1200 x 80 DMirror

 
 

මෙරට සියලුදෙනාගේම පොදු සතුරා විය යුත්තේ ආර්ථික අර්බුදය බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.



'' අපි කවුරුත් වැඩ කරන්න ඕනේ ඒක පිළිඅරගෙන. 'ආණ්ඩුව' නැමැති සතුරා ඉන්නේ ඊට යටින්. 'දේශපාලන ප්‍රතිවාදීන්' සියල්ල ඉන්නේ ඊට යටින්. කේන්ද්‍රීය සතුරා තමයි ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදයට අපි වගකීම් සහගතව මුහුණ දීලා ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍යයි. ඒක ජය ගන්න බැරි වෙනවා කියන්නේ ජාතියක් හැටියට අපේ අභාවය තීරණය වන බවයි. මේ ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට වැඩෙනවා. මානව ආපදාවක් දක්වා වැඩෙනවා කියන්නේ එතැනින් එහාට මේ ග්‍රිප් එක කාටවත් ලැබෙන්නේ නැහැ, ගිලිහෙනවා කියන එකයි.'' විමල් විරවංශ පැවසුයේ පෙරේදා (ජුනි 22) පාර්ලිමේන්තුව අමතමිනි.  

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් අත්‍යවශ්‍ය ආනයන සඳහා මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 800ක මුදල උපයාගැනීම මහා දුෂ්කර අභියෝගයක් නොවන බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තුළ විශ්වාසය ජනිත කරවන භාරකාර මණ්ඩලයක් සහිත අරමුදලක් පිහිටුවීමට ද ඔහු යෝජනා කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් තෙල්, ගෑස්, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 800ක මුදල උපයාගැනීම මහා දුෂ්කර අභියෝගයක් නොවන බවත් ඒ සඳහා පළමුව ඔවුන් තුළ විශ්වාසය ජනිත කරවිය හැකි භාරකාර මණ්ඩලයක් සහිත නව අරමුදලක් පිහිටුවීමට යෝජනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසිය.


පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.


බැසිල් මහත්තයාගෙ 'ටයිකෝට් වර්ෂන් එක ?


"ගරු කතානායකතුමනි,

ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහස් දැක්වීම පිළිබඳව මට පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඉඩ දෙන්න. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාට වඩා ඔබතුමා නරකයි, කියා මා පැවසූ බව අගමැතිතුමන් පැවසුවා. මම කොතැනකවත් ඔබතුමා හෝ ඔහු සංසන්දනය කරමින් හොඳ නරක කියන්න ගිහින් නැහැ. මම කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයාගෙ 'ටයිකෝට් වර්ෂන් එක' ඔබතුමා කියලයි.

 

ඔබතුමා පැවසූ පක්ෂ දෙක පාර්ලිමේන්තුව වර්ජනය කිරීම පිළිබඳව බැරෑරුම්ව ප්‍රශ්න කළ යුතු නැහැ. අදට විතරයි වර්ජනය තිබෙන්නේ. මේ පාර්ලිමේන්තු සතිය අදින් අවසන් වෙනවා. ඒ වර්ජනය මහජනතාවට වෙන අදහසක් දෙන්න දාපු වෙට්ටුවක්.

 

අපි පිළිගන්නවා, මේ 'ආර්ථික අර්බුදය' නැමැති කේන්ද්‍රීය සතුරා සමග කරන සටනේදී අනෙකුත් සටන් දෙවැනි තැනට දාන්න ඕනේ, කියා. ඊයේ අපි රුසියන් තානාපතිතුමන් හමුවීමට ගියේ තෙල් ටිකක් අරන් දීලා ඒකෙන් ගාණක් කපන අරමුණෙන් නොවෙයිනේ. අපටත් ඕනේ අර පීඩාවෙන් තෙල් පෝලිමේ ඉන්න මිනිහව ගෙදරට යවන දිනයක් දැකගන්නයි. ඒකට රුසියන් තානාපතිතුමන් හමුවෙලා උත්සාහයක් දැරිය යුතුයි, කියා අපට හිතෙනවා. ඒකට අපි ආණ්ඩුවේ ද ඉන්නේ, විපක්ෂයේ ද ඉන්නේ, කියන එක මම නම් අදාළ කර ගන්නේ නැහැ.

ඒ නිසා අපි හැමවිටම කියන්නේ 'විධිමත් උපායමාර්ගික සැලැස්මක්, ක්‍රියාකාරී සැලැස්මක් අපට පෙන්වනවා නම් ඒකෙ අපට ඉටු කරන්න පුළුවන් භූමිකාව ඉටු කරන්න අපි විපක්ෂයේ ඉඳගෙන හෝ ලැහැස්තියි' කියලයි. ඒ අරමුණින් තමයි අපි ඒ දෙස බලන්නේ.


