශ කරමින් සිටින බව ද කරු පරණවිතාන පැවසිය.



"රටේ මිනිස්සු ඔක්කොම දැන් පාරට බැහැලා කියලා කියන්නේ අනේ දැන් පලයව් කියලා. කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දීලා පලයව් කියලා, පෙට්‍රල් පෝලිම් වල ගෑස් පෝලිම් වල, වෙනත් පෝලිම්වල මිනිස්සු අද කෑගහලා කියනවා."



"නමුත් මේ ආණ්ඩුව විවේචනය ගේන, නියම වශයෙන් මේකට උත්තරය මොකක්ද කියලා අඩු ම තරමෙන් එළියක් හෝ දල්වලා පෙන්නන මාර්ගය පෙන්වන දේශපාලන නායකයන්ව දඩයම් කරන්න හදනවා. මේ වනවිට, බොරු නඩු අටවමින්, අහපු නඩු අහලා පොත වහලා දාපු නඩු නැවත විවෘත කරමින් ඒ වගේම තව විවිධ කොමිසම් වලට මේ රටට මේ රාජපක්ෂලාට හා මේ වැඩ බැරි ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන, වැඩ කරන්න පුළුවන් නායකයින්, විවිධ කොමිසම් වලට ගෙනෙමින් ඒ අය දඩයම් කරන්න. ඒ අය හිරේ දාන්න. ඒ අයගේ ප්‍රජා අයිතීන් අහෝසි කරලා දාන්න ඉතාමත්ම කූට උත්සාහයක් මේ දවස්වල රඟ දැක්වෙමින් තිබෙනවා."

මේ සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බව පරණවිතාන අවධාරණය කර සිටියි.



ව්‍යාපාරිකයන් තුළ සාධාරණ සැකයක් !


rtwet4නන්දික බටේපොළ


මේ අවස්ථාවට එක් වූ 43 සේනාංකය ව්‍යාපාරික සංසදයේ සාමාජික නන්දික බටේපොළ සඳහන් කළේ භාණ්ඩ ආනයනය සීමා කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන මූලික කරුණ ඩොලර් රටින් පිටව යෑම නැවැත්වීමද? නැතහොත් ආනයනකරුවන් සතු ව්‍යාපාර තමන්ගේ ගජමිතුරු කල්ලියකට, හිතවත් කල්ලියකට ව්‍යාපාර බලපත්‍ර මගින් ලබාදී, අදාළ ව්‍යාපාරවල ඒකාධිකාරයක් පවත්වන්නද? යන සාධාරණ සැකය ව්‍යාපාරිකයන් තුළ මතුවන බවය.

"අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ආනයනය පාලනය කිරීම විශේෂ වූ බලපත්‍රයකට නතු කිරීම මගින් පාලනය කිරීමක් මොවුන් මෙහිදී ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මීට අයත් වෙනවා කිරි හා කිරි හා කිරි නිෂ්පාදන වලට අයත් වන චීස්, බටර්, ආනයනික පලතුරු වර්ග, විදුලි උපකරණ, විදුලි පංකා සහ එයාර් කන්ඩිෂන් ඇතුළු විදුලි උපකරණ ඒ වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදන රාශියක් මේ ගොන්නට ඇතුළත් වෙලා තියෙනවා.

 බොහොමයක් භාණ්ඩ දිහා බැලූ බැල්මට අපිට පේන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට. නමුත් ව්‍යාපාරිකයන් විදියට අපි බලද්දී මේ භාණ්ඩ ආනයනය නොකර අපේ රටේ පවත්වාගෙන යන්න අපිට හැකියාවක් ලැබෙයිද?

උදාහරණයක් විදිහට විදුලි උපකරණ විදුලි පංකා සහ මේ එයා කන්ඩිෂන් ගෙන්වීම නැවැත්තුවොත් ඉදිකිරීමේ ක්ෂේත්‍රය සහ දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකියාවක් ලැබෙයිද? ඒ වගේම ආනයනික චීස් වර්ග, බටර් වර්ග, ආනයනික පලතුරු වර්ග ආනයනය නැවැත්තුවොත් සංචාරක ව්‍යාපාරයට අදාළ වන හොටෙල් සහ එහි රෙස්ටුරන්ට් ව්‍යාපාර පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙයිද?" යනුවෙන් හෙතෙම ප්‍රශ්න කළේය.

fyu6ආචාර්‍ය ශානුක සෙනරත්


කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්‍ය ශානුක සෙනරත් සූම් මෘදුකාංගය ඔස්සේ මේ මාධ්‍ය හමුවට සහභාගි විය.

"මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්වයකට පත්වෙලා තියෙනවා. ඇත්තටම ඒකට සුදුසු වචනය තමයි ශ්‍රී ලංකා ආර්ථිකය ඉතාම ශෝචනීය තත්වයකට පත්වෙලා තියෙනවා මේ අවස්ථාවේ. මේ වන විට ලංකාව විශාල විදේශ ණය අර්බුදයකට මුහුණ පාලා තිබෙනවා.

දළ වශයෙන් ඩොලර් බිලියන 8 ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා මේ වසර තුල. අප සතුව තියෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 කට ආසන්නයි.



ලංකාව ඉතිහාස විදේශ විනිමය අර්බුදයට මුහුණ පාලාතියෙනවා. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, බෙහෙත් වර්ග, නැතිවෙලා තියෙන්නේ මේ නැව් එන්න ප්‍රමාදයක් නිසාවත්, විදේශ කුමන්ත්‍රණයක් නිසාවත් නෙමෙයි. මේවා ගන්න මුදල් නොමැතිකම නිසා. අපි දකිනවා ඉතිහාසයේ පළවෙනි වතාවට පෙට්‍රල්, ඩීසල් නැවක් වරායට ආවහම ඒක ප්‍රධාන ශීර්ෂ පාඨයක් වන තරමට, අපි අගාධයකට වැටිලා ඉන්නේ."



"සියලු අවස්ථා මධ්‍යයේ දකුණු ආසියාවේ අනෙක් සියලුම රටවල් තම විදේශ සංචිත ප්‍රමාණයන් වැඩි කරගෙන තිබෙනවා.  පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින ඇතුළු රටවල් සමඟ විදේශ සංචිත වැඩි කරගෙන තිබෙනවා. ලංකාව පමණයි මේ අර්බුදයට දකුණු ආසියාවේ මුහුණ පාලා තිබෙන්නේ.

විශාල වරායවල් ගුවන් තොටුපලවල් විශාල නෙළුම් කුළුණු ඇතැම් දේශපාලනඥයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මේවායින් වංචා සිද්ධ වුණා මේවාට තමයි අපි විදේශ ණය ලබා ගත්තේ. එතකොට අපි දැන් මේ ගෙවන්නේ ඒ ගත්ත ණය සහ ඒ ණය සඳහා වන වාරිකයන්. මේ වාරිකයන් තමයි මේ කල් පිරිලා අපිට මේ ගෙවන්න තිබෙන ඩොලර් බිලියන අටට මදක් අඩු ප්‍රමාණය මේ වර්ෂය සඳහා වෙලා තිබෙන්නේ.

එතකොට විශාල වශයෙන් විදේශ සංචිත විදේශ මුදල් විනාශ කිරීම මේ සිදුවෙච්ච නාස්තිය මේවා අස්සේ සිදුවුණා යැයි කියන වංචාව, දූෂණයත් හේතුවෙන් විදේශ සංචිත නැතිවෙලා තියෙනවා.



"දළ වශයෙන් ලංකාවේ නිල සංඛ්‍යාලේඛන අනුව උද්ධමනය 12% ක් පමණ වෙනවා. ආහාර සඳහා උද්ධමනය 30% ක් පමණ වෙනවා. දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය වාර්තා වෙන්නේ ලංකාවේ. විශේෂයෙන්ම ආහාර සඳහා.



ආර්ථික විද්‍යාඥයන් දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් මුදල් අච්චු නොගසන ලෙසය. අනවශ්‍ය දේට වියදම් නොකරන ලෙසය. රජය විසින් මෙවර අයවැයෙනුත් දළ වශයෙන් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම රු. මිලියන 30 බැගින් රු. මිලියන 42,000 කට අධික ප්‍රමාණයක් වෙන් කොට තිබේ.

ප්‍රාදේශීය සභා කොට්ඨාසවලට තවත් රු. මිලියන 15,000 කට වඩා වෙන් කොට තිබේ. මෙසේ ප්‍රාදේශීය සංවර්ධනයට කියා යෙදවූ මුදල් යෙදවෙන්නේ ප්‍රාදේශීය හෙංචයියන් කොන්ත්‍රාත්කරුවන් සතුටු කිරීම සඳහා බව ද ආචාර්යවරයා සඳහන් කළේය.

"සුපුරුදු දේශපාලන ආර්ථිකය හසුරවමින් යනවා. මේ විදිහට ගියොත් සිද්ධවෙන්නේ, අත්තනෝමතිකව මුදල් අච්චු ගහලා, සිම්බාබ්වේ රාජ්‍යයට වෙච්ච දේ. වෙනිසියුලා හියුගෝ චාවේස් මහතා ඔහුගේ දේශපාලන හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දෙමින් කරපු විනාශය. අපි මේ යන්නේ පැහැදිලිවම ඒ අඩිපාරේ. ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ මේ වෙද්දී 4% ක් වෙලා තියෙන දරිද්‍රතාව මේ වසර අග වන විට තවත් 2% කින් පමණ වැඩි වෙයි කියලා." 

 

 


 ගෝඨා - විමල් යළි එක්වන ළකුණු! ! | අද ගොසිප් එක | The Leader TV

 




Leader Whats app

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා