අත්වීමට යන බිහිසුණු ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා සියලු දේශපාලන බලවේග එක්සත් වියයුතු බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.


එම ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය එම කාරණය අවධාරණය කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.


''ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට ජාතිය අමතමින් රටට ඉතාමත්ම වැදගත් වූ ප්‍රතිඥාවක් ලබාදී තවමත් දෙපෝයක් හෝ ගතවී නැත. ඉතාමත්ම මෑත කාලයකදී එතුමා රට හමුවේ ලබාදුන් එකී පොරොන්දු යථාර්තයක් බවට පත්නොකරන බව අද වනවිට පවතින ක්‍රියාකාරීක්වයන් අනුව පැහැදිලි වෙමින් පවති.

22 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා මේ රටේ සිවිල් සමාජ බලවේගයන් හා දේශපාලන පක්ෂ ඉල්ලා සිටින සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පවතින පැහැදිලි දුරස්ථභාවය මගින් ඒ බව ඉතා පැහැදිලිය. ''


ඒ අනුව 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' ප්‍රථමයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ 2022 මැයි මස 11 වනදින ජාතිය අමතමින් රටට ලබාදුන් ප්‍රතිඥාව නොපමාව යථාර්තයක් කරන ලෙසටයි.


''එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ආණ්ඩුව ප්‍රදර්ශණය කරමින් සිටින අරමුණ හා රටේ පොදු අපේක්ෂාවන් අතර දක්නට ඇති පරතරය සැලකීමේදී අපට ඒ පිළිබදව සාධාරණ විශ්වාසයක් තබාගත නොහැකි බවද එතුමාවෙත වගකීමකින් යුක්තව දැනුම් දෙන්නෙමු.

එබැවින් මේ රටේ අනාගත සුබසෙත උදෙසා පෙනී සිටින වගකීමක් ඇති සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාව තුළ අත්‍යවශයෙන්ම කළයුතුව ඇති දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා වන අපගේ අපේක්ෂාවන් හා ඒ තුළ ගතයුතුව ඇති ක්‍රියාමාර්ග අත්හැර දැමීමට අප කිසිසේත්ම සූදානම් නොමැති බව අවධාරණය කරන අතරම අප මේ මොහොතේ රටේ සියලුම දේශපාලන පක්ෂ හා නායකයන්ගෙන් හා සිවිල් සමාජ ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව පැවැති මූලික අන්තර්ගතය යළි බලාත්මක කරගැනීම සදහා ඒකාබද්ධව පෙනී සිටින ලෙසටය.

ඊට අමතරව රටතුළ උද්ගතව ඇති දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදයට නොපමාව පිළියම් යෙදීමේ අතිශය බරපතල වගකීම කෙරෙහිද අප බලවත් ලෙස අවධානය යොමුකරන්නෙමු. ඒ සදහා කඩිනම් ප්‍රායෝගික දේශපාලන වෙනසකට මේ රට යොමු නොකල හොත් ඇතිවිය හැකි බිහිසුණු හා ඛේදනීය තත්වයන් පිළිබදව ද රටේ සියලුම දේශපාලන බලවේගයන් වෙත අනතුරු අඟවන්නෙමු.''


රජය හා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකත්වයන් තම වගකීම නිවැරදිව හදුනාගනිමින් එය නොපමාව ඉටුකිරිමට යම් හෙයකින් හෝ අපොහොසත් වුවහොත් රටතුළ දැන් පවතින අවාසනාවන්ත තත්වයට වඩා බිහිසුණු හා ඛේදනීය තත්වයකට ඇදවැටිය හැකි අතර එවැනි තත්වයකට රට යොමුකලහොත් එහි වගකීම ඒ සියල්ලන් වෙතම පැවරෙන බවද කරු ජයසුරිය අවධාරණය කර සිටියි.


''ඒ අනුව මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා මහජන නියෝජිතයන් වෙත අප අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදයට මේ මොහොතේ ගතයුතු ව ඇති මූලික විසදුම් ලබාදිම සදහාත් රටේ අනාගත යහපැවැත්ම සහතික කරනු උදෙසාත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවන්හි විශ්වාසය දිනාගතහැකි වන ආකාරයට වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසටය.



''එහිදී අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා මේ වනවිට අවස්ථා දෙකකදීම ඉදිරිපත් කරඇති යෝජනාවන්ට අපගේ පූර්ණ අනුකූලතාවය දක්වන අතරම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා සිවිල් සමාජ සංවිධාන ද ඇතුලු විද්වත් වෘත්තික සංවිධාන ගනණාවක් විසින් ඉදිරිපත් කරඇති යෝජනා ඒ සඳහා පදනම් කරගන්නා ලෙසද ඉල්ලා සිටින්නෙමු.''



සර්ව පාක්ෂික ආණ්ඩුවේ අරමුණු හා වගකීම් :



# එකී සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් කාල පරාසය උපරිම ලෙස වසරකට හෝ වසර එකහාමාරක් වැනි කෙටි කාල පරිච්ජේදයකට සීමා වියයුතුව තිබේ.

# ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය හා ආධාර පදනම් කරගනිමින් රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලබාගැනීම එහි මුඛ්‍ය අරමුණ විය යුතුව ඇති අතර රටේ යහපැවැත්ම උදෙසා සම්පූර්ණ කළයුතුව ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා මූලික පියවර ගැනීම එහි ද්විතීය අරමුණ විය යුතුය.

# එවැනි නිශ්චිත හා සීමා සහිත වගකීමක් පමණක් එකී සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත පවරා දිය යුතු අතර එහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ වසරක් හෝ වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පවත්වා රටට ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව සලසා දීමය.

# ඊට පෙර රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පාර්ලිමේන්තුවේ නිසි අනුමැතිය ලබාගනිමින් මහ මැතිවරණයට සමගාමීව අවශ්‍ය වන්නේ නම් ජනමත විචාරණයක් කැඳවීම ද එකී සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත පැවරිය යුතුව ඇති වගකීම වන්නේය.



මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය උදෙසා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාරය නියෝජනය කරන පිරිසකින්ද සමන්විත නියෝජිත පිරිසක් නම් කරගනිමින් නොපමාවම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර පැහැදිලි එකඟත්වයකට පැමිණිය යුතුව ඇති අතර එකී එකඟත්වය දින 10 හෝ ඊට පෙර ඇතිකරගත යුතුව තිබේ.


මේ පිළිබඳව කඩිනමින් හා බලවත් උනන්දුවකින් යුතුව මැදිහත් වෙමින් රටට ඉදිරියේදී අත්විය හැකි අතිබිහිසුණු ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදාගැනීම උදෙසා කටයුතු කරන ලෙස මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය', ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා ආශිර්වාදය ලබාදෙමින් පෙරට එන ලෙස අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ද, කතෝලික, ක්‍රිස්තියානි මෙන්ම හින්දු හා ඉස්ලාම් සියලුම ආගමික නායකත්වයෙන් ද සිවිල් හා දේශපාලන ව්‍යාපාරයන්ගෙන් ද බැගෑපත්ව ඉල්ලා සිටියි.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්