ජනතාව පෙළෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව මේ වනවිට

නොයෙක් කුමන්ත්‍රණ දියත් කරමින් බියගුළු ලේ වැකි ක්‍රියාවලියකට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අනතුරු ඇඟවීය.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී මෙයට අදාල සාක්ෂි සහිතව ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කළේය.

පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපිය, ජවිපෙ සහ එහි නායක අනුර දිසානායක සම්බන්ධ කරමින් සකස් කරනලද ව්‍යාජ වීඩියෝපටය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අන පරිදි මෙහෙයවියහැකි අතුරුහමුදාවක් පිහිටුවීම ආදී කරුණු තර්කානුකූලව ගත් කළ ආණ්ඩුවේ මෙම සැලසුම පිළිබඳව සැක මතුවන බව ඔහු පැවසීය.

එම මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා මෙසේ කරුණු පැහැදිලි කළේය.


''ගෝඨාභය – රනිල් ආණ්ඩුව ජනතාවගේ මූලික වුවමනා ඉටුකරන්න අසමත් වුණු පාලනයක් බව තහවුරු වී අවසන්. යම් ජන කොට්ඨාසයක් රනිල් වික්‍රමසිංහ මැදිහත් වී ප්‍රශ්න විසඳයි කියා විශ්වාස කළා. ඔහු පත්වන විට තිබුණාටත් වඩා භයානක තත්වයක් දැන් තිබෙන්නේ. මේ නිසා ගෝඨා – රනිල් ආණ්ඩුව පළවා හැරීමට උද්ඝෝෂණ මාලාවක් දියත්කර තිබෙනවා. අපේ පක්ෂය මූලික කරගෙන ප්‍රධාන නගර පහක උද්ඝෝෂණ මාලාවක් දියත් කළා. ඉදිරියේදිත් තවත් නගර ගණනාවක දියත් කරනවා.

ඒ වගේම තවත් විවිධ සංවිධාන සහ දේශපාලන පක්ෂත් අපිට අනුබද්ධ භික්ෂු ව්‍යාපාරය, ගොවි ව්‍යාපාරය, වෘත්තීය සමිති ව්‍යාපාරය, තරුණ ව්‍යාපාරය ඒකාබද්ධවත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග දියත් කරමින් තිබෙනවා.

ජනතාවගේ සාධාරණ ඉල්ලීම් කරුණු දෙකක් මත පදනම් වෙනවා. ජනතාව පත්ව සිටින පීඩාකාරිත්වයෙන් මුදා ගැනීමට ආණ්ඩුව වහාම පිළියම් යෙදීම හෝ එසේ අසමත් වීම තුළ ජනතාවට සිදුවී තිබෙන්නේ නොවැළැක්විය හැකි ආකාරයෙන්ම ගෝඨා-රනිල් ආණ්ඩුව පළවා හැරීමට ක්‍රියා කිරීමයි.



ආණ්ඩුවේ අසමත්කම නිසා එය පළවා හැරීමේ විශාල උද්ඝෝෂණයක් ගෝල්ෆේස් පිටිය පදනම් කරගෙන 09වැනිදා සූදනම් කර තිබෙනවා. ඒ සඳහා අපි පොදු ජනතාවට සහාය වෙමින් මැදිහත් වෙනවා.


ආණ්ඩුව ජනතා නැගිටීම්වලට මුහුණ දෙන්නේ පොලිසිය, හමුදාව යොදවා අමානුෂික ලෙස පහර දී, එළවා දැමීම, බියවැද්දීම වැනි ක්‍රියාමාර්ගවලිනුයි. ඊට අමතරව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වටා අතුරු බලකායක් ගොඩනැගීමට තීන්දු කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ අණ පිළිපදින ග්‍රාම ආරක්ෂකයින් පස්දෙනෙක් ඔවුන් වෙත යොදවන්න තීරණය කර තිබෙනවා.

මේ කරුණු දෙකට අමතරව තුන්වෙනුව පසුගිය 27වැනිදා පොලිස්පති විසින් ආරක්ෂක ලේකම් වෙත යවන ලද ලිපියෙන් 05, 06 දෙදින පවත්වන කළුකොටි සැමරුම ඉලක්ක කරගෙන උතුරේ සහ දකුණේ බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබෙන බවත්, එයට විදෙස් රහස් ඔත්තු සේවයත් කටයුතු කරමින් එල්.ටී.ටී.ඊ.ය පිට පැටවීමට සූදානමක් තිබෙන බවත්, ලිඛිතව දැනුම්දී තිබෙනවා.

