මංගල ජනපති කරමු ! යන වැකිය සහිත පෝස්ටරයක් ඊයේ කොළඹ නගරයේ තැනින් තැන ප්‍රදර්ශනය කර තිබිණ.



මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය යෙදී තිබු ඊයේ (21) එම පෝස්ටර් ව්‍යාපාරය දියත්කර තිබුනේ, PlanB තරුණ කණ්ඩායම විසිනි.

#gohomegota2022 මිනිසුන්ගේ අරගලය විසින් වසර 74ක දේශපාලනය ප්‍රශ්න කරමින් සිටින මොහොතක, 2022 අප්‍රේල් 21 වන දින මංගල සමරවීරගේ උපන්දිනය දා ගෝඨාභය රාජපක්ෂගෙන් පසු ජනාධිපති කල යුත්තේ මංගල සමරවීර ලෙස අරමුණ කරගෙන මීළග ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම මෙසේ ආරම්භ කළබව PlanB තරුණ කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වන මහිල් බණ්ඩාර පවසයි.

වසර 74ක් තිස්සේ සිදුකළ සැලසුමක් නැති අත්හදාබැලීම් වෙනුවට සැබෑ සැලැසුමක් රටට අවශ්‍ය බව PlanB කණ්ඩායම මෙයින් අදහස් කරයි.

ජීවතුන් අතර නැති පුද්ගලයෙකු ජනාධිපතිවරයා කරවීම සදහා ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කල අවස්ථාව මෙය විය හැකි බව මහීල් පැවසිය.

IMG 20220422 WA0017IMG 20220422 WA0022

IMG 20220422 WA0019

IMG 20220422 WA0023

IMG 20220422 WA0021


මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් මහීල් බණ්ඩාර මෙසේ සඳහන් කළේය.


මෙය  සුවිශේෂි වන්නෙ වෙනදා මෙන් එක් පුද්ගලයෙකු වටා රොක් වෙමින් ඔහු හෝ ඇය විසින් රැවටී ජීවත් වූ ජන්දදායකයන් මියගිය මංගල අතින් රැවටීමට ඉඩක් නොමැති වීමයි. ජනතාවට එක්රොක් වීමට චරිතයක් හිමිවීම සහ එම චරිතය විසින් සඟවාගෙන සිටින පුද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති වීමයි. පොරක් හෝ ප්‍රතිපත්ති වෙනුවට ප්ලෑන් එකක් රටේ නායකයා කිරීමයි. පොලිටිකල් ගේම් වෙනුවට පුරවැසියන් සියල්ලටම විනිවිද පෙනෙන, ඇගයීමට හැකි සැලසුමක් රජ කරවීමයි. Plan A මියගොස් ඇති බවත්, දැන් Plan B සැලසුම් කර, හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට මුලු රටටම ආරාධනා කර ඇති බවයි.



මංගල වසර 2කට පෙර මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්ව කල මහජන දේශපාලනය අද කාගේත් සිත්ගෙන ඇත. විශේෂයෙන්ම 'අපි සීරුවෙන්' ගීතය අද තරුණ හදවත්තුල අරගලයේ තේමා ගීතය වී ඇත්තේත් එය 2019 සිට මංගල විසින් තරුණයන් ප්‍රමුඛ කරගත් මහජනතාවගේ පාලනයක් සදහා තරුණයන් පෙළඹවූ බැවිනි.

මේ වන විට මුලුමහත් දේශපාලකයින්ගේ ලෝකයම තුෂ්නිම්භූත කරමින් ඔවුන්ගේ සියලුම කැම්පේන් දියාරු කරමින් නැගී සිටින මහජන ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නොපවතින බව පවසනා දේශපාලකයින්ගේ තර්කයට පිළිතුරු සපයමින් අලුත් මිනිසුන්ගේ දේශපාලනය පාර්ලිමේන්තුවට ගෙනයාමට Plan B කටයුතු කරමින් සිටියි.
 
 
 
මීට වසර 2කට පෙර මංගල විසින් කරුණු 21ක් හදුන්වාදුන්නෙ සමස්ත ජනතාවටම පීඩාකාරී ගෙවුනු 74 වසරක් වෙනුවට දියුණු සමාජයක් නිර්මාණය කරගැනීමේ පදනම වන නව සැලසුමක් ලෙසයි.
 
 
 
NGO බිල්ලන්, ජාතිවාදී මහල්ලන්, ව්‍යාජ දේශප්‍රේමී පල්ලම් තවදුරටත් වලංගු නොවන වටපිටාවක් තුළ, රට තුළ සහ ලොව වටා සිටින තරුණ ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුත් සැලසුම සැදීමට PlanB සාමූහිකය වසර 2019 සිට කටයුතු සිදු කරමින්  සිටියි.

මංගල අද ජීවත්ව නොසිටියත් තරුණයන් මේ ක්‍රියාත්මක කිරීමට උත්සහය කරනුයේ මංගලගේ PlanB එක බවත් PlanB කණ්ඩායමේ ක්‍රියාකාරීන් කියා සිටි.


මංගල කරුණු 21 මෙලෙසිනි


✓ අප 21 වැනි සියවසේ දෙවැනි කාර්තුව කරා ගමන් කරමින් සිටිද්දී, ප්‍රජාතන්ත්‍රවාදය, එහි සියළු අඩුපාඩු තිබියදීත් හොඳම පාලන ක්‍රමය ලෙස පවතී. විධායකය, හමුදාව සහ පූජ්‍ය පක්ෂය වේගයෙන් ඒක්රැස් වීම සමඟ ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයක් කරා පිම්මේ ගමන් කරමින් සිටින අතරේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සුවිශල් කැපවීමක් යුගයේ අවශ්‍යතාව බවට පත්ව ඇත; ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හුදෙක් විධායක ජනාධිපතිගේ රබර් මුද්‍රා පමණක් බවට පත් කරනු ලැබෙමින් තිබේ.

✓ ශ්‍රී ලාංකික දේශපාලන දේහය සකසන විවිධ ජාතීන් සහ ආගම් අතර ප්‍රතිසන්ධානය සහ සමානාත්මතාව ශ්‍රී ලංකාවට සිය පූර්ණ විභවය යොදවා ගැනීම පිණිස අත්‍යාවශ්‍ය වූවකි. ශ්‍රී ලාංකිකයන් එක්සත් රටක් ලෙස ප්‍රීතිය හා සෞභාග්‍යය අත්කර ගැනීමට නම්, අපගේ වාර්ගික, සංස්කෘතික සහ ආගමික විවිධත්වයට ගරුකිරීමට අපට හැකි විය යුතුය.

✓ ගෞරවයෙන් තොර හා වෙනස් කොට සලකන හැසිරීම හා සමඟම වර්ගවාදය, වෛරී ප්‍රකාශ සහ වාර්ගික/ආගමික අන්තවාදය අපගේ සමාජයෙහි නිර්මිතය විනාශ කරන පිළිකාවක් බවට පත්ව ඇත. වර්ගවාදය සහ අනෙකුත් සියළුම ආකාරයේ අන්තවාදය සීමා රහිත ලෙස හෙළා දැකීම සහ ඒවාට උද්වේගකාරී ලෙස එරෙහි වීම කළ යුතුය.

✓ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සහ රැස්වීමේ සහ විරෝධය පළ කිරීමේ නිදහස ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක සංඝටනීය පාර්ශ්ව වේ.  

✓ අපගේ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා පවත්වා ගැනීම කළ යුතුය. ශ්‍රී ලංකාව තමන් අත්සන් තබා ඇති සියළු හර ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කිරීමද කළ යුත්තේ එබඳු වගකීම් උත්ථම්භනය කිරීමේ ප්‍රතිලාභියා වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව නොව ශ්‍රී ලංකාව සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වන බැවිනි.

