සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බාධක නීත්‍යානුකූලව ඉවත් වනු ඇත. 


සිංගප්පූරු වැසියන් සමලිංගික ලිංගික තහනම අවසන් බව දැන ගන්නා මොහොත


වසර ගණනාවක් තිස්සේ පැවති උණුසුම් විවාදවලින් පසුව එළඹි මෙම තීරණය අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් විසින් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලදී.

සිංගප්පූරුවේ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBT) ක්‍රියාකාරීන් මෙම පියවර අගය කර ඇත්තේ එය 'මනුෂ්‍යත්වය ලද ජයග්‍රහණයක්' ලෙස දක්වමිනි.

නගර රාජ්‍යයයක් වන සිංගප්පූරුව, එහි වන සම්ප්‍රදායික සහ ගතානුගතික ඇගයුම් සඳහා ප්‍රසිද්ධ නමුත්, යටත් විජිත යුගයේ පනවන ලද 377A නීතිය අහෝසි කරන ලෙස ඉල්ලන පිරිස් මෑත යුගයේදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව, තායිවානය සහ තායිලන්තයට පසුව, LGBT අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රගතිශීලී වෙනසක් කරා ගමන් කරමින් සිටින ආසියාවේ නවතම රට බවට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.

 

එරට රජයේ මෙයට පෙර ස්ථාවරය වී තිබුණේ පුරුෂයන් - පුරුෂයන් අතර ලිංගික සබඳතා තහනම් කරන 377A නීතිය දිගටම තබා ගැනීමයි. එහෙත් සියල්ලන්ට එකඟ වීමට හැකි තීරණයක් ලෙස එම නීතිය ක්‍රියාත්මක නොකරන බවට ද රජය පොරොන්දු වී තිබුණි.

නමුත් ගෙවී ගිය ඉරිදා රාත්‍රියේදී සිය රටවැසියන් අමතමින් අගමැති ලී පැවසුවේ "මෙය කළ යුතු නිවැරදි දෙයයි. එමෙන් ම එය බහුතර සිංගප්පූරු වැසියන් විසින් පිළිගන්නා දෙයකි යි අප විශ්වාස කරන බැවින්", මෙම නීතිය අහෝසි කරන බවයි.

"සමලිංගික පුද්ගලයින්ට දැන් වඩා හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇත. එමෙන් ම 377A ඉවත් කිරීම මඟින් රටේ නීති වර්තමාන සමාජ සදාචාරයන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන වන බැවින් සමලිංගික සිංගප්පූරු වැසියන්ට ඉන් සහනයක් ලැබෙනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි" යි ඔහු සඳහන් කළේ ය.

"වෙනස්කොට සළකන යල් පැන ගිය මෙම නීතිය අවසානයේ නීති පොතෙන් ඉවත් වීම ගැන අපි සතුටට පත්වෙනවා. එයට තරමක දිගු කාලයක් ගත වුණු බව කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එය සිදු විය යුතු දෙයක් බව ඔබ දන්නවා. අද අපි හරිම සතුටුයි. අපි අවසානයේ එය සිදු කළා " යි සමලිංගික ක්‍රියාකාරිකයෙකු වන ජොන්සන් ඔන් බීබීසීයට පැවසීය.

සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBT) හිමිකම් කණ්ඩායම්වල එකමුතුවක් මෙය හැඳින්වූයේ "බිය පරදවා ආදරය ලැබූ සුවිශාල ජයග්‍රහණයක්" ලෙසට ය. එමෙන්ම එය පූර්ණ සමානාත්මතාවය පිළිගන්නා සමාජයක් සඳහා වන පළමු පියවර ලෙසට ද ඔවුන් විසින් හඳුන්වා දී තිබුණි.

එහෙත් අගමැති ලී ගේ කතාවේදී සඳහන් වූ තවත් කරුණක් ගැන ඔවුන් සිය කනස්සල්ල පළ කර තිබේ.

විවාහය යනු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර සිදුවන්නක් ලෙස අර්ථ දැක්වීම සඳහා වඩා හොඳ නීතිමය පසුබිමක් සම්පාදනය කරන බවටද අගමැති ලී සිය කතාවේදී සඳහන් කර තිබුණි. මෙමඟින් සමලිංගික විවාහ නීතිගත කිරීම වඩාත් දුෂ්කර වනු ඇත.