ඊට අමතරව අපේ පක්ෂයත් තවත් පක්ෂයක් සඳහන් කරමින් මන්ත්‍රීවරුන්ට පහරදීම, දේපළවලට හානි කිරීමට සැලසුමක් තිබෙන බවත්, පොලිස්පතිවරයා ඒ ලිපියෙන් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා මීට පෙර මාධ්‍ය හමුවේත්, 05වැනිදා පාර්ලිමේන්තුවේදීත් විශේෂයෙන් කරුණු දැක්වූවා.

පොලිස්පතිවරයා මේ ලිපියට පදනම් කරගත් කරුණු රටට හෙළි කළ යුතුයි. මේ ලිපිය පොලිස්පතිවරයාගේ හිතළුවක්ද? නැත්නම් ආණ්ඩුව විසින් පොලිස්පතිවරයාට දැනුම්දීමේ ප්‍රතිඵලයක්ද? මෙවැනි ව්‍යාජ, භයානක ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් පිළිබඳව සම්පූර්ණයෙන් වගකියන්න ඕනෑ.


ඉතාමත් භයානක වීඩියෝ පටයක් ..

මේ සියලු කරුණුවලට වඩා ඉතාමත් භයානක වීඩියෝ පටයක් 05වැනිදා සිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. එහි තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ යම් කෙනෙක් පක්ෂයේ සාමාජිකයන්ට පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමයි. 09වැනිදාට එම බෝම්බ ශරීරයේ බැඳගෙන ජනාධිපති කාර්යාලය වටලන ලෙසත් ජනාධිපතිවරයා පළවා හරින ලෙස මාගේ උපදෙස් ලැබී තිබෙන බවත්, ජනාධිපති පළවා හැරීමෙන් අනතුරුව මාව ජනාධිපති ධුරයට පත්කරන බවත් සටහන් වී තිබෙනවා.



මෙය අතිශය භයානක නිර්මාණයක්. ජනතා නැගිටීම් බෝම්බ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීමේ සැලසුම් තිබෙන බව, ඝාතනය කිරීමේ සැලසුම් තිබෙන බව සහ ජනතා විමුක්ති පෙරමුණ ඒවා මෙහෙයවන බවට සමාජයට පණිවිඩයක් දීමේ අරමුණ මේ වීඩියෝ පටයේ තිබෙනවා.


දැන් තාක්ෂණය ඉහළයි. ආණ්ඩුව වහාම මේ වීඩියෝව නිර්මාණය කළේ කවුද, එය සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කළේ කවුද කියලා පරීක්ෂණවලින් සොයාගත යුතුයි. ඊයේම මම පොලිසිය භාර අමාත්‍යවරයාට කතාකොට මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියා. අද දිනයේ අපේ නීතීඥ කණ්ඩායම් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම වීඩියෝව භාරදෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, වීඩියෝ නිර්මාණය කළේ කවුද? හඬ කාගේද, සමාජ ජාලාවලට නිකුත් කළේ කවුද යන කරුණු රටට ඉදිරිපත් කළ යුතුයි.

ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ භයානක බියගුලු, ලේ වැකි කුමන්ත්‍රණයකටයි. ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන් සමහර අවස්ථාවල ලංකාවේ ලෝකයේ බොහෝ රටවලත් පාලකයන් මෙවැනි ලේ වැකි කුමන්ත්‍රණ සිදුකර තිබෙනවා. ජනතාවගේ සාධාරණ නැගිටීම් බියගන්වන්න කුමන්ත්‍රණකාරී ලෙසත් අවලාදකාරී ලෙසත් දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කරනවා. පොලිස්පතිවරයාගේ මෙම ලිපියත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආයුධ ඉල්ලීමත්, මේ වීඩියෝ පටයත් තුළින් එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ බරපතළ සැකයක් මතුවෙනවා.



කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට අදාළ කරුණු සියල්ල රටට හෙළිදරව් කළ යුතුයි. ජනාධිපතිවරයාට විරුද්ධව කුඩා පෝස්ට් එකක් දැම්මත් එක රැයෙන් තරුණයන්ව අත්අඩංගුවට ගත් අවස්ථා තිබුණා. කුඩා හඬ පටයක් සම්බන්ධයෙන් බියවද්දා අත්අඩංවට ගත් අවස්ථා තිබුණා. මෙම වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු සොයාගත නොහැකි වුණොත් එය ආණ්ඩුවේ වැඩක් බවට අපට සාධාරණ සැකයක් මතුවෙනවා.




