1200 x 80 DMirror

වඳ සැත්කම් සිදු කළ බවට ජාතිවාදීන්ගේ චෝදනාවට ලක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ

ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මොහොමඩ් වෙත ඔහුගේ වැඩ තහනම් කර තිබූ කාලයට අදාළ හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.


ඒ අනුව, ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් විස් හය ලක්ෂ හැත්තෑ පන්දහස් අට සිය දහසය යි ශත හතලිස් අටක (2,675,816.48) මුදලක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.

ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අයත් හිඟ වැටුප් හා දීමනා ජූලි මස 10 වන දිනට පෙර යළි ගෙවන ලෙසට පසුගිය දා අභියාචනාධිකරණය කළ නියෝගය අනුව සෞඛ්‍ය අමාත්‍යංශය මෙම පියවර ගෙන තිබේ.

 

අදාළ චෙක්පත තමන් වෙත ලැබුණු බව පැවසු විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මොහොමඩ්, තමන් එම හිඟ වැටුප් භාර නොගෙන ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයට විසඳුමක් ලෙස එම මුදල් භාවිත කිරීමට තීරණය කළ බව කියා සිටියේය. 
 

ඒ අනුව, එම මුදලට සරිලන පරිදි මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගෙන ඒවා රෝහල් වෙත ලබා දීමට කටයුතු කරන බව වෛද්‍යවරයා පැවසීය.

“අපි ඒ මුදලට, සමාගම් එක්ක ඖෂධ ලැයිස්තුව අරගෙන සාකච්ඡා කරමින් ඉන්නවා ඖෂධ මිල දී ගන්න. චෙක්පත ආපහු දෙන්නේ නැතුව, ඒ ගාණට ම ඖෂධ අරගෙන දෙන්න මම තීරණය කළා.”

එළඹෙන බදාදා (ජූනි 15) දිනය වන විට එය සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මොහොමඩ් මෙසේ පැවසිය.

 
“මට තරම් ලංකාවේ ජාතිවාදයේ ඉහළින් ම චරිත ඝාතනය කරපු චරිතයක් කවුරුත් නෑ. හැමෝම දැන ගන්න ඕනේ, ජාතිවාදය තුළින් රටක් නෙමෙයි ඕනෑ ම ආයතනයක් වුණත් ඉදිරියට යන්න බැහැ. ඒ හින්දා ජාතිවාදයෙන් තුරන් රටක් බිහි කරන්න අපි උදව් කරන්න ඕනේ.
 


ජාතිවාදයෙන් මට ගැහුවා කියලා ශාප කරන්නෙත් නැහැ. වෛර කරන්නෙත් නැහැ කාටවත්. මොක ද මම ශාප කරන්න වෛර කරන්න ගියොත් කී දෙනෙක් එක්ක තරහ වෙන්න ද?

ඒ නිසා මම නිදහසේ ඉන්න ඕනේ. මගේ ජීවිතේ නිදහසේ ඉන්න ඕනේ. මම කාත් එක්කවත් තරහ නැහැ. හැබැයි, මම හැමෝගෙන් ම කාරුණිකව ඉල්ලන්න කැමතියි ආපහු මේ වගේ කැත වැඩ කරන්න එපා කාටවත්. ඕක භුක්ති විඳින්න වෙන්නේ රටේ සියලු ම දුප්පත් මිනිස්සුන්ට.

දැන් මේ කරපු අපරාධයෙන් භුක්ති විඳින්නේ අපේ ගම්වල දුප්පත් මිනිස්සු කන්න බොන්න බැරුව දුක් විඳින තරම, පෝලිම්වල රස්තියාදු වෙන තරම. කවුරුවත් බලයට ආවා කියල මේවා විසඳන්න බැහැ. ඒ හින්දා ඒ වෙනුවෙන් කඩේ ගිහින් මේ තරම් දෙවියෙකුට සමාන කරන වෘත්තියත් විකුණන් කෑවා නේ මේ අය.

අදටත් සිංහල මිනිස්සු මට වැඳගෙන එනවා. CID එක ඇතුළට ඇවිල්ලා වැඳලා ගියා. එහෙම ඉන්න පිරිසක් ජීවත් වෙන මේ රට විනාශ කරන්න මේ ජාතිවාදය පාවිච්චි කරන්න එපා දෙවියනේ.”
 
 
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කළේ යැයි යන චෝදනාව මත විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මොහොමඩ්  අනිවාර්ය නිවාඩු යවා තිබිණි.
 


අනතුරුව වෛද්‍යවරයෙකු සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු 2019 වසරේ අප්‍රේල් 25 වන දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

රුපියල් කෝටි 40කට අධික වත්කමක් ඔහු සතු බවට තොරතුරු ලැබී ඇතැයි පැවසූ පොලිසිය ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේ, 2019 වසරේ මැයි 27 වන දා ය.

ඒ අනුව, අදාළ වෛද්‍යවරයා විසින් කරන ලදැයි පැවසෙන “වඳ සැත්කම්” පිළිබඳ පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙස එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර එම වසරේ ම මැයි 26 වනදා ප්‍රසිද්ධියේ මහ ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මොහොමඩ් යළි සේවයට කැඳවීමට අභියාචනාධිකරණය පසුගිය දා තීරණය කළ අතර ඔහුට එම කාල සීමාව තුළ නොගෙවා තිබූ සියලු වැටුප් හා සෙසු සියලු දීමනා ද ගෙවීමට අධිකරණය නියම කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට හිමි හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය මෙලෙස පියවර ගත්තේ ය.

(mawbima.lk)

 


 

 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය