මහපාරේ සටන පාර්ලිමේන්තුවේ දී පාවා නො දෙන්නැයි පොප් (POP - Power of People) හෙවත් ජන බලය සාමූහිකය

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම පක්ෂවලින් ඉල්ලා සිටී.

ඒ දොළොස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමිනි.

මේ මොහොතේ රට තුළ පවතින බරපතල ආර්ථික, දේශපාලන හා සාමාජීය අර්බුදය සඳහා ජනතාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් මැදිහත් වීමට විපක්ෂය වෙත පුරවැසියන් හා වෘත්තිකයින් ලෙස ඉදිරිපත් කරන්නා වූ එකී ඉල්ලීම් හා යෝජනාවලිය මෙසේය.


ඉල්ලීම් හා යෝජනා 12 :

01. මහපාරේ නො නිදන අරගලය දුර්වල වන කිසිදු ආකාරයේ ක්‍රියාවක්, තීරණයක්, තීන්දුවක් හෝ එකඟතාවක් පාර්ලිමේන්තුවේ දී ගැනීමෙන් වැළකෙන්න.

02. නො නිදන ජන අරගලයේ මූලික ඉල්ලීම වන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතුය යන මූලික ඉල්ලීම පාර්ලිමේන්තුවේ දී ජයග්‍රහණය කිරීම සඳහා සෑම උපාය මාර්ගයක් ම ගැනීමට කටයුතු කරන්න.

03. සිය දේශපාලන න්‍යාය පත්‍රයන් පසෙකලා නො නිදන ජන අරගලය ජයග්‍රහණය කිරීම සඳහා පමණක් සැම විට ම දේශපාලන තීන්දුවලට එළැඹෙන්න.

04. සර්ව පාර්ෂික / අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟ වී ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසදුම් ලබා දීමට කටයුතු කරන්න. සර්ව පාක්ෂික / අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟ නො වේ නම් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් ජනතාව හමුවේ ඉදිරිපත් කරන්න.

05. යෝජිත විශ්වාස භංගය ජයග්‍රහණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු ම පාර්ශ්ව සමඟ සාමූහිකව කටයුතු කිරීම සඳහා සුදුසු කවුළුවක් සකස් කරන්න.

06. වර්තමාන ආර්ථික අර්බුදය ජය ගැනීමට දිගුකාලීනව යෝජනා කෙරෙන පූර්ණ වැඩපිළිවෙල ජනතාව හමුවේ ඉදිරිපත් කරන්න.

07. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ම විගණනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරන්න.

08. අන්තර්ජාතික මූල්‍ය අර්මුදල වැනි ජාත්‍යන්තර සංවිධානවලින් විදේශීය ආධාර, ප්‍රදාන සහ ණය ලැබෙන්නේ නම් ඒවා දූෂණයෙන් තොරව ජනතා සහන සඳහා ම යෙදවිය හැකි උපාය මාර්ග හඳුන්වා දෙන්න.

09. පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා විපක්ෂයේ සෙසු පක්ෂ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් සමඟ සබුද්ධිමත් සංවාදයක් ආරම්භ කිරීමට පියවර ගන්න.

10. කොල්ල කා ඇති ජනතා මුදල් රාපක්ෂවරුන්ගෙන් සහ අවශේෂ පුද්ගලයින්ගෙන් නැවත ලබා ගැනීම සඳහා නීති රාමුවක් හඳුන්වා දෙන්න.

11. දේශපාලන ස්ථාවරත්වය දීර්ඝකාලීනව ඇති කිරීම සඳහා යෝජනා කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ පැහැදිලි ලෙස ජනතාවට හමුවේ ඉදිරිපත් කරන්න.

12. වත්මන් ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට අනුගමනය කෙරෙන රාජත්‍රාන්තික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න.’
 

nvbcx

යෝජනා ඇතුළත් සංදේශය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දේශපාලන පක්ෂ වෙත භාර දීමේ හමුවීම් මේ දිනවල පොප් සාමූහිකය සිදු කරයි.

ඒ යටතේ දොළොස්වැදෑරුම් ඉල්ලීම් සහ යෝජනාවලිය පාර්ලිමේන්තු විපක්ෂ නායක, සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දීම කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දා සිදු කෙරිණ.
 
සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එම පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ, එස්. එම්. මරික්කාර් යන මහත්වරු එම හමුවට එක් වූහ.
 
 
එම හමුවේ දී පොප් ( POWER OF PEOPLE - ජන බලය) වෙනුවෙන් එහි කැඳවුම්කරු, ජාත්‍යන්තර සම්මානලාභී, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද කරුණු දක්වමින් පැවසුවේ, මේ මොහොතේ අත්‍යාසන්නව පැන නැඟි ආර්ථික, දේශපාලනික හා සාමාජීය අර්බුදය විසදීමේ වගකීම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙසට සමඟි ජන බලවේගයට ඇති බව යි. එ නිසා ම ඔවුන් නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය නො කළ යුතු බව ද ඇය අවාධාරණය කළාය.



ඇය වැඩිදුරටත් පැවසුවේ පක්ෂ දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුව ද විපක්ෂයේ ඡන්ද දායකයින් ලෙස නියෝජනය වන මේ රටේ මිලියන ගනණාවක ජනතාව වෙනුවෙන් හෝ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙසට සමඟි ජන බලවේගය මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බව යි.
 
‘අත්‍යාසන්න මොහෙතේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැහැ. නමුත් මේ වන විට රටේ ආර්ථික ප්‍රශ්නය දැඩි ලෙස උග්‍ර වෙමින් පවතිනවා. මේ ආර්ථික අර්බුදය විසදන්න නම් දේශපාලන අර්බුදය ද ඊට සමගාමීව විසඳීම අත්‍යවශ්‍ය කරුණක්.

රටේ දේශපාලන අස්ථාවරත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුණත් අපේ රටට ආධාර දීම මේ මොහොතේ ප්‍රශ්නකාරී වී තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළ මේ රටේ මිනිසුන් මුහුණ දෙන මූලික අයිතිවාසිකම් පිළිබඳ ගැටළු වන ඉන්ධන, ගෑස්, බෙහෙත්, අත්‍යාවශ්‍ය ආහාර වැනි දෑ සම්බන්ධ හිඟය අති සංවේදී ප්‍රශ්නය වනවා. එය විසදීමට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය කරුණක්.

 
gfvg''එම දේශපාලන විසඳුම ලබා ගත යුත්තේ මහජනතාවගේ මූලික ඉල්ලීම වූ "ගෝටා ගෝ හෝම්" කියන රාමුව තුළ මිස මේ අර්බුදය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ හැර සිය පක්ෂ අරමුණු වෙනුවෙන් පසු පාදයෙන් කටයුතු කිරීමෙන් නො වෙයි.'' - ඉනෝකා


 ජනතාවගේ එම ඉල්ලීම ඉටු කිරීමට නම් විපක්ෂය තවදුරටත් පසුගාමීව කටයුතු කිරීම සුදුසු වන්නේ නැහැ. විපක්ෂය මහපාරේ සටන ජයග්‍රහණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී අවංකව සහ සක්‍රීයව දායක විය යුතු යි. එ නිසා සිය දේශපාලන න්‍යාය පත්‍රයන් පසෙකලා මහ ජනතාවගේ අපේක්ෂා හා අරමුණු ප්‍රමුඛ කර ගත් රටේ පොදු න්‍යාය පත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු යි. ඒ සඳහා බලය දිනා ගැනීම නොව රටේ ජනතාව ගේ අයිතීන් ඉලක්ක කර ගත් සබුද්ධික දේශපාලනික සැලසුමකට පිවිසීම යි මේ මොහොතේ විපක්ෂය සතු ප්‍රධාන අරමුණ හා ඉලක්කය විය යුත්තේ.

මේ වෙනුවෙන් අනාගත දේශපාලන යෝජනාවලි ඉදිරිපත් කිරීම වෙනුවට, අත්‍යාසන්න හා අත්‍යාවශ්‍ය මූලික ජනතා ගැටලු විසදීම සඳහා දේශපාලන ක්‍රමෝපායන් සදහා සෘජුව මැදිහත් වීම අත්‍යාවශ්‍ය වනවා. ඉන් පිටස්තර විසදුම් අපට වැදගත් නැහැ...’ යැයි ද මෙහිදී ඉනෝකා සත්‍යංගනී කිර්තිනන්ද වැඩදුරටත් අවධාරණය කළාය.


