වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන් ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන්

ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් අද (මැයි 25) නිර්දේශ කළේ ය.

ආර්ථිකය මෙහෙයවූ කිහිප දෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිසාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව කෝප් කමිටුව හමුවට අද කැදවූ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දුන්නේ ය.

මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබද විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ 2020 මාර්තු – අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ණය පහසුකම් ලබා ගැනීමට යාමේදී ඔවුන් ලිඛිතව දන්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඒවන විට ණය තිරසර බව (Debt Sustainability) නොමැති බව ය. එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එවකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බව ඔහු පැවසීය.


මේ අනුව, මුදල් පනත යටතේ අදාළ තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට අදාළ තාක්ෂණික කාරණා නිර්දේශ කර යැවූ බව ත් අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.


එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාමෙහිදී පැවසීය.



එසේ ම, 2019 නොවැම්බර් වන විට IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව IMF වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසර නොවන බවත් ඔහු දැනුම් දුන් බව පෙන්වා දුන්නේ ය.


රු. බිලියන 600ක බදු අඩු කරගැනීමක් !

එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රු. බිලියන 600ක බදු අඩු කරගැනීමක් සිදුවූ බව ද මීට පෙර IMF වාර්තාව මගින් බදු ආදායම අඩුකර නොගන්නා ලෙස උපදේශයක් ලබා දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන් ද? යන්න ඔහු විමසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පෙන්වා දුන්නේ, නව ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බව ය.

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමි වීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසන ලදී.

මේ පිළිබඳ බලය ඇත්තේ, මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපතිවරයා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ  පැවසුවේ, මහ බැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන එය ලිඛිතව දැනුම් දුන් බව ය.

නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එක ම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බව ත් මෙහිදී අනාවරණය විය.



බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහ බැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව විසින් අවධාරණය කරන ලදී.

එසේ ම, වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අදාළ විසදුම් පිළිබඳව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3-4ක කාලය සදහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුව ද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින ඉන්ධන හිගය ඇතුළු ගැටලු හමුවේ අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යාම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට ඉදිරි සති 3 සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් වහා ම සකස් කරන ලෙස ද කෝප් සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ට නිර්දේශ කළේ ය.

වත්මන් අර්බුදය විසඳා ගැනීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිදු කරන මෙහෙය පිළිබඳව ද කෝප් සභාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළේ ය.

(mawbima.lk)

 

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්