ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීනය පදනම් කරගත් Amber Adventures (Private) Limited සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ..
මෙම තීරණය පිළිබඳව එම සමාගම ඊයේ (13) ආයෝජන මණ්ඩලය (BOI) වෙත ලිඛිතව දන්වා ඇතැයි ද පැවසේ.
තාක්ෂණික ආයතනවල අනුමැතිය ලැබී තිබියදීත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් ඉදිකිරීම් කටයුතු අත්හිටුවීම ඇතුළු අත්තනෝමතික ක්‍රියා මෙයට හේතු වූ බව සමාගම පෙන්වා දී තිබෙන බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 12.75කි. ඉන් ඩොලර් මිලියන 3.5ක් මේ වනවිටත් ආයෝජනය කර අවසන් බව පැවසේ.
ශ්‍රී ලංකාව, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ආයෝජකයින් එක්ව ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික අර්බුදය පවතින අවස්ථාවේදී මෙම ආයෝජනය තහවුරු කර තිබිණ.
මෙම ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, අමාත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අවශ්‍ය සියලු ආයතනවල අනුමැතිය ලබාගෙන තිබූ බව සමාගම අවධාරණය කර තිබේ.
මෙය 'ඉදිකිරීම-ක්‍රියාත්මක කිරීම-පැවරීම' (BOT) පදනම මත සැලසුම් කර තිබූ අතර, වසර 13කට පසු රුපියල් බිලියන 5කට වඩා වටිනා මෙම පද්ධතිය නොමිලේ රජයට පැවරීමට නියමිතව තිබී ඇත.
ව්‍යාපෘතිය නිසා නායයෑමේ අවදානමක් පවතින බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන Amber Adventures සමාගම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් එම ස්ථානයේ ස්ථාවරත්වය තහවුරු කර ඇති බව සඳහන් කර ඇත.
තමන්ට සිදු වූ පාඩු අයකර ගැනීම සඳහා සමාගම දැන් ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සලකා බලමින් සිටින බව වාර්තාවේ.
ආයෝජන මණ්ඩලය (BOI) නිසි අධීක්ෂණයක් හෝ ආරක්ෂාවක් ලබා නොදීම බරපතල නියාමන අසාර්ථකත්වයක් බව පවසන සමාගම, මෙවැනි අනපේක්ෂිත පරිසරයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කරයි.
2022 වසරේ සිට ආර්ථික අස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ගැටලු නිසා ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ සමාගම් අතරට මෙම සමාගම ද එක්වේ.
මීට පෙර, වසර 60ක් මෙරට සිටි ජපානයේ මිට්සුබිෂි (Mitsubishi) සමාගම, 2022 දී කටයුතු නතර කළ ප්‍රංශයේ ඩෙකැත්ලෝන් (Decathlon) සමාගම, 2023 දී ඉවත් වූ සොමැටෝ (Zomato) වේදිකාව සහ ආන්දෝලනාත්මක සුළං බල ව්‍යාපෘතියකින් ඉවත් වූ අදානි (Adani) සමූහය ද මෙම ලැයිස්තුවට ඇතුළත්ය.
#ambuluwawatower #CableCarExperience #livesrilankanews