✓ රජු, පූජකයා හෝ සොල්දාදුවා වේවා කවර හෝ තැනැත්තකුවත් නීතියට ඉහළින් නොසිටින ශිෂ්ට සම්පන්න සමාජයකට නීතියේ ආධිපත්‍යයද අනිවාර්ය පූර්ව අවශ්‍යතාවකි. නීතිය ක්‍රියාවේ යොදවන ආයතන සවිබල ගන්වා ශක්තිමත් කළ යුතු අතර ඒවා පරම ස්වාධීන මෙන්ම දේශපාලන මැදිහත් වීමෙන් නිදහස් විය යුතුය.

✓ විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් කවර හෝ ආකාරයකින් එහි බලය අයුතු ලෙස අත්කර ගැනීමෙන් තොර ස්වාධීන අධිකරණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවකි.

✓ 1977 දී වෙළෙඳපොල ආර්ථිකය වැළඳ ගත් පළමු රටවල් අතරින් එකක් වූ ශ්‍රී ලංකාවේ තවමත් ඇත්තේ, ඉඳුරාම යල් පැන ගිය නීති හා ‘සමාජවාදී මානසිකත්ව‘ ගොහොරුවෙහි ගිලී ඇති විධාන ආර්ථිකයකි. ශ්‍රී ලංකාව කලාපයේ වේගවත් හා තරගකාරී ක්‍රියාකාරියෙකු බවට පත් කිරීම පිණිස දූර දර්ශී ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. ගජමිතුරු ධනවාදී ආර්ථිකය වෙනුවට සියළු ආයෝජකයන්ට හා අනෙකුත් ආර්ථික ක්‍රියාකාරීන්ට නීති මත පදනම් වූ සමාන අවස්ථා සපයන ශක්තිමත් හා ක්‍රියාශීලී වෙළෙඳපොල ආර්ථිකයක් ආදේශ කළ යුතුව ඇත.

✓ දූෂණය, නාස්තිය සහ වැරදි කළමනාකරණය අද රාජ්‍ය අංශයේ විනාශයට හේතු වී තිබේ. දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රහාර එල්ල කරනු වස් දූෂණ චෝදනා හැමවිටම ආයුධයක් සේ යොදා ගැනෙන නමුත් වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම හෝ මෙම පිළිකාව පාලනය කිරීම සඳහා දැඩි දූෂණ විරෝධී නීති හඳුන්වා දීමට හෝ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනේ. නාස්තිය සහ වැරදි කළමනාකරණය පුළුල් ලෙස පැතිර පවතින රජය සතු ව්‍යවසායික කාර්යභාරය යළි නිශ්චය කළ යුතුව පවතී.

✓ වර්ගවාදය හා දූෂණය සමඟම මත් ද්‍රව්‍ය අපගේ සමාජය වනසා දමන වසංගත වලින් එකක් බවට පත්ව ඇත. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුට ඉහළම දේශපාලන අනුග්‍රහය ලැබෙන අතර කැසිනෝ, කොටස් වෙළඳපොළ, මාධ්‍ය ආයතන ආදිය හරහා මත් ද්‍රව්‍ය වලින් උපයන මුදල් ප්‍රධාන ධාරාවේ විධිමත් ආර්ථිකය තුළට විශුද්ධිකරණය සිදු වේ. මත්ද්‍රව්‍ය අවභාවිතයට එරෙහි සටනේදී, ඇබ්බැහි වූවන් හා පහළ මට්ටමේ මත් ද්‍රව්‍ය වෙළඳුන් පමණක් නීතිය ඉදිරියට පමුණුවනු ලැබේ. මෙම ව්‍යසනය පාලනය පිණිස නව දැඩි නීති වහා අවශ්‍යව ඇත. අන්තවාදයට හා මත් ද්‍රව්‍ය අවභාවිතයට එරෙහි තෙවදෑරුම් යුද්ධයක් යුගයේ අවශ්‍යතාව වන අතර ඇබ්බැහි වූ යොවුන් පිරිස් වලට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දිය යුතුය.  