ඇය පෙන්වා දෙන්නේ අත්‍යාසන්න ගැටළු විසදීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු වීම සඳහා විපක්ෂයේ සාධනීය දායකත්වය ද ලබා දිය යුතු බව යි.

 

කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දීම සඳහා එක් එක් විෂයෙහි ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් ඡායා කැබිනට්ටුවක් (Shadow cabinet) පිහිටු වීම ඉතා වැදගත් වේ. එකී ප්‍රවීණ හා උගත් සාමාජිකයින්ගේ මඩුල්ල තුළ රජයේ කාර්ය කටයුතු සඳහා පවතින අමාත්‍යාංශයන්ගේ විෂය පථයන්ට අදාලව දැනුවත් භාවයෙන් යුත් ප්‍රාමාණික විද්වතුන්ගේ හා සිවිල් කන්ඩායම් නියෝජිතයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වය ලබාගැනීම වැදගත් වන බව ද ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විපක්ෂ නායක සජිත ප්‍රේමදාස ට පෙන්වා දුන්නාය.

එසේම විස්සකට නො වැඩි පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසකගේ (සර්ව පාක්ෂික නියෝජනයකින්) දායකත්වයෙන් පාර්ලිමේන්තු විධායකය ලෙස කැබිනට් මණ්ඩලයක් පත්කොට කටයුතු කරද්දී, පාර්ලිමේන්තුවට පරිබාහිරව පවතින ඉහත සඳහන් ඡායා කැබිනෙට්ටුවේ සාමාජිකයින් සමඟ (සීමිත සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කැබිනෙට්ටුව ) සෘජු අන්තර් සම්බන්දතාවයක් පවත්වා ගනිමින් රටේ අමාත්‍යාංශයන් පරිපාලනය කළ යුතු බව ඇය විසින් එකී යෝජනාවේ මූලික වගකීම ලෙසින් පෙන්වා දෙන ලදී.

එම ඡායා කැබිනට්ටුව සම්බන්ධ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නීත්‍යානුකූල පදනමකින් පවත්වා ගෙන යා යුතු බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

එසේම මෙම යෝජනාව ස්ථාපනය කළ යුත්තේ අත්‍යාසන්න ආර්ථික හා දේශපාලන අර්බුදය විසදීම සඳහා වසරක් වැනි කෙටි කාල රාමුවක් තුළ පවත්වා ගෙන යාමට සැලසුම් විය යුතු අන්තර්කාලීන හෙවත් අන්තර්වාර පාලනයක් තුළදී බවත් ඉනෝකා විසින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ලදී.
 

කෙසේනමුත් එම යෝජනාව නිෂේධනාත්මකව ප්‍රතික්ෂේප කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදසා අවධාරණය කළේ, එවැනි යෝජනාවක් ශ්‍රී ලංකේය සන්දර්භය තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව කළ නො හැකි බව යි.
 

ස්කැන්ඩිනේවියානු රටවල එවැනි යෝජනා ක්‍රියාත්මක කළ හැකි වුවත් ලංකාව වැනි නො දියුණු දේශපාලන සංස්කෘතියක් පවතින රටවල එවැනි ක්‍රමෝපායන් දියත් කිරීම ප්‍රායොගික නැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සාකච්ඡා සභාව තුළදී විපක්ෂ නායකයා විසින් එසේ අදහස් පළ කෙරුණ ද, පසුගිය 21වැනිදා ( ඊයේ) සමඟි ජන බලවේග කන්ඩායමේ නියෝජිතයෙකු වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාර විසින් කථානායකවරයාට භාර දුන් 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රජයට මාර්ගෝපදේශ දැක්වීමට ඉදිරිපත් කළ යෝජනාවලියෙහි රාජ්‍ය කවුන්සිලයක් (Council of State) පත් කිරීමට යෝජනා කර තිබේ.


එම කවුන්සිලයට ව්‍යාපාරික, අර්ථික, දේශපාලනික, ව්‍යාවස්ථාමය නීතිය යනාදි ලෙසින් විෂය ප්‍රාමාණික විද්වතුන් 12දෙනකු පාර්ලිමේන්තුවන් පරිබාහිර පත් කිරීමට ද ඔවුන් විසින් යෝජනා කර තිබීම විශේෂත්වයකි.


