අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය අද (8 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතව තිබුන ද එය කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය

කර ඇතැයි වාර්තාවේ.

එසේ කල්දමා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම විසින් අද දිනයේ ලබාදීමට නියමිත යෝජනාවලිය ද සැලකිල්ලට ගැනීමට ජනාධිපතිවරයා තීන්දුකර තිබීමයි.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව මේවනවිට පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම විසින් වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා වූ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත අද (08) දිනයේදී බාරදීමට නියමිතය. එම මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් ඊයේ පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 7 ශාලාවේ රැස්වී දීර්ඝ සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළඹ ඇත.


ඇමැති මණ්ඩලය අඩකින් අඩු කරන්න යයි !  


ඒ අනුව ලබන සඳුදා කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිත බවත් තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුවී ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මෙතෙක් ඇමැති ධුර හිමිවූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන බවද වාර්තා වෙයි.

මේ අතර 'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, විදුලිබල ඇමැති ධුරයට හිටපු ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ම පත්කිරීමට නියමිත බවයි.  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි. 

 
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8 වැනිදා) දින හයක් ගතවෙයි. මේ වනවිට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.
 
 
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉවත් වීමෙන් පසු එම ඇමැති ධුරයට පත්කළ හිටපු අධිකරණ ඇමැති අලි සබ්‍රිද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතත්, එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා මෙතෙක් භාර ගෙන නොමැති බව වාර්තා වේ.
 
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රි ට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ මූල්‍ය උපදේශකවරයෙකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ සතියේ සාකච්ඡා ආරම්භ නොකළහොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදුකළ නොහැකි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නොපමාව ම සාකච්ඡා ආරම්භ නොකළහොත් තත්ත්වය තවත් බරපතල වියහැකිබව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා පෞද්ගලිකව හමුවූ අවස්ථාවේදී පෙන්වා දී ඇතැයි වාර්තාවේ. වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා තමන්ගේ සහය ලබාදෙන බවට හිටපු අගමැතිවරයා එකඟතාව පළකර ඇතැයි ද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්