 ගෝඨාභය-රනිල් විකෘති කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් බව තහවුරු වෙනවා. මෙය ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක් නොවේ නම්, කවුරු විසින් නිර්මාණය කර, සමාජ ජාලාවලට නිකුත් කලේද යන්න රටට හෙළිකළ යුතුයි.

ගෝඨාභයගේ ආණ්ඩුවට අපි කියන්නේ මෙවැනි විහිළුකාරී මාරාන්තික දේවල්වලින් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා කියලයි. මෙවැනි බියගුලු ක්‍රියා හරහා ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගන්න, ව්‍යාජ චිත්‍රයක් නිර්මාණය කරන්න, ගොඩනැගෙමින් තිබෙන ජනතා විශ්වාසය පළුදු කරන්න උත්සාහ කරනවා නම් එය අසාර්ථක උත්සාහයක් බව ගෝඨාභය තේරුම්ගත යුතුයි.

ආණ්ඩුවට මෙවැනි තත්වයක් නිර්මාණය කරන්න අවශ්‍ය වී තිබෙන බවට සාධාරණ සැකයක් අපට තිබෙනවා. මනුෂ නානායක්කාර ඇමතිවරයාත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වුවමනාව වෙනුවෙන් කරුණු දක්වා තිබෙනවා.

මෙවැනි තත්වයක් ඇති කිරීමට අපට හෝ අරගලයේ සිටින ව්‍යාපාරවලට හෝ පුද්ගලයන්ට ගැටුම්කාරී තත්වයක් අවශ්‍ය නැහැ. අපි අවස්ථා ගණනාවකදී උද්ඝෝෂණවල යෙදෙන්නන් උපරිම සාමකාමිත්වය ආරක්ෂා කර ගන්නා ලෙස අවධාරණය කර තිබෙනවා. ගල් කැටයක්වත් අතට නොගන්නා තත්වයට සංවිධානය වෙන්න කියලා අවධාරණය කර තිබෙනවා. ඉදිරියේදී දියත් වන උද්ඝෝෂණවලදී ජනතාවට ඉතාම සාමකාමීව කටයුතු කරන ලස අවධාරණය කරනවා.

ආණ්ඩුව බියගුලු ලේ වැකි කුමන්ත්‍රණකාරී කටයුතුවලට සූදානම් වන බව පෙන්නුම් කරමින් තිබෙනවා. මෙවැනි බාල, බොළඳ කුමන්ත්‍රණවල නියැළීමෙන් තොරව ජනතාවගේ හඬට ඇහුම්කන් දී ඉවත්වී යන ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කරනවා.”



මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ජවිපෙ නායකයා මෙසේ ප්‍රතිචාර දැක්විය.


ප්‍රශ්නය:-
වීඩියෝව නිකුත් කිරීමට අදාළ යම් තොරතුරු ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවාද?

පිළිතුරු:-
ඔව්. ඒ සම්බන්ධයෙන් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්න සූදානම්.



ප්‍රශ්නය:-
අගමැති ධුරය භාරගැනීමට වැඩපිළවෙළක් තිබෙනවා නම් එය ලබාදීමට සූදානම් බව වර්තමාන අගමැතිවරයා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබෙනවාද?


පිළිතුර:-
එය බාරගන්න මා සූදානම්. අගමැතිත්, ජනාධිපතිත් ඉල්ලා අස්වෙන්න ඕනෑ. අපි ඉන්ද්‍රජාලිකයන් නොවන බව හැමදාමත් කියනවා. අද පවතින ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර හිඟකම්, පාසල් වසාදැමීම්, වගේ තත්වයන්ට කෙටි කාලයක් තුළ පිළිතුරු ලබාදී ජන ජීවිතය යථාවත් කරන්න අපි ලැහැස්තියි. අපේ පක්ෂය තනිවම නොවෙයි. මේ රටේ පොදු ජනතාව එයට සහයෝගය දෙන බව විශ්වාසයි. විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්, අපේ රටේ ව්‍යවසායකයන්, රාජ්‍ය සේවකයන් සියලු දෙනාම සහාය දෙන බව විශ්වාසයි.