''ගෝටා ගෝ හෝම් යන සටන් පාඨය ගෝඨාභය කියන චරිතට පමණක් අදාල දෙයක් නෙමෙයි.'' -විශාකා සුරියබණ්ඩර

මේ අතර සාකච්ඡාවට එක් වෙමින් මහජන බලය එකමුතුවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යානාංශයේ අංශාධිපති විශාකා සුරියබණ්ඩර මෙසේ පැවසුවාය.
 
‘ගෝටා ගෝ හෝම් යන සටන් පාඨය ගෝඨාභය කියන චරිතට පමණක් අදාල දෙයක් නෙමෙයි. එයින් සමස්ත දේශපාලන ක්‍රමයට ම තියෙන විරෝධය ප්‍රකාශ වෙනවා. එතැන දී අද යථාර්ථයන් දෙකක් දක්නට තියෙනවා. එකක් පොළොවේ යථාර්ථය ලෙස ජන අරගලයක් දියත් කෙරෙනවා. දෙවැන්න පොළොවේ ජන අරගලයට පාර්ලිමේන්තුවේ දී ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සොයමින් සිටිනවා.

 මම පිළි ගන්නවා 65දෙනකුගෙන් පාර්ලිමේන්තුවේ දී කළ හැකි දේ සීමිතයි, සහ අපහසුයි. එවැනි තත්ත්වයක වුවත් විපක්ෂයක් ලෙසින් පාර්ලිමේන්තුවේ දී සිදු කළ හැකි දේශපාලන ප්‍රතිසංස්කරණ තියෙනවා. ආර්ථික විසදුම් තියෙනවා. මමත් පිළි ගන්නවා ආර්ථික විසදුම් තිත්ත යි…’ යනුවෙනි.
 

කෙසේනමුත් ජනතා බලය එකමුතුවට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, රාජපක්ෂවරුන් සිටින කිසිදු ආකාරයක අන්තර්පාලනයකට තම පක්ෂය එක් නො වන බව යි.
 
 
‘ජනතා අරගලකරුවන් ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියලා. ඒ නිසා රාජපක්ෂවරුන් සිටින කිසිම අන්තර්පාලන ආණ්ඩුවකට සමඟි ජන බලවේගය එක් වෙන්නේ නැහැ. දෙවැනුව දූෂිත දේශපාලනඥයින් එක්කොට හදන අන්තර් පාලන ආණ්ඩුවකට සමඟි ජන බලවේගය එක් වෙන්නේ නැහැ. ඕනෑම කණ්ඩායමකට අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න. අවස්ථාවෙන් අවස්ථාවට ලෙස එය පවත්වා ගෙන යාමට ස්වාධීන මැදිහත් වීම එයට ලබා දෙන්න සමඟි ජන බලවේගය සූදානම්...’යි ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.


''දේශපාලන කන්‍යාභාවය සෙවීමෙන් වළකින්න'' - නදී වාසලමුදලි ආරච්චි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ අවධානය මහජනතාවගේ ඉල්ලීම් කෙරෙහි යොමු කරමින් මාධ්‍යවේදීනි නදී වාසලමුදලි ආරච්චි පැවසුවේ පාර්ලිමේන්තුවේ දී ජනතා ඉල්ලීම් ඉටු කිරීම සඳහා දේශපාලන කන්‍යාභාවය සෙවීමෙන් වළකින ලෙස යි.
 
‘මහපාරේ සටන පාර්ලිමේන්තුවේ දී ජයග්‍රහණය කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගන්නා ලෙසට විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් විපක්ෂ මේ මොහොතේ එවැනි ක්‍රියා මාර්ගවලට නො ගොස් දේශපාලන කන්‍යාභාවය හෝ සුජාතභාවය සොයමින් සිටින අයුරු දක්නට ලැබෙනවා. එය කාලය මැරීමක්.