'අපේ වගකීම කුමක්ද?'


220623004456 01 sri lanka economy collapsed restricted 

මෙතැනදී අපි එකිනෙකා පිළිබඳව කල් තබා ඇති කර ගත්තු ආකල්ප මත ඉඳගෙන හැසිරෙන්න බැහැ. අපි ඒක ඉතාම තදින් විශ්වාස කරන දෙයක්. මේ අර්බුදය විසින් අපේ සාම්ප්‍රදායික දේශපාලනය අභියෝගයට ලක් කරලා තිබෙනවා.

 

'පාරේ පෙළපාලි' කියන ඒවා අද 'සත පහකට' ගණන් ගන්නේ නැති දේවල් බවට පත් වී තිබෙනවා. පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට ඒ පෙළපාලිවලින් ලැබෙන උත්තරය ගැන අදහසක් නැහැ.

අද මිනිස්සු ඉන්නෙ සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ තදබල කලකිරීමකින්. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා, ඒ කලකිරීම අඩුවන ආකාරයට මේ රටේ දේශපාලනයේ සිදුවිය යුතු තර්කානුකූල ඓතිහාසික වෙනස්කම් සඳහා මේ මොහොත සද්භාවයෙන් යොදාගන්න.

එහෙම නැතිව එකිනෙකාගේ අරමුණු ඉටුකර ගැනීමට නොවෙයි මේ මොහොත යොදාගත යුත්තේ.


'විශ්වාසය ජනිත කිරීම'


ගරු කථානායකතුමනි,

ඔබතුමා කීවා 'යෝජනා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න' කියා. මං පළමුව ඔබතුමාට යෝජනාවක් කරන්නම්. අපි දන්නවා විදෙස්ගතව සිටිනවා මිලියන තුනකට අධික ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක්. ඒ අතර ඇතැමුන් ව්‍යාපාරිකයන් ලෙසත් තවත් පිරිසක් රැකියාවල නියුතුවූවන් ලෙසත් ඉන්නවා. ඒ අය තුළ තදබල ආකල්පයක් ගොඩනැගී තිබෙනවා, ඔවුන් නීත්‍යනුකූල මාර්ගයෙන් එවන මුදල් මෙහෙ 'හොරා කනවා' යනුවෙන්.

ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් එම ආකල්පය වර්ධනය කිරීමට කටයුතු කරනවා. මේ රට තුළත් ඩොලර් තිබෙන පිරිස් ඉන්නවා. ඔවුන් පවා ඉන්නේ ඉහත ආකල්පය තුළයි. එහෙමනම් අපි පළමුව කළ යුත්තේ ඒ අය තුළ විශ්වාසය ජනිත කිරීමයි. විශ්වාසය ජනිත කිරීමට අපි කළ යුත්තේ කුමක්ද?

 අපි හිතමු, අපි අරමුදලක් හදනවා, කියා. මහ බැංකුව ඒ එවන ඩොලර් ටික තියා ගත්තාට කමක් නැහැ. ඒ ඩොලර් ටික වියදම් වන ආකාරය පිළිබඳව සොයා බලන්න, ආවේක්ෂණය කිරීමටයි අරමුදලක් හදන්නේ. එම අරමුදලට භාරකාර මණ්ඩලයක් පත් කරනවා. මම කියන්නේ ඒ භාරකාර මණ්ඩලයට සජිත් ප්‍රේමදාස මහත්තයා වගේම අනුර කුමාර දිසානායක මහත්තයාත් එන්න ඕනේ කියලයි. මටත් එන්න කිව්වොත් මමත් එන්නම්. ඩලස් අලහප්පෙරුම මහත්තයා වගේ කෙනෙකුත් එන්න ඕනේ. ඒ වගේ සියලු පාර්ශවල නියෝජනයක් සහිත භාරකාර මණ්ඩලයක් හදන්න.


'අරමුදල සහ භාරකාර මණ්ඩලය'

 

සාම්ප්‍රදායික දේශපාලන කෝණයෙන් බලන කොට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ආණ්ඩුවේ අභ්‍යන්තර පාර්ශ්වකරුවන් වීමට බැරි වෙන්න පුළුවන්. නමුත් මෙවැනි අරමුදලක් හදලා, භාරකාර මණ්ඩලය ඉහත කී අයගෙන් සමන්විත වුවහොත් ඒ භාරකාර මණ්ඩලයේ අනුදැනුමෙන් තොරව එම අරමුදලේ මුදල් කිසිවකට යෙදවිය නොහැකි බවට වගන්ති ඇතුළත් කළාම ඉහත කී අවිශ්වාසය නැති වෙනවා. විශ්වාසය ජනිත වෙනවා.