ජනතාවගෙන් ඈත්වුණු නායකයන්ට මෙවැනි අර්බුදයකින් ගොඩ එන්න බැහැ. අපේ ව්‍යාපාරය වගේම ශ්‍රී ලාංකිකයන් ඔක්කෝම එකතු වෙලා කෙටි කාලයක් තුළ මූලික ප්‍රශ්න සමතයකට පත්කරනවා.

ඒ කාට හෝ දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරන්න ජනවරමක් නැහැ. මාස හයක් වැනි කෙටි කාලයක් තුළ සමාජ කඩාවැටීම යථාවත් කර මහ මැතිවරණයකින් ජනවරමක් මගින් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. ආර්ථිකයේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයෙන් රට ගොඩගත හැකි වන්නේ ඒ අලුත් ආණ්ඩුවටයි.

ඔළුගෙඩි මාරු කිරීමෙන් මේ අර්බුදයන්ට උත්තර සොයන්න බැහැ. අපේ සැලසුම තිබෙන්නේ පියවර තුනකින්. ආණ්ඩුව යන්න ඕනෑ. කෙටි කාලයක් තුළ මේ තත්වය යථාවත් කරන්න ඕනෑ. මාස හයක් තුළ ඡන්දයක් පවත්වා ජනවරමකින් පත්වන ආණ්ඩුව දිගුකාලීනව රට ගොඩගන්න ඕනෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යන්න. අපි ලැහැස්තියි බාරගන්න.



ප්‍රශ්නය:-
මේ ජනාධිපති යටතේ ඔබ අගමැතිකම භාරගත්තොත් ඔහුවත් අයින් කරනවාද?

පිළිතුර:-
ඔව්. ඔහු තියාගෙන වැඩකරන්න බැහැ. මේ ඉන්නේ අවලංගු වුණු ජනාධිපතිවරයෙක්. එයා ව්‍යවස්ථාවේ නීත්‍යානුකූලව එල්ලී ඉන්නවා. ඒ නීත්‍යානුකූලභාවයත් කපලා දාන්න ඕනෑ නම් අපි ඒ ගැනත් සලකා බලමු.


ප්‍රශ්නය:-
ඔබ ඉන්නේ අගමැති හීනයක කියලා කවුරු හරි කිව්වොත්?


පිළිතුර:-
අපොයි නැහැ. තනතුරු, තාන්නමාන්න, වරප්‍රසාදවලට අපි බැඳිලා නැහැ. මතක තබා ගන්න. අනික් දේශපාලන ව්‍යාපාර මනින මිම්මෙන් අපිව මනින්න එපා.



ප්‍රශ්නය:-
හැම වෙලාවෙම කියන්නේ අගමැතිවරයෙක් පත්කර ගන්න ඕනෑ කියලා. නව අගමැතිවරයෙක් පත්කර ආණ්ඩුවක් හදාගත්තොත් උත්තර ලැබෙයිද?


පිළිතුරු:-
අපි මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පිළිතුරු දී තිබෙනවා. අපිට අපි කැමති ඇමති මණ්ඩලයක් මේ පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්න අවස්ථාව දෙනවා නම්, අපි ඒ අභියෝගය භාරගන්න ලැහැස්තියි. එසේ නොවී වෙන කණ්ඩායමක් විසින් ආණ්ඩුවක් හදාගන්නවා නම්, ඒ ආණ්ඩුව කොපමණ කාලයකට සීමා වෙනවාද? ඔවුන්ගේ වැඩසටහන මොකක්ද කියලා ඉදිරිපත් කරනවා නම්, විපක්ෂයේ සිට ඒ කෙටිකාලීන වැඩසටහනට සහයෝගය දෙන්න අපි ලැහැස්තියි.

රනිල් වික්‍රමසිංහටත් අපි කීවේ ඒක. ඔහුගේ වැඩසටහන මොකක්ද එය අවසන් කරන නිශ්චිත කාලය මොකක්ද නොකියා ආණ්ඩුවේ රැඳී ඉන්න ඔහුට අයිතියක් නැහැ. හෙට ගොඩනැගෙන ඕනෑම ආණ්ඩුවකටත් අපි ඉදිරිපත් කරන්නේ ඒකයි. මෙම ස්ථාවරයේ සිට ඒ ඕනෑම ආණ්ඩුවකට සහයෝගය දෙන්න අපි සූදානම්.


(lankatruth.com)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්