අද (18) වැනි දිනක රජයේ හමුදාවට බාරදුන් තම දුවා දරුවන්‍ සොයා දෙන ලෙස බලකරමින් උතුරේ මව්වරුන් ගෙනයන අරගලයට සහය දක්වමින්, ඒ

සඳහා ගෝඨා - රනිල් ආන්ඩුවට බල කිරීමේ වගකීමෙන් දකුණේ අරගල කරන කිසිවකුට මිදිය නොහැකිය," යයි 'රැඩිකල් මැද සාමූහිකය' (Radical Centre) අවධාරණය කර සිටියි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකල 'රැඩිකල් මැද සාමූහිකය' එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

'රැඩිකල් මැද සාමූහිකය' වෙනුවෙන් ජයනි අබේසේකර, හරේන්ද්‍රන් ක්‍රිෂ්ණසාමි, සී.එස්.කේ. කොඩිකාර හා සංජය ලියනගේ යන අයගේ අත්සනින් යුතුව අද (18) එම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.



දේශපාලන සිරකරුවන්  වහා නිදහස් කරනු !
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් සොයා දෙනු !
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු !




උතුරේ දියත් කළ යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් සිරකොට තබාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම  නිදහස් කරන ලෙසත්,  යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කර සිටින අය පිළිබදව තොරතුරු නොපමාව හෙළි කරන ලෙසත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත්  'රැඩිකල් මැද සාමූහිකය' (Radical Centre) ගෝඨාභය-රනිල් පාලනයෙන් ඉල්ලා සිටියි.

දෙමළ වර්ග සංහාරය සිහි කරන යුද පීඩිත උතුරු නැගෙනහිර දෙමළ ජනයා යුද්ධයට ගොදුරු වු දස දහස් සංඛ්‍යාත සිය ඥාතීන් මුල්ලිවයික්කාල් භුමියේදී අනුස්මරණය කිරීමට සුදානම් වන අද දවසේ අප අවධාරණය කරන්නේ, මේ වන විට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පමණක් නොව දෙමළ ජනයාට එරෙහිව සිදුවු සියලු ආකාරයේ අපරාධ වලට මාරුවෙන් මාරුවට මෙරට පාලනය කළ ආණ්ඩුව වග කිව යුතු බවයි.

" 1948 ලද නිදහසින් පසු ගෙවුණු දශක 7කට වැඩි කාලයක් පුරාවට මෙරට පාලනයට සම්බන්ධ වූ සියලු දේශපලඥයන්ගේ අඩු වැඩි දේශපාලන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයන් ලෙස මෙරට සමස්ත පුරවැසියාම අතිශය පීඩාකාරී, වේදනාකාරී ජීවිතවල උරුමකරුවෝ වෙති. ඒ අතරින් දෙමළ ජනතාව විඳි පීඩාව මහමෙරටත් වඩා බරය. 

 

අවුරුදු 13කට වැඩි කලක් තිස්සේ එම අම්මලා උත්තර නැතිව හොයන්නේ අද ජනපති ගෝඨාභය රාජපක්ෂ එදා ආරක්ෂක ලේකම් සමයේ හමුදාවට බාරදීමෙන් පසු අතුරුදහන් කරන ලද දරුවන්‍ ය. අද අගමැති රනිල් වික්‍රමසිංහ එදාත් අගමැති ලෙසින් සිටියදී සොයා නොදුන් දරුවන්‍ ය. ඒ දරුවන්‍ සොයා ගැනීමට ආන්ඩුවට බල කිරීමේ වගකීමෙන් දකුණේ අරගල කරන අපට මිදිය නොහැකිය," යි රැඩිකල් සෙන්ටර්  කැඳවුම්කාරිණී ජයනි අබේසේකර පැවසුවාය.

 

යුද්ධයේ අවසාන දින වලදී රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ ඩංගුවේදීත් යුද්ධයේ අවසන් අදියරේදීත් අතුරුදහන් කරන ලද තමන්ගේ ලේ ඥාතීන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බලපෑම්  කරමින් උතුරු නැගෙනහිර මව්වරු දින දෙදහකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩ අරගලයක යෙදී සිටිති.

ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සහ මේ පිළිබඳ වූ තවත් වාර්තා අනුව යුද්ධය අවසානයේ රජයේ ආරක්ෂක අංශ වලට පුද්ගලයන් 1,642 දෙනෙකු භාරදී  ඇති බවත්, ඔවුන්ද ඇතුළුව අදටත් ආගිය අතක් නැති පුද්ගලයන් සංඛ්‍යාව 21,171 බව සඳහන් වේ.

DSC4020

 

බලහත්කාරයෙන් අතුරුදහන් කළ තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ ආරම්භයේ වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු ජනමාධ්‍යයට වාර්තා කරන උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන් වාර්තා කර ඇති පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි  දෙමාපියන් 115 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමනට සමු දී තිබේ.

 

දකුණේ කිසිදු සහයෝගයක් නොමැතිව රජයේ ආරක්ෂක අංශ වල විවිධ බාධා කිරීම් මධ්‍යයේ කුසට නිසි අහරක් පවා නැතිව අනේක විද දුක් විදිමින්  ලංකා ඉතිහාසයේ දීර්ඝතම අරගලයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ගේ සටනට සහාය පළ කරන 'රැඩිකල් මැද සාමූහිකය' දකුණේ  අරගලකරුවන්ට මතක් කරන්නේ , අරගලයේ අරමුණ ජයගන්නා තෙක් පසු නොබැස සටන් වදින ආකාරය පිළිබදව අපි උතුරේ මව්වරුන්‌ගෙන් පාඩම් උගත යුතු බවයි.

 

"සිය සමීපතමයන්  සොයාගැනීම වෙනුවෙන්  අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට මේ දක්වා එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වු  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධයෙන්ද අපට ඇත්තේ අපැහැදීමක් පමණි. බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබා දීමට රජය ගෙන ඇති තිරණය පිළිබදව   කිසිසේත්ම සෑහීමකට පත් නොවන  'රැඩිකල් මැද සාමූහිකය' එම ක්‍රියාව දකින්නේ අපරාධ යට ගැසීමට ගන්නා උත්සාහයක් ලෙසිනි," යි කැඳවුම්කාරිණී ජයනි අබේසේකර පැවසුවාය.


''දේශපාලන සිරකරුවන් වහා නිදහස් කර මනුෂ්‍යත්වයේ දෑත් උතුරට දිගු කරන්න''


සිය  ජනතාවගේ සුජාත අයිතිය වෙනුවෙන් සටන් වැදීම නිසා වසර ගණනාවක් තිස්සේ අමානුෂික ලෙස  සිර කොට තබාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරන 'රැඩිකල් මැද සාමූහිකයේ' අප ඉල්ලා සිටින්නේ කොන්දේසි විරහිතව සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කර මනුෂ්‍යත්වයේ දෑත් උතුරට දිගු කරන ලෙසයි.



බලයේ සිටින දේශපාලනඥයන් සිය විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා ආකාරය 'රැඩිකල් මැද සාමූහිකය' විසින් අවස්ථා ගණනාවකදීම නිරීක්ෂණය කර තිබේ.

"රටේ කීර්ති නාමය ජාත්‍යන්තරය හමුවේ පවා  පළුදු කිරීමට හේතු වී තිබෙන අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස යළි යළිත් රජයට බලකරන අප තවදුරටත් අවධාරණය කරන්නේ, රටේ සියලු පුරවැසියන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසයි," යනුවෙන් කැඳවුම්කාරිණී ජයනි අබේසේකර වැඩිදුරටත් පැවසුවාය.


Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්