 

අපට පුළුවන් එම අරමුදලට වැටුප විදිහට, ආධාර විදිහට මුදල් එවන අය වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධියට පත් කරන්න. එමගින් ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න පුළුවන්. ඒ අරමුදලට දායක වන අයගේ ඥාතීන්ට ලැබෙන වාසිදායක අවස්ථා ප්‍රකාශයට පත්කරන්නත් පුළුවන්. කවර ආකාරයකින් හෝ ඔවුන් දිරි ගන්වන්න ඕනේ.


'ඩොලර් මිලියන 800 සොයාගැනීම'


කල්පනා කර බලන්න ගරු කතානායකතුමනි,

 විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් ස්ථිර පදිංචි මිලියන 1.5 සහ ශ්‍රම බලකාය මිලියන 1.8 යන දෙකම සැලකූවිට මිලියන 3.3ක්, ලක්ෂ 33ක්. එම විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ලක්ෂ තිස්තුනෙන් අඩුම තරමින් ලක්ෂ 25ක්වත් මේ ක්‍රියාදාමයට හවුල් කරගැනීමට ලැබුණොත්, ඒ විතරක් නොවෙයි මේ රට තුළත් සංචාරක ව්‍යාපාරය වැනි ව්‍යාපාර මගින් ඩොලර් උපයන පිරිස ද මේ ක්‍රියාදාමයට දායක කරගැනීමට ලැබුණොත් අපට මේ මසකට අවශ්‍ය ඩොලර් මිලියන 750 - 800ක මුදල සොයාගැනීම මහා දුෂ්කර අභියෝගයක් වේවි, කියලා මම නම් හිතන්නේ නැහැ.

බලන්න මෙතැනදී කරන්න තිබෙන්නේ පළමුව විශ්වාසය ජනිත කිරීම. දෙවනුව එම අරමුදලට දායකවන්නන් දිරිගන්වනසුලු පැකේජයක් යෝජනා කිරීම. එච්චරයි කරන්න තිබෙන්නේ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි.


'තෙල් පෝලිම්වල උතුරන මනුෂ්‍යත්වය'





ගරු කතානායකතුමනි,

මේ රටේ මාධ්‍ය මඟින් තෙල් පෝලිම්වල උතුරන මනුෂ්‍යත්වය පෙන්වන්නේ නැහැ. අර හෙල්මට් බලකායෙන් ඇවිත් අල්ලන ගෝරිය විතරයි පෙන්වන්නේ. දැන් හෙල්මට් බලකායක් ඉන්නවානේ තෙල් පෝලිම වෛරයෙන් ඉන්නවා වගේ පෙනෙනවා නම් මොකක්හරි 'පොයින්ට් එකක්' දාලා ගෝරි අල්ලන. නමුත් තෙල් පෝලිමේ තිබෙනවා උතුරන මනුෂ්‍යත්වයක්. කෑම එකක් ගෙනැවිත් හතරදෙනෙක් බෙදාගෙන කනවා, තැඹිලි ගෙඩිය බෙදාගෙන බොනවා. එතැනදී අලුත් මානව සබඳතාවන් ගොඩනැගෙනවා.


මම මේ කියන්නේ තෙල් පෝලිම හොඳයි කියලා නොවෙයි. අපේ මිනිස්සු මේ විපතටත් මුහුණදෙන්නෙ ධනාත්මකව. එහෙම මිනිස්සු ඉන්න රටක අපට ඇයි මේ ආර්ථික අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කරගන්න බැරි? අර්බුදය, පුනරුදය බවට පෙරළාගන්න පුළුවන්. අපට ලකුණු දාගන්න ඕනෙ නැහැ. කවුරු ලකුණු දාගත්තත් අපට කමක් නැහැ. නමුත් අපට තිබෙන වේදනාව මේ අර්බුදය පුනරුදයේ මොහොත බවට පෙරළාගන්නා බවක් පෙනෙන්නට නැති වීමයි. එහෙම දැක්මක්, නායකත්ව මගපෙන්වීමක්, උපායමාර්ගික සැලැස්මක් ඇති බවක් අපට පෙනෙන්නේ නැහැ.



'පළමු කොන්දේසිය'


අද අගමැතිතුමාගේ කතාවේදී මොනවාද කීවේ? අයි.එම්.එෆ්. සමග සාකච්ඡාව, චීනය, ජපානය හා ඉන්දියාවෙන් ණය ගැනීම හැරුණාම 'ගෙවතු වගා' වැනි දේවල් ටිකකුත් කීවා.