✓ ශ්‍රී ලංකාව තුළ කුසලතාතන්ත්‍රයක් නිර්මාණය කළ යුතු ඇති අතර ඒ සඳහා පුද්ගලවාදී දේශපාලන අනුග්‍රාහකත්වයේ සංස්කෘතිය අවසන් විය යුතුව ඇත.  සියල්ලන්ටම සම අවස්ථා සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික කුසලතා තන්ත්‍රයක් අනිවාර්ය පූර්ව අවශ්‍යතාවකි.

✓ දුප්පතුන්, දුර්වලයන් හා අවාසනාවට ගොදුරුවූවන් ආරක්ෂා කිරීමට ශක්තිමත් සමාජ ආරක්ෂක ජාලයක් සහිත නවීන වෙළඳපොළ ආර්ථිකයක ගමන් කළ යුතුමය.

✓ ඉතා වැදගත් භූගෝලීය පිහිටීමක ආශීර්වාදය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර රටට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස අපට ආකර්ෂණීය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ඉඩම් හා විදේශ ආයෝජන කෙරෙහි වන ̒ ගෝත්‍රික ආකල්පයෙන් අප බැහැර විය යුතුය.

✓ අසමානතාව හා අසාධාරණත්වය සමඟ පුළුල් වන විෂමතා අද අධ්‍යාපන ක්‍රමයේ සම්මතය වී ඇත. රටේ අවශ්‍යතා ඉටු කිරීමට, විශේෂයෙන්ම අන්තහ්කරණය හා විවිධත්වය කෙරෙහි ගෞරවය නොමැතිකම වැනි ප්‍රධාන ගැටළු විසඳාගෙන නවෝත්පාදක, තමන් මත පමණක් යැපෙන තත්ත්වයට පත්ව ගෝලීය වශයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට උපකාරී වීමට අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම අසමත්ව ඇත. විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ගණිතය හා තාක්ෂණය අවධාරණය කරමින් 21 වැනි සියවසේ ඉගෙනුම කරා සිසුන් මෙහෙයවීම මගින් අධ්‍යාපන ක්‍රමය පූර්ණ ලෙස යළි සැකසීම අවශ්‍යය. තෘතීය අධ්‍යාපනයෙහි ආසියානු හා ගෝලීය යෝධයන් හා සම මට්ටමේ සිටින සේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල තත්ත්වය උත්ශ්‍රේණිගත කළ යුතුය. සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වය, ලිංගික අඩන්තේට්ටම් හා නවක වදය විශ්ව විද්‍යාලවලින් තුරන් කර දැමිය යුතුය. එසේ ඉගෙනුමට කැමැත්තක් දක්වන සියල්ලන් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි බවට පත් කළ යුතු වේ.

✓ මධ්‍ය ආදායම් රටවල අලුතින් පැන නගින රෝගවලට මෙන්ම පශ්චාත් කොරෝනා සමාජයේ අභියෝග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය නව තාක්ෂණය හා චිකිත්සාවන් සහිතව ශක්තිමත් හා නවීකරණය කිරීම අවශ්‍යය. අන්තරායකාර ‌ඖෂධ, දුම්කොළ හා මද්‍යසාර අවභාවිතය හේතුවෙන් ඇති වන බරපතල සෞඛ්‍ය ගැටළුවලට වහා විසඳුම් සැපයිය යුතුය.

✓ 2017 දී සීමාන්තික කාලගුණික තත්ත්වයන්ගේ වැඩිම බලපෑමට ලක් වූ රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ වූ අතර ම ලෝක බැංකුවට අනුව දේශගුණික විපර්යාස හේතුවෙන් 2050 වන විට වාර්ෂික ද.දේ.නි.න් 1.2ක් අහිමි වීම අපේක්ෂා කෙරේ. තිරසාර සංවර්ධනය, වැඩිවන දේශගුණික විපර්යාස හා ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා  වැඩිදියුණු වූ යටිතල පහසුකම්, වෙළඳපොළ කෙරෙහි නැඹුරු වූ ප්‍රතිසංස්කරණ , වැඩි කළ මානව ධාරිතා හා වඩා ශක්තිමත් ආයතනික ධාරිතා හා සම්බන්ධ වන බැවින් ඒය හොඳම අනුවර්තන උපායමාර්ගය ලෙස සැලකේ.

