ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක නියමු කාර්යභාරයක් ඉටුකළ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට

මැර ප්‍රහාරයක් එල්ල කිරීමට වගකිව යුතු බවට චෝදනා ලබන කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට දඬුවම් පමුණුවන ලෙසට ප්‍රදේශවාසීහු බලකරති.

ප්‍රහාරය හෙලා දකිමින් අප්‍රේල් 6 වැනි බදාදා ප්‍රදේශයේ ජනතාව සමග එක්ව අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ වෙලංගල්ල හන්දියේ  දී උද්ඝෝෂණයක් දියත් කළ මානියන්ගම රජමහාවිහාරාධිපති අඹන්වෙල හේමාලංකාර හිමියන් ඉල්ලා සිටියේ ප්‍රහාරය එල්ල කළ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

''මේ මැර ප්‍රහාරය එල්ල කරපු දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති කියන මැරයා දුමිඳු ශ්‍යාමන්, කියන මේ මැරයා අත්අඩංගුවට අරං නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕනේ.''

අප්‍රේල් 5 වැනි අගහරුවාදා බටංගල තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් අවිස්සාවේල්ල නගරයේ විරෝධතාවක් පවත්වා ආපසු විශ්වවිද්‍යාලයට ගමන් කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි ඇතුල්ගම රාහුල හිමියන් මැර ප්‍රහාරයට ලක්ව තිබේ.



මහමගදී පාර හරස් කළ මැර කණ්ඩායම භික්ෂුන් වහන්සේට පහරදී බසයට ගොඩවී කළ තර්ජනයෙන් සිසු සිසුවියෝ මහත් සේ බියට පත්ව සිටිති.
හිසට හා උරහිසට එල්ල වු මැර ප්‍රහාරයෙන් තුවාල ලැබු  රාහුල හිමියෝ මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

''දැන් අපි ඉස්පිරිතාලෙට ගිහිල්ලා ආවේ. ඩී.එම්.ඔ මහත්තයා කිව්වා අඟල් හතරක් විතර ඇතුලට තුවාලයක් තියනවා කියලා,'' යි මාධ්‍යවේදීන් සමග පැවසු අඹන්වෙල හේමාලංකාර හිමියන් මෙම ප්‍රහාරය හැඳින්වුයේ සීතාවක රාජසිංහ රජගෙන් පසු සබරගමුව පළාතේ මෙවැනි සිදුවීමක් වු පළමු අවසථාව ලෙසයි.

භික්ෂුන් වහන්සේට සහ අහිංසක සිසුන්ට දේශපාලනඥයන් මෙවැනි ප්‍රහාර එල්ලකරනවා නම් රටේ අනෙක් ජනතාවට ඇති  ආරක්ෂාව කුමක්දැයි ප්‍රශ්න කළ රජමහාවිහාරාධිපති හිමියන් ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ මැරයන් රටේ ඉහළ තනතුරුවලට පත් කිරීමෙන් වලකින ලෙසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩගුවට ගන්නා ලද බව පොලිසිය මාධ්‍යවේදීන් හා පවසා තිබේ.

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්