නමුත් ගරු අගමැතිතුමනි, මෙතැන තිබෙන පළමු කොන්දේසිය තමයි විශ්වාසය තහවුරුකර ගැනීම. අද අපේ ජන සමාජය සහ දේශපාලනතන්ත්‍රය අතර තිබෙනවා මහා විශාල විශ්වාසය පළුදුවීමක්, බිඳවැටීමක්. ඒ පළුදු වූ විශ්වාසය යළි තහවුරු කරන්න ගන්න ඕනේ පියවර මොනවාද? ඒකට නිර්මාණශීලීව හිතන්න වෙනවා.

මම ඉහතදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ගෙන්වා ගැනීම පිළිබඳව පෙන්වා දුන්නේ එවැනි නිදසුනක්. මම විශ්වාස කරනවා අපේ විදෙස්ගත ලක්ෂ 33 අවදි කරලා ගත්තොත් ඔවුන් තුළ විශ්වාසය ජනිත කළොත් අපට මාසිකව අවශ්‍ය ඩොලර් මිලියන 800 හොයන්න වෙන කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ, කියා. එහෙම වුණොත් ඉස්පිරිතාලේ බෙහෙත් නැතිව අර සර්පයා ගහපු දරුවා වගේ දරුවන් මිය යන්නේ නැහැ.


'බොහොම විවෘත - දයාබරිත හදවත්'

 

අපි හිතමු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 33න් ලක්ෂ 25ක් මේ වැඩේට දායක කරගත්තා කියලා. ඔවුන් එක් අයෙක් මාසයකට රුපියල් ලක්ෂය බැගින් එව්වොත් රටට ඩොලර් මිලියන 750ක් ලැබෙනවා රුපියල් ලක්ෂ දෙක බැගින් එව්වොත් රටට මාසිකව ඩොලර් මිලියන 1500ක් ලැබෙනවා.

 

අපේ රටේ විදේශගත වෙලා ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් හැදුණු වැඩුණු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ හිතේ තිබෙනවා 'මම මේ රටට ණයයි' කියන හැඟීම. ඒ නිසා එවැනි මිනිස්සු කවදාවත් කැමති වෙන්නේ නැහැ, තමන්ගේ අම්මා, තාත්තා, ඥාතියා, හිතවතා පෝලිමේ ඉන්න කොට තමන්ගේ ඩොලර් ටික පෙට්ටගමක දාලා තියාගෙන ඉන්න. ඒ හදවත් බොහොම විවෘත, දයාබරිත හදවත්. මුලින්ම ඒ හදවත්වලට ආමන්ත්‍රණය කරන්න.


'මිනිස් පවුරට ආමන්ත්‍රණය කරන්න'



ඔබතුමා ඉදිරිපත් කළ විදිහටත්, මින් පෙර කියැවුණු විදිහටත් ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක් පමණ, ගෑස් සඳහා ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු ගණනක්, ඖෂධවලට ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු ගණනක්, පොහොරවලට ඩොලර් මිලියන 50ක් හෝ ඊට අඩු ගණනක්, ධාන්‍යවලට මිලියන 10ක් ආදී වශයෙන් මසකට ඩොලර් මිලියන 800ක් අවශ්‍යයි.

මේ ඩොලර් මිලියන 800 දෙන්න මොන තරම් විශාල මිනිස් පවුරක් ඉන්නවාද? ඇයි අපි ඒ මිනිස් පවුරට ආමන්ත්‍රණය නොකරන්නේ?


'අර්බුදය, පුනරුදයේ මොහොත බවට...'

 

සමහරු හිතනවා 'අයි.එම්.එෆ්. - අයි.එම්.එෆ්' කියමින් සිටියාම 'මේක ගොඩ යයි' කියලා. මොකක් හරි වෙයි. මම ඒ දිහා සෘණාත්මකව බලන්නේ නැහැ. මට එහෙම අවශ්‍යත් නැහැ. හැබැයි ඒ උපායමාර්ගයෙන් පමණක් මෙතැනින් එළියට එන්න බැහැ. මහා බලවේගය තමයි අපේ මිනිස්සු. ඒ මහා බලවේගය අවදි කිරීම අත්‍යවශ්‍යයි. ඒ මහා බලවේගය අවදි කිරීමෙන් පමණයි මේ අර්බුදය පුනරුදයේ මොහොත බවට පෙරළාගත හැක්කේ.

 

'සබුද්ධික වෙන්න...'