මේ කාලය මැරීම දිගින් දිගට ම සිදු වී විසඳුම් නො ලැබී ආර්ථික ප්‍රශ්න තව තවත් උග්‍ර වීමෙන් මහපාරේ අරගලය අවාසනාවන්ත ලෙසට ප්‍රචණ්ඩත්වය කරා යන්න පුළුවන්. එහෙම වුණොත් එයින් ඇති වන ජීවිත හා දේපොළ හානියට විපක්ෂයත් වගකිව යුතු යි. ඒ නිසා පාර්ලිමේන්තුවේ දී යම් ක්‍රියා මාර්ගයකට එළැඹීමේ දී දේශපාලන කන්‍යාභාවය හෝ සුජාත භාවය හොයන්න එපා. විපක්ෂයේ සියලු දෙනාම එකට එක් වී ජනතාවගේ මූලික ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න. සමාජ ස්ථාවරය ඇති කරන්න කැප වෙන්න... ’යි ද ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා සිටියාය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ විපක්ෂයේ සැබෑ යථාර්ථය හඳුනා නො ගෙන විවිධ චෝදනා එල්ල නො කරන ලෙස යි.



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් මෙසේ පැවසිය.
 

''විපක්ෂය නිදා ගෙන නැහැ. නමුත් විපක්ෂයේ පරිමාණය යි ආණ්ඩුවේ පරිමාණය යි තීරණය කළේ රටේ ජනතාව. පාර්ලිමේන්තුවේ සංයුතිය තීරණය කළේ මේ රටේ ජනතාව. ඒ නිසා ඔබ සියලු දෙනා ම කරුණාකරලා අවබෝධ කර ගන්න පාර්ලිමේන්තුවේ තියෙන මේ මන්ත්‍රී සංයුතිය. අපට බහුතරයක් නැහැ. අපට තියෙන මන්ත්‍රී ගණන 65 ක්. ඒ නිසා විපක්ෂයේ සීමාව තුළ සිටමින් තමයි අපට කටයුතු කරන්න වෙන්නේ.

ඒ අනුව අපි අනෙක් අයත් එක්ක එකතුවෙලා ක්‍රියාත්මක වෙනවා විශ්වාස භංගය ගේන්න. දෝෂාභියෝගය ගේන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. විසිවැනි සංශෝධනය අහෝසි කර 19+ ගේන්න. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කපා හරින්න. දූෂණය නැති කරන්න අවශ්‍ය නීති ගේන්න. අපි සූදානම් යහපත් සමාජයක් සඳහා ජන අරගලයේ යහපත් යෝජනා ක්‍රියාත්මක කරන්න.

එසේ නො මැතිව අපි නිදා ගෙන නැහැ. අපි විපක්ෂය ලෙස සෑම දෙයක් ම කරනවා. නමුත් ඔබතුමාලා පිළි ගන්න. ජනතාව අපට දුන්න පරිමාණය අනුව තමයි අපට ඉදිරියට යන්න වෙන්නේ. අපි පටන් ගන්නේ 113 නෙමෙයි. අපි පටන් ගන්නේ 65න්...’
 

''විශ්වාස භංගයට හෝ දෝෂාභියෝගයකට යාම සුදුසු ක්‍රියාවක් නෙමෙයි'' - නීතිඥ ජනක එදිරිසිංහ

කෙසේනමුත් පොප් සාමූහිකයේ නීතිඥ ජනක එදිරිසිංහ පැවසුවේ, විශ්වාස භංගයට හෝ දෝෂාභියෝගයකට යාම එතරම් සුදුසු ක්‍රියාවක් නො වන බව යි.

‘විදී සටන් පසුබිම තුළ මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ තුනෙන් දෙකකට වඩා පරාදය වී සිටිනවා. නමුත් තවමත් පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න බහුතර බලය තියෙනවා. එවැනි පසුබිමක මේ මොහොතේ විශ්වාස භංගයක් සහ දෝෂාභියෝගයක් ඒමෙන් ඔබතුමන්ලා අවිශ්වාස සටනකට පිවිසෙනවා. එම සටනේ දී විපක්ෂය පැරදීමේ අවස්ථාව සියයට අසූවකට වඩා වැඩි යි. එසේ විශ්වාස භංගය හෝ දෝෂාභියෝගය පරාද වුණහොත් එයින් සිදු වන්නේ විදියේ සටන පාර්ලිමේන්තුවේ දී පරාජදය වීම යි.

ඒ නිසා විපක්ෂය අසංවිධානාත්මක ලෙස විශ්වාස භංගයකට හෝ දෝෂාභියෝගයකට යාම විදීයේ සටන් කරන මහජනතාවගේ හිසට කරන පහර දීමක් ලෙසින් මම දකිනවා. ඒ නිසා විශ්වාස භංගය හෝ දෝෂාභියෝගය ගෙන ඒම විපක්ෂය  විසින් සංවිධානාත්මකව කළ යුතු දෙයක්.

ඒ අතරෙහි මේ මොහොතේ විපක්ෂයට ගෙන ආ හැකි සහ සරල බහුතරයකින් සම්මත කර ක්‍රියාත්මක කළ හැකි දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් තියෙනවා. මුදල් විශුද්ධිකරණ පණත යටතේ නඩුවක් පැවරීම හෝ ඉවත් කර ගැනීම කළ හැක්කේ නීතිපතිවරයාට පමණයි. නමුත් එවැනි නඩුවක් පැවැරීමේ හැකියාව නිතිඥ සංගමයට හෝ වෙනත් නීතිඥ සංවිධානයකට ද ලබා දීම සහ නඩුවක් ඉවත් කර ගන්නා විට ඊට එරෙහිව කරණු දැක්වීමේ අවස්ථාව ද නීතිඥ සංගමයට හෝ එවැනි සංවිධානයකට ලබා දීම හරහා දූෂණය වැළැක්වීමට නීති ප්‍රතිසංස්කරණ ගෙන ආ හැකි යි.

එය විදි සටනේ නිරත ජනතාව ඉල්ලා සිටින දේශපාලන ප්‍රතිසංස්කරණක් සරල බහුතරයකින් කළ හැකි අවස්ථාවක්. එයින් 225 ම දූෂිත වීම වළක්වා ගත හැකි යි...’යි ද ඔහු පෙන්වා දුන්නේ ය.

‘225 ම දූෂිත යැයි කීම ඉතා ම අසාධාරණ දෙයක්. 225 ම එක ම නෙමෙ යි. ඒ අනුව ඉතාමත් පැහැදිලිව ම 225 ම එක යි නො වන බව පෙන්නුම් කිරීමට විශ්වාස භංගය සහ දෝෂාභියෝගය වැදගත් වනවා. එහිදී  විශ්වාස භංගයෙන් සහ දෝෂාභියෝගයෙන් අපට පුළුවන් ඒ සමඟ සිට ගන්නේ කවුරුන් ද නැත් ද යන්න හඳුනා ගන්න. රාජපක්ෂවරුන් තියා ගන්නේ කවුරුන්ද නැත්ද කියලා හඳුනා ගන්න. තවදුරටත් විධායක ජනාධිපති ක්‍රමය තියා ගන්නව ද ? විධායක ජනාධිපති ක්‍රමය එපා කියනව ද ? යනාදි වශයෙන් නිශ්චිත හඳුනා ගන්න විශ්වාස භංගය සහ දෝෂාභියෝගය ඉතා වටිනා පරීක්ෂණයක්…'' - විපක්ෂ නායක



''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ නැහැ'' - ෆීල්ඩ් මාර්ෂල්

කෙසේනමුත් සාකච්ඡාව අතරතුර දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට තමන් පෞද්ගලිකව එකඟ නො වන බව යි.
 
‘මේ අර්බුදයට මූලික හේතුව වෙලා තියෙන්නේ මේ පවතින දේශපාලන සංස්කෘතිය. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නො කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් එහාට මෙහාට කර ගන්නා විසඳුම් පරණ වයින් බෝතලයට අලුත් වයින් දැම්මා වගේ වැඩක්. ඒ නිසා ව්‍යවස්ථාව වෙනස් කළා කියලා මේ අර්බුදයට විසඳුමක් වෙන්නේ නැහැ. ඒ සඳහා දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න අවශ්‍යයි.

 පක්ෂයක් ලෙස සමඟි ජන බලවේගය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටිනවා. නමුත් මගේ පෞද්ගලික මතය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සුදුසු නැහැ. මේ පක්ෂයේ ම තවත් අය මගේ පෞද්ගලික මතයේ සිටිනවා.


bnbvcv''විධායක ජනාධිපති ක්‍රමය අප තියා ගත යුතු යි. හේතුව මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ශක්තිමත් එක පුද්ගලයකු අත්‍යවශ්‍යයි. එම පුද්ගලයා තදින් සිටිමින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු යි. ඒ නිසා වැරදි මිනිස්සු ජනාධිපති ධුරයට පැමිණියා කියා ජනාධිපති ධුරය වෙනස් කිරීම නිවැරදි වන්නේ නැහැ.'' - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
 


 උදාහරණයකට යම් පවුලක ගෘහ මූලිකයා බේබද්දෙක් නම් ඒකෙන් කියවෙනව ද ගෘහ මූලික තනතුර අහෝසි කරන්න ඕන කියලා…’යනුවෙන් සරත් ෆොන්සේකා සිය අදහස දැක්වීය.

ඊට ප්‍රතිචාර දැක්වූ පොප් සාමූහිකයේ මාධ්‍යවේදී තමීර මංජු සරත් ෆොන්සේකා ගේ අදහසට එකඟ නො වෙමින් පැවසුවේ, ‘විධායක ජනාධිපති ධුරය වටා අසීමිත බලය තියෙනවා. ඒ නිසා එම ධුරයට පත් වෙන ඕනෑම පුද්ගලයකු පිස්සෙක් බවට පත් වෙනවා. ඔබතුමා වුණත් විධායක ජනාධිපතිධුරයට පැමිණියා ම පිස්සෙක් වෙන්න පුළුවන්…’ යනුවෙනි.
 
‘ඔබතුමා එහෙම මං ගැන හිතන්න එපා. එහෙනම් ඔබතුමත් පිස්සෙක්. මං එහෙම වෙන්නේ නැහැ. හමුදා පුටුවේ මං වාඩි වුණා ම මම පිස්සු කෙළියේ නැහැනේ. මම යුද්දේ ඉවර කළා. එතොකොට මහතීර් පිස්සෙක් වෙන්න එපැයි. මම කියන්නේ ඒ ධුරයේ හිටිය අනෙක් මිනිස්සු අසාර්ථක වුණා කියන එක ඒ ධුරයේ වරදක් නෙමෙ යි. ජනතාව මේ දේශපාලන සංස්කෘතියෙන් දාගත්ත මිනිසුන්ගේ වරදක්.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නො කර නිවැරදි පුද්ගලයින් ජනාධිපති පුටුවට විතරක් නෙමෙයි අගමැති පුටුවට යන්නෙත් නැහැ. ඇමැති පුටුවකට යන්නෙත් නැහැ…’යි සරත් ෆොන්සේකා නැවතත් මාධ්‍යවේදී තමීර මංජු ට ප්‍රතිචාර දැක්වීය.


මෙම හමුවේ දී පොප් සාමූහිකයේ සිනමා අධ්‍යක්ෂ යූ. ඒ. පල්ලියගුරු පෙන්වා දුන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට නම් විගණනය අත්‍යවශ්‍ය වන බව යි. දේශපාලනඥයින් පමණක් නො ව ව්‍යාපාරිකයින් ද විගණනය කළ යුතු බව ඔහුගේ අදහස විය.



 ‘දේශපාලනය විගණනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් විගණනය දේශපාලනඥයින්ට පමණක් සීමා කළ යුතු නැහැ. ඉදිරි කාලයේ දී අනිවාර්යෙන් ම ව්‍යාපාරිකයින් ද විගණනය කළ යුතු වෙනවා. ව්‍යාපාරිකයින් කළු සල්ලි යොදා ගෙන දේශපාලනඥයින්ගේ අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා. රාජපක්ෂලාගේ සල්ලි නහය ළඟ තියෙන්නේ. නහය තියෙනවා පේන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාරිකයින් විගණනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. එසේ නො කර මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බැහැ. මොක ද මේ දූෂණය ඇති වෙන්නේ ව්‍යාපාරිකයින්ගෙන්.

ඡන්දයක දී ලක්ෂ 500ක් විතර විදයම් කරනවා නම් ඒ කියන්නේ ඔවුන් ළඟ විගණනයට ලක් නො වූ මුදල් තියෙනවා. උදාහරණයක් කියන්නම්. පසුගිය කාලේ කුකුළු මස් ව්‍යාපාරයේ බද්ද අයින් කළා. ඒ හරහා ඊට අදාල ව්‍යාපාරිකයින් අධික ලාභ ලැබුවා. නමුත් බද්ද ඉවත් කිරීමේ සහනය ජනතාවට ලැබුණේ නැහැ. ව්‍යාපාරිකයින් අධික ලාභ ලබනවා. ජනතාවට ඉන්ධන නැහැ. බෙහෙත් නැහැ. සහන නැහැ...’ යනුවෙන් ද පල්ලියගුරු මහතා කියා සිටියේය.

cvb nbvවිපක්ෂ නායක හමුවෙන් පසුව පොප් සමූහය හමු වූයේ ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ය.

ඔහු පෙන්වා දුන්නේ තම පක්ෂයේ පොදු ඉල්ලීම් ඉටු වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවකට එක් නො වන බව යි.

කෙසේනමුත් අන්තර්කාලීන ආණ්ඩුවට විපක්ෂයේ සිටමින් සහාය දක්වන බව ද ඔහු අවධාරණය කළේ ය.

vchjදමිල ප්‍රගතිශීලි සංධානයේ නායක මනෝ ගනේෂන් හමු වූ අවස්ථාවේ දී ඔහු අවධාරණය කළේ සමඟි ජන බලවේග සංධානයේ හවුල්කාර පක්ෂයක් ලෙසට මේ මොහොතේ ආර්ථික හා දේශපාලන අර්බුද විසදීමට තනි පක්ෂයක් ලෙසට ද තමන් කටයුතු කරන බව යි.
 

‘රාජපක්ෂවරුන් එපා කියලා අපි සටන් කළේ මීට වසර ගණනාවක පෙර සිට. අපේ පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් රාජපක්ෂ රෙජීමයට සහාය දුන්න ම අපි ඔහුව පැය විසිහතරෙන් අපේ පක්ෂයෙන් අයින් කළා. නමුත් ඩයනා ගමගේ තවමත් සමඟි ජන බලවේගයේ ලේකම්. අපි සංධානයක් ලෙසත් තනි පක්ෂයක් ලෙසත් ජනතා අරගලයේ ඉල්ලීම් ඉටු කිරීමට පෙනී සිටිනවා....’යි ද මනෝ ගනේෂන් කියා සිටියේය. 



මෙම හමුවීම්වල දී කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර සකස් කළ විශේෂ සංදේශයක් නීතිඥ රංග චන්ද්‍රරත්නම් විසින් සියලු පක්ෂ නායකයින්ට භාර දිණ.
 
පොප් (POP - Power of People) හෙවත් ජන බලය සාමූහිකය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්‍යාර්ථීන්, මාධ්‍යවේදීන්, සාහිත්‍යවේදීන් ඇතුළුව සබුද්ධිමත් පුරවැසියන්ගෙන් සැදුම්ලත් සමූහකයකි.

පොප් සමූහයේ විධායක කමිටුවේ සාමාජිකයින් වනුයේ එහි කැඳවුම්කරුවන ජාත්‍යන්තර සම්මානලාභී, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශ ප්‍රධානී විශාඛා සූරියබණ්ඩාර, විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති ආචාර්ය අතුලසිරි සමරකෝන්, නීතිඥ කේ. ඩබ්. ජනරන්ජන, ශාස්ත්‍රපති මාධ්‍යවේදී ම. ප. තමීර මංජු, සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නග්ගර, මාධ්‍යවේදී නදී වාසලමුදලි ආරච්චි, චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක යූ. ඒ. පල්ලියගුරු, සමාජ ක්‍රියාකාරිනී සකුනි සේනාධිරය.  

ඔවුන් හා සමඟ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, මහාචාර්ය A. M. ද සොයිසා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඒකකයේ කථිකාචාර්ය ෆාතිමා ශානාස්, කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි බාහිර කථිකාචාර්ය ෂෙය්නබ් බාරි, කථිකාචාර්ය මනුරි පබසරී වලේබොඩ, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, දේශපාලන විචාරක නීතිඥ ජනක එදිරිසිංහ, හිටපු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික හිටපු දකුණු අප්‍රිකාවේ තානාපති නීතිඥ ජාවිඩ් යූසුෆ්, නීතිඥ සහ වරලත් ගණකාධිකාරි ලක්නාත් ජයවික්‍රම, කර්මාන්ත ඉංජිනේරු හා ව්‍යාපාරික හරිත් සොයිසා යන බුද්ධිමතුන් ද එක් වෙති.
 
 

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්