The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුග්‍රහයෙන් බුදුන් නසා අවුරුදු 41 යි

T

The Leader Desk

June 2, 2022 • 11:41 AM

 ශ්‍රී ලංකා රාජ්‍යයේ අනුග්‍රහයෙන් බුදුන් නසා අවුරුදු 41 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල බෞද්ධ ජාතිවාදී මැරයන් කළ පිළියම් කළ නොහැකි මේ සාපරාධී විනාශය එම් ඒ නුහුමාන් කිවියා විසින් හඳුන්වන ලද්දේ 'බුදුන් නැසීම' ලෙසිනි.
  • අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත ජුනි 1 වැනි බදාදා යාපනය මහ නගර සභාවේ සංවිධානත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය දෙදෙනකු සමරමිනි.
  • {gallery}Father Singer David{/gallery} පුෂ්පදීපානුස්මරණය සිදු කිරීමෙන් පසු ජනමාධ්‍යවේදීන් අමතමින් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් සදහන් කළේ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම යුද්ධය ආරම්භ වීමට පාදක වු හේතු අතර මුලික සාධකයක් වන බවයි.
  • රටේ වෙනසක් ඉල්ලා දකුණේ අරගල කරන පිරිස් ඒ සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසන විශ්වලිංගම් මනිවන්නන් තව දුරටත් සදහන් කළේ ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට එම යුද්ධය මුලික හේතුවක් වු බව ඔවුන් පිළිගත යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංහල බෞද්ධ ජාතිවාදී මැරයන් කළ පිළියම් කළ නොහැකි මේ සාපරාධී විනාශය එම් ඒ නුහුමාන් කිවියා විසින් හඳුන්වන ලද්දේ 'බුදුන් නැසීම' ලෙසිනි.

අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත ජුනි 1 වැනි බදාදා යාපනය මහ නගර සභාවේ සංවිධානත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය දෙදෙනකු සමරමිනි.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් පුස්තකාලයට මුලපිරූ කේ.එම් චෙල්ලප්පා සහ දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින් තම ජීවිතයද නිමවූ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමා ආලේඛ්‍ය ඡායාරූප අබියස කාර්ය මණ්ඩලය විසින් මල් පුදා පහන් දල්වන ලදී.

 {gallery}Father Singer David{/gallery}

 
පුෂ්පදීපානුස්මරණය සිදු කිරීමෙන් පසු ජනමාධ්‍යවේදීන් අමතමින් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් සදහන් කළේ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම යුද්ධය ආරම්භ වීමට පාදක වු හේතු අතර මුලික සාධකයක් වන  බවයි.


රටේ වෙනසක් ඉල්ලා දකුණේ අරගල කරන පිරිස් ඒ  සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසන විශ්වලිංගම් මනිවන්නන් තව දුරටත් සදහන් කළේ ශ්‍රී ලංකාව අද  මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට එම යුද්ධය මුලික හේතුවක් වු  බව ඔවුන් පිළිගත යුතු බවයි. ජාතිවාදයෙන් තොර රටක් ගොඩ නැගීම වෙනුවෙන් දකුණේ අරගල කරුවන් ප්‍රතිපත්තිමය වශයෙන් එකග විය යුතු බවත් ඔහු සදහන් කළ බව යාපනයේ වාර්තාකරුවෝ පවසති.


සිරිල් සහ ගාමිණී



දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 97,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ වත්මන් අගමැති  රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාසයි.


රනිල්ගේ සමාව

jl      ගින්නෙන් විනාශයට පත් යාපනය පුස්තකාලය යළි ගොඩනැගීමට පෙර

මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද  යාපනය පුස්තකාලය එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගිනි තැබීම සම්බන්ධයෙන්  2018 වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.


“අපේ කාලේ පුස්තකාලේ ගිනිතිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා. සමාව ඉල්ලා සිටිනවා,” යි අගමැති වරයා 2018  දෙසැම්බර් 6 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම වසරේ  අයවැය විවාදයට සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන්ද සමාව ඉල්ලා සිටින ලෙස රනිල් වික්‍රමසිංහ එදින අභියෝගයක්ද කළේය.

යුද සමයේ පල්ලි සහ කෝවිල් විනාශ කර දමන ලද බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ එදින  වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.


බුදුන් මරාදැමීම

පෙර දින රාත්‍රියේ
සිහිනයක් දුටිමි.
නීතියේ රැකවලුන් වූ
පොලීසිය විසින්
බුදුන් වෙඩි තබා නසනු.
රුධිරයෙන් නැහැවුණු
උන්වහන්සේගේ දේහය
යාපනයේ පුස්තකාලයේ
පියගැට මත තිබුණි.
අඳුරට මුවා වී
ඇමතිවරු පැමිණි පසු,
“ලැයිතුවේ නම නැති
මොහු මැරුවේ ඇයි?”
ගුගුලා විමසීය.
“නැත මැතිතුමණි,
එය වැරදීමක් නොවේ.
මොහු මරා නොදමා
මැස්සෙකුටවත් හානියක් කළ නොහැක.
ඒ නිසයි මැරුවේ”
බියගුළු හඩින් ගොත ගැසුණි.
“එහෙනම් මිනිය
හංගාපල්ලා.”
ඇමති නැවතත් හැරුණි.
සිවිල් ඇඳුමෙන් සිටි උන්,
දේහය ඇදගෙන
පොත්ගුලට වැදුණි.
අනූදහසක් පමණ වූ පොත්
දේහය මත ගොඩ ගැසුණි.
සිඟාලෝවාද සූත්‍ර පොතෙන්
පිටුවක් ඉරා
ගිනිතැබීය උන් ග්‍රන්ථ චිතකයට.
අවසානයේ,
මහා කාරුණිකයන්ගේ දේහය
දැවී හළු විය,
ධම්මපදය ද සමඟ.


– එම්. ඒ නුහුමාන්



සබැඳි පුවත් :
යාපනය පුස්තකාලය: ගිනිතබා වසර 41කට පසු ඊ-පුස්තකාලයක් බවට

 

 

 

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...