✓ 1931 දී සර්වජන ඡන්ද බලය ලබා දුන් ආසියාවේ ප්‍රථම රටව තිබියදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ භූමිකාව, විශේෂයෙන්ම දේශපාලන, ව්‍යාපාරික සහ වාණිජ ක්ෂේත්‍ර තුළ, සතුටුදායක නැත. කාන්තාවන්ගේ ගෞරවයට හා  අභිමානයට සතුරු බොහෝ  ප්‍රතිගාමී නීති අදටත් බලාත්මකව පවතී. නවීන සංවර්ධනය වන ජාතියක් සේ පෙරට යාමට ශ්‍රී ලංකාව මෙ‌ම අසමානතා නිවරදි කිරීමට හදිසි ප්‍රමුඛතාව දිය යුතුව ඇත.

✓ එකඟ වූ වැඩිහිටියන් අතර සම ලිංගික සබඳතා පාලනය කරන යල් පිනූ වික්ටෝරියානු නීති ඉවත් කිරීම සඳහා වන අරගලයේදී LGBTQ ව්‍යාපාරයට සහාය හා දිරි ගැන්වීම සැපයිය යුතුය. ලිංගික නැඹුරුව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වාර්ගිකත්වය, කුලය හෝ ආගම කුමක් වුවත් සියළු මනුෂ්‍යයන්ට සමාන ලෙස සැලකිය යුත අතර විද්‍යමාන  වන සියළු ආකාරයේ විවිධත්වයට ගරු කරනු ලැබිය යුතුය.

✓ ළමා ශ්‍රමය හා ළමයින් ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කිරීම ගැඹුරට මුල් බැස ගත් ගැටළුවක්ව පවතී. ඇතැම් කණ්ඩායම් හා ප්‍රජාවන් තුළ දරුවන් දෙමවුපියන්ට රිසි දෙයක් කළ හැකි ඔවුන්ගේ දේපළක් සේ දකිනු ලැබේ ; එබැවින් බෞද්ධ ප්‍රජාවේ දුගී කොටස් අතර ළාබාල දරුවන් මහණ කිරීමද මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහද සිදු වේ. ළමා වියේදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් අපයෝජනයට ලක් වූ ළමයි වැඩිහිටියන් වූ විට අපරාධකරුවන් බවට පත්වෙති; නවක වදය හා ලිංගික අඩන්තේට්ටම් එබඳු තත්ත්ව  විද්‍යමාන වීම් වේ.  

✓ ශ්‍රී ලංකාවේ 1907 සත්ව හිංසා වැළැක්වීමේ  ආඥාපනත සතුන්ට කෲරත්වයට  එරෙහි ප්‍රමාණවත් නොවන නිවර්තකයකි. මෙම නීතිය සමාලෝපනය කර, සියළු සත්වයන් කෙරෙහි සහවේදනය හා දයාව වෙනුවෙන් පෙනී සිටිමින් සත්ව සුබ සාධනය පාලනය කරන නව නීති පැනවීම වෙනුවෙන් හදිසි අවශ්‍යතාවක් පවතී.
 
 
 
මංගල අවසන් කාලයේ පවසා සිටි ලෙසින්ම මෙය දේව වාක්‍යයක් නොව බවත්, මෙය පාදක කරගනිමින් Plan B එක සැලසුම් කිරීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරමින් මංගල ජනපති කිරීමේ ප්‍රචාරණ කටයුතු සමග එක්වීමට Plan B ආරාධනා කර සිටියි.
 
 
 






Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්