තෙදිනක පමණ සිට පෙට්‍රල් නිකුත්කිරීම සීමා කිරීම හේතුවෙන් මේ වන විටත් ජනතාව උග්‍ර පීඩාවකට පත්ව සිටින අතර, ඉන්ධන පිරවුම්හල් බහුතරයක

'පෙට්‍රල් නැත' යනුවෙන් සඳහන් පුවරු දැකගත හැකි ය.

එබැවින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් අසල දීර්ඝ පෝලීම් පැවතීම සුලබ දසුනක් වී ඇත.

පෙට්‍රල් සහ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ සමාගම පාරිභෝගික ඊයේ (18) ජනතාවට දැනුම් දී තිබිණ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙට්‍රල් නිකුත්කිරීම සීමා කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා වාහන හැරෙන්නට අනෙකුත් රථ වාහන පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල රැඳී නොසිටින ලෙස යි.


අද සිට පෙට්‍රල් බෙදා හැරීම සාමාන්‍ය පරිදි !


කෙසේ වෙතත් අද (මැයි19) වැනිදා සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් බෙදා හැරීම ආරම්භ කරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.

පෙට්‍රල් සඳහා උග්‍ර හිඟයක් පැවතුණත් ඩීසල් වාහන සඳහා ප්‍රමාණවත් තරම් ඩීසල් නිකුත් කරන අයුරු දැකගත හැකි ය. ඇතැම් ඉන්ධන පිරවුම් අසල වාහන පෝලිම් කිලෝමීටර් ගණනාවක් දුරට දක්නට ලැබෙයි.


"LC ඕපන් කරන්න විදිහක් නැහැ"


පවතින ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (මැයි 18) පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේ ය.

"අපිට ඩීසල් සැපයීමේ ගැටලුවක් නැහැ. නමුත් පෙට්‍රල් පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අද සහ හෙට දින දෙකේ පෝලිම්වල ඉන්න එපා," ඔහු ප්‍රකාශ කළේ ය.

 

අමාත්‍යවරයා සඳහන් කළේ මාර්තු 28 වැනිදා සිට මෙරට මුහුදු සීමාවේ සිටින පෙට්‍රල් නෞකාවට මෙතෙක් ගෙවීම් කිරීමට නොහැකි වී ඇති බව යි. මීට පෙර මිල දී ගත් ඉන්ධන තොගයක් සඳහා ද අදාළ සමාගමට ඩොලර් මිලියන 53ක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කළේ ය.

 

ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව යි. ඔහු පවසන පරිදි, ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිවීම ඊට හේතුව යි.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකටම මේ වන විට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

දැනට මෙරට මුහුදු සීමාව ඇති නෞකාවට ගෙවීම් කිරීමෙන් පසු අද හෝ හෙට දිනයේ සිට ඉන්ධන ගොඩබෑමට අපේක්ෂා කරන අතර, ලබන සිකුරාදා සිට ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් බෙදා හැරීමට නියමිතව තිබේ.

සමස්ත ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සඳහා දින තුනක පමණ කාලයක් ගතවනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය. ඒ අනුව සති අන්තයෙන් පසු ප්‍රමාණවත් තරම් ඩීසල් හා පෙට්‍රල් තොග ඉන්ධන පිරවුම්හල්වල පවතින ඇතැ යි ඔහු පවසයි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටින්නේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ඊයේ මෙරටට ලැබී ඇති බව යි. එහෙත් ඉන් ඉන්ධන මිල දී ගැනීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

kala

"ගෑස් පෝලිම්වලටත් එන්න එපා"



අයහපත් කාලගුණය නිසා, මැයි 17 වැනිදා මෙරටට ළඟා වූ නෞකාවෙන් ගෑස් ගොඩබෑමට බාධා මතුව තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ මේ හේතුවෙන් ගෑස් බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන බව යි.

එබැවින් අද දිනයේ ගෑස් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

ඕමානයේ සිට මෙරටට ළඟා වූ එම නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් මෙරටට රැගෙනවිත් ඇත. ගෑස් ගොඩබෑමෙන් පසු දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර් 80 000 බැගින් වෙළෙඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැ යි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.

 

ගෑස් නෞකා දෙකක් සඳහා ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති අතර මුදල් ගෙවීමේ ප්‍රමාදය හේතුවෙන් මීට පෙර අදාළ නෞකාවෙන් ගෑස් ගොඩබෑමට බාධා මතුවිය. ගෑස් රැගෙන පැමිණෙන අනෙක් නෞකාව අද දිනයේ මෙරටට ළඟා වීමට නියමිත අතර එමඟින් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් මෙරටට රැගෙන ඒමට නියමිත ය.

 

කෙසේ වෙතත් ගෑස් ලබාගැනීම සඳහා ගෑස් අලෙවි ස්ථානවල දිනපතාම පාහේ දිගු පෝලිම් පවතියි.

ගෑස් හිඟය හේතුවෙන් ගෘහස්ත පාරිභෝගිකයින් දරලිප් හෝ වෙනත් විකල්ප වෙත යොමුවුණත්, මහල් නිවසවල පදිංචි ජනතාවට එවැනි විකල්පයකට යෑමට ද නොහැකි ය.

භූමිතෙල් ලිප් සඳහා භූමිතෙල් සපයා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දීමටත්, විදුලි උඳුන් භාවිතා කරන්නන්ට දෛනික විදුලි කප්පාදුවෙන් බාධා පැමිණීමත් සිදුවේ.

ගෑස් හිඟය හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම බේකරි හා ආපනශාලා හිමියන්ට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. පවතින තත්ත්වය හමුවේ බොහෝ නගරවල සුළු පරිමාණ ආපනශාලා වසා දැමීමට ද ගෑස් හිඟය හේතු වී තිබේ.


(BBC සිංහල සේවය)

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්