මීට ඉහතදී සංචාරක ව්‍යාපාරයෙන් අපි වාර්ෂිකව ඩොලර් බිලියන 05ක් පමණ හෙව්වා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 07ක් පමණ  ලැබුණා. අපට හරියට මැදිහත් වුණොත් එය ඩොලර් බිලියන 12ක් කරගන්න පුළුවන්. ඔය විරෝධතාවලින් සිදුවන්නේ එය අඩු කිරීම මිස වැඩි කිරීම නොවෙයි.

මෙතැනදී අපි සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. අර 'අන්තරේ' දරුවො ටික එක්කන් එනවා, පෙරළනවා, යනවා. ඒ දරුවන්ගේ කාලයත් අපතේ යනවා. මේ වෙලාව කියන්නේ සබුද්ධික වෙන්න ඕනේ වෙලාවක්.

මනූෂ නානායක්කාර මැතිතුමා හෝ හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඇමතිකමක් අරගෙන සිටීම ගැන මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට පුළුවන් කියා හිතෙන දෙයක් කරන්න. නමුත් මේ වෙලාව 'මාටියා ගැසීමේ වෙලාව' බවට පත්කර ගැනීමට ඉඩ නොදිය යුතුයි.

ගරු අග්‍රාමාත්‍යතුමනි, මම කැමති නැහැ අනවශ්‍ය අවිශ්වාසයක් නිර්මාණය කරන්න. නමුත් මේ වෙලාවෙත් සමහර පුද්ගලයෝ උත්සාහ කරන්නේ 'මොකක් හරි ඩීල් එකක් දාලා' කීයක් හරි හොයාගන්න. මම මේ කියන්නෙ දේශපාලනතන්ත්‍රයත් සමග ගෑවුණු පිරිසක් ගැනයි. දෙවන පෙළක් ගැනයි එහෙම වුණොත් මහජනයා තුළ විශ්වාසය යළි ජනිත කිරීමට කිසිවකුටත් හැකි වන්නේ නැහැ.


'ආහාර සුරක්ෂිතතාව'

image

අපි සිංගප්පූරුව ගැන කතා කරනවා. එහි තිබෙන්නේ වර්ග කිලෝමීටර් 728ක පමණ භූමි ප්‍රමාණයක්. ලී ක්වාන් යූ  මුලින් කීවේ, 'සිංගප්පූරුව ලංකාව වගේ කරනවා' කියලයි. දැන් අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා, 'ලංකාව සිංගප්පූරුවක් කරනවා' කියලා. හැබැයි සිංගප්පූරුවේ කෘෂිකර්මාන්තය දළ ජාතික නිෂ්පාදිතයට දායක වන්නේ 0.5%කින්. ආහාර ද්‍රව්‍යවලින් 90%ක්ම ආනයනය කරනවා. නමුත් අද ආහාර සුරක්ෂිතතාව අතින් ලෝකයේ රටවල් 113කින් 15වැනි තැනට පත්වීමට සිංගප්පූරුවට හැකිවී තිබෙනවා.

හැබැයි සිංගප්පූරුව 2019 ආරම්භ කළා '30 බයි 30' කියන වැඩසටහන. එමගින් 2030 වනවිට තමන්ගේ ආහාර අවශ්‍යතාවෙන් 30%ක් තමන්ගේ රට තුළ නිෂ්පාදනය කිරීමට නියමිතයි. සිංගප්පූරුවේ වවන්න තැනක් නැහැ. ඔවුන් දැන් නවීන වගා ක්‍රම හඳුන්වා දෙමින් නාගරික මහල් ගොඩනැගිලි හරිත පැහැ ගන්වනවා.

අපේ රටේ සිටි එක් මුදල් ඇමතිවරයකු වූ රවී කරුණානායක මහතා වරක් කීවා, 'මේ රටේ වී වගා කරලා වැඩක් නැහැ. ඊට වඩා අඩුවෙන් පිටරටින් සහල් ගෙන එන්න පුළුවන්' කියා. ඒක නොවෙයි ආහාර සුරක්ෂිතතාව කියන්නේ. මේක රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනයා අවදි කළ යුතු වෙලාව. ඒ නිසා අපි මේ අර්බුදය දෙස බලන්නේ ධනාත්මකව. එහෙම නැතිව ඒකෙන් අපට පොටක් පාදා ගන්නේ කොහොමද, කියලා නොවෙයි.

 හැබැයි කවුරුත් ඒ මනසින් මේ අර්බුදයේ දෙස බලලා ඉන් ගොඩයෑමට උත්සාහ දරන බවක් අපට නම් පෙනෙන්නේ නැහැ ඒක තමයි කනගාටුවට කරුණ"



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58