රට බරපතල අර්බුදයකට මුහුණදී සිටින මේ අවස්ථාවේදී අමාත්‍ය ධුර බාර ගනිමින් රට ගොඩනැගීමට ශක්තියක් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් පෞද්ගලිකව ම ඉල්ලීම් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා එසේ ඇමති ධුර බාර ගන්නා ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ, විමල් විරවංශ, විජේදාස රාජපක්ෂ, අලි සබ්රි, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ යන හිටපු අමාත්‍යවරුන් ගෙන් හා පක්ෂ නායකයකු වන ටිරාන් අලස් මන්ත්‍රීවරයා ගෙනි.

පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් බලවත් සේ කම්පනයකට පත්ව සිටින අලි සබ්රි හා රමේෂ් පතිරණ යන හිටපු අමාත්‍යවරුන් මේ අවස්ථාවේදී අමාත්‍ය ධුර බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති. ඒ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මේවනවිට පත්ව සිටින බරපතල කම්පනය හේතුවෙනි.

විමල් විරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් ඇතුළු පක්ෂ දහයේ (10) 'ස්වාධීන පක්ෂ එකමුතුව'  මේවනවිට තීරණය කර ඇත්තේ, තනතුරු බර නොගනිමින් ආණ්ඩුවට සහය දැක්වීමටයි.

 කෙසේවුවද එම සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංග නවරත්න මන්ත්‍රීවරයට අමාත්‍ය ධුරයක් බාර ගන්නා ලෙස එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජනා කර තිබේ.

ඒ අතර අගමැති රනිල්ගේ ආණ්ඩුවට එක්නොවන ලෙස ජාතික සංවිධාන ගණනාවක් විමල් වීරවංශට හා උදය ගම්මන්පිලට දැඩි ලෙස බලපෑම් කරමින් සිටිති.


“ඇමති ධූර භාර නොගෙන රට හදන්න ආණ්ඩුවට සහය දෙනවා” - ගම්මන්පිල


කෙසේවුවද 'පිවිතුරු හෙළ උරුමයේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, අමාත්‍ය ධූර භාර නොගෙන රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට සහය පළ කිරීමට 'ස්වාධීන පක්ෂ එකමුතුව' තීරණය කළ බවයි.

ඔහු මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ සමග ඊයේ  (මැයි 16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම සාකච්ඡාවේදී අගමැතිවරයා යෝජනා කළ කමිටු 15ට සම්බන්ධ වෙමින් ජනතා ගැටලු විසඳීමට සහය දෙන බව උදය ගම්මන්පිල සඳහන් කළේ ය.

“එතුමා සඳහන් කළා එතුමා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හදන්න. ඒ වගේ ම පාර්ලිමේන්තුවේ කමිටු 15ක් පිහිටුවලා, ආංශික කමිටු 10ක් සහ මුල්‍ය කමිටු 5ක් වශයෙන් කමිටු 15 පිහිටුවලා ඒ සඳහා ඇමති ධූර භාර ගන්නේ නැති දේශපාලන පක්ෂවල කමිටු සභාපති ධූර භාර ගන්න ආරාධනා කරලා, සියලු ම දෙනා රාජ්‍ය පාලනයට සහභාගී කර ගන්න. අපිට ඇමති ධූර භාර ගැනීමට කෑදරකමක් නැතත් රට ගොඩ නැගීම අවශ්‍යයි. ඒ නිසා අපි ඇමති ධූර භාර ගන්නේ නැතුව රට ගොඩ නැගීම ප්‍රයත්නයට අවංකව සාධාරණව සිට අපේ සහයෝගය ලබා දෙන බව අගමැතිතුමාට දැනුම් දුන්නා.”




පිල්ලෙයාන්ගේ සහායත් රනිල්ට


තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂය හෙවත් ටී.එම්.වී.පී. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අගමැති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ මහලේකම් පී. ප්‍රශාන්තන් පැවැසුවේ වත්මානයේ රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බැවින් එම අර්බුදයෙන් රට ගලවා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගනු ලබන ඕනෑම නිවැරදී තීරණයන්ට සිය පක්ෂය සහයෝගය ලබා දෙන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ස්ථාපිත කෙරෙන නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් ටී.එම්.වී.පී. පක්ෂයේ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශාන්තන් මේ බව කියා සිටියේය.

මේ අවස්ථාවේ දේශපාලන මතිමතාන්තර, ප්‍රතිපත්ති වෙනස්කම් ගැන සිතීමට වේලාවක් නොවන බවත් රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව අගමැතිවරයා ගන්නා නිවැරුදි තීන්දු තීරණවලට සහයෝගය ලබාදීමට පක්ෂය තීරණය කර ඇති බවත් හෙතෙම කීය.

තවද නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ පැවැත්ම පිළිබඳවද අවධානය යොමු කරමින් පක්ෂය මෙම තීරණය ගත් බවද ලේකම්රයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්