සිංගප්පූරුව තවදුරටත් සාම්ප්‍රදායික සමාජයක් ලෙස පවතින අතර පවුල් සහ සමාජ සම්මතයන් එලෙසම පවත්වා ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

මෙය 'කලකිරවනසුළු දෙයක්' ලෙසට හැඳින්වූ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරීන්, මෙයින් සිදු වන්නේ වෙනස්කොට සැලකීම තවදුරටත් ත්‍රීව‍ වීම පමණක් බවත් කියා සිටියහ.


මේ අතර, 'Protect Singapore' නම් සම්ප්‍රදායික කණ්ඩායමක්, මෙම තහනම ඉවත් කිරීම ගැන සිය අප්‍රසාදය පළ කර තිබේ. මෙයින් බහුතර සමාජයට එල්ල වන බලපෑම පිළිබඳව "විස්තීරණ ආරක්ෂණ" සහතිකයක් නොමැතිව මෙම නීතිය අවලංගු කිරීම පිළිබඳව තමන් "දැඩි කලකිරීමකට" පත්වන බව ඔවුන් කියා සිටිති.

විෂමලිංගිකයින් අතර ඇතිවන විවාහය පිළිබඳ නිර්වචනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්පූර්ණයෙන් තහවුරු කරන ලෙසට මෙන් ම, දරුවන්ට 'LGBT ප්‍රවර්ධනය' කිරීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙසටත් ඔවුන් සිංගප්පූරු රජයෙන් ඉල්ලා සිටිති.


සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයින් වෙත දක්වන සහයේ වැඩි වීමක්

සිංගප්පූරුවට 377A උරුම වූයේ බ්‍රිතාන්‍යයන්ගෙන් වන අතර, 1965 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව ද එය වෙනස් නොකර තබා ගැනීමට එරට රජය කටයුතුකර තිබුණි.

මෙම නීතිය පුරුෂයන් අතර ලිංගික සේවනය අපරාධයක් ලෙස සලකන්නක් වුවද, එය සැලකෙන්නේ සමලිංගිකත්වය තහනම් කිරීමක් ලෙසට ය.

මෙම නීතිය මෑත වසරවලදී සක්‍රීයව බලාත්මක කර නොමැති අතර, සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයින්ගේ රාත්‍රී සමාජශාලා ද ඇතුළුව, සමලිංගිකයන්ට වඩා යහපත් ලෙස සමාජයේ ඉඩ ලබාදීම සිංගප්පූරුව තුළ වර්ධනය වෙමින් තිබේ.

නමුත් මෙම පවත්වාගෙන යාම මඟින් සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට එරෙහි සමාජ මතය ප්‍රවර්ධනය වන බවත්, මෙය සිංගප්පූරු ව්‍යවස්ථාවේ ඇති 'වෙනස්කර සැළකීම තහනම්' යන වගන්තියට පටහැනි බවත් පවසමින් LGBT ක්‍රියාකාරීන් විසින් දිගු කලක් තිස්සේ 377A ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර, එමඟින් සමලිංගිකයන්ගේ ජීවිතවල අනෙකුත් පැති කෙරෙහි ද සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙන බවත් ඔවුන් විසින් පෙන්වා දී තිබුණි.


උදාහරණයක් වශයෙන්, 'සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක්' ලෙසට සලකනු ලබන ඕනෑම දෙයක් සිංගප්පූරුවේ විකාශය කිරීම තහනම් කළ හැකි අතර, එම හේතුවෙන් පසුගිය කාලයේ ඇතැම් රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට වාරණයට ලක් විය.


විවෘත මෙන්ම විවිධාංගිකරණ සහිත ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පුරුව දක්වන ප්‍රතිරූපයට මෙම නීතිය පටහැනි වන අතර, සිංගප්පුරුවේ පිහිටි බහුජාතික සමාගම් පවසා ඇත්තේ දක්ෂයින් ආකර්ෂණය කර ගැනීමේ ඔවුන්ගේ උත්සාහයට මෙම නීතිය බාධාවක් වී ඇති බවයි.

සිංගප්පූරුවේ බොහෝ දෙනෙක් තවමත් 377A බලාත්මකව තබා ගැනීම කෙරෙහි සිය සහය පළ කරන නමුත් එය අහෝසි කිරීම සඳහා වන ඉල්ලීම් මෑත වසරවලදී ඉහළ ගොස් තිබේ.

එමෙන් ම LGBT අයිතිවාසිකම් සඳහා සමාජීය සහයෝගය වැඩිවන ආකාරයත් සමීක්ෂණ මඟින් පෙන්වා දී තිබේ.

එමෙන් ම LGBT ක්‍රියාකාරීන් මෙන්ම වැඩි වශයෙන් ම විවිධ ආගමික කණ්ඩායම් නියෝජනය කරන සම්ප්‍රදායික මත දරන්නන් ද ඇතුළුව ප්‍රති මත දරන්නන්ද මෙම ගැටලුව පිළිබඳව තමන්ගේ අදහස් දක්වමින් මෙම නීතිය ඉවත් කිරීමට මෙන් ම තවදුරටත් තබා ගැනීමටත් පක්ෂව සිය ස්ථාවරයන් ශක්තිමත් කර තිබේ.



සිංගප්පූරුව තුළ විරෝධතා සහ දේශපාලන රැස්වීම් දැඩි ලෙස නියාමනය කර ඇති මුත්, සෑම වසරකම LGBT ක්‍රියාකාරීන් විසින් එරට විශාලතම සිවිල් සමාජ රැලිය වන Pink Dot පවත්වනු ලබන්නේ දස දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.

 

මේ අතර, සම්ප්‍රදායික කණ්ඩායම්, ගතානුගතික සාරධර්ම ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණ සහ වැඩසටහන් සංවිධානය කර තිබේ. ඇතැම් පල්ලි මතභේදයට තුඩු දෙන ආකාරයේ සමලිංගිකයන්ව පරිවර්තනය කිරීමේ වැඩසටහන් ද ප්‍රවර්ධනය කර ඇත.

පසුගිය ඉරිදා සිය කතාවේදී, අගමැති ලී මෙම කණ්ඩායම් දෙකටම මේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් බලන ලෙස ඉල්ලීම් කළේය.

සිය ජාතික දින දේශනයේදී ඔහු කියා සිටියේ "සියලු කණ්ඩායම් එකිනෙකා කෙරෙහි තේරුම් ගැනීමෙන් යුතුව සංයමයෙන් කටයුතු කළ යුතුයි. අපට ජාතියක් වශයෙන් ඉදිරියට යා හැකි එකම මාර්ගය වන්නේ එයයි" යන්න යි.

crygrftyසිංගප්පූරුවේ LGBT ක්‍රියාකාරීන් 377A අවලංගු කරන ලෙස නිරන්තරයෙන් ඉල්ලා ඇත.


බ්‍රිතාන්‍යයන්ගෙන් ලද උරුමය

377 හා සමාන නීති සහිත එකම පැරණි යටත් විජිතය සිංගප්පූරුව නොවන අතර එයට සමාන නීති ආසියාවේ, අප්‍රිකාවේ සහ ඕෂනියාවේ බොහෝ ප්‍රදේශවල තවමත් පවතී.

එය 19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාවට බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් නීතියක් වන අතර, එමගින් "ඕනෑම මිනිසෙකු, කාන්තාවක් හෝ සතෙකු සමඟ ස්වභාවධර්මයට එකඟ නොවන ලෙස සිදු කෙරෙන ලිංගික සංසර්ගය" තහනම් කර තිබේ.

බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ පාලනය යටතේ පැවති අනෙක් යටත් විජිතවල අපරාධ නීති සංග්‍රහයන් සකස් කරන ලද්දේ ඔවුන් ඉන්දියාව සඳහා සකස් කළ දණ්ඩ නීති සංග්‍රහය පදනම් කරගෙන වීම නිසා එය ඉතා ඉක්මනින් අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත විය. ශ්‍රී ලංකාව, කෙන්යාව, මැලේසියාව සහ මියන්මාරය වැනි පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත කිහිපයක් ම තවමත් 377 අනුවාදයක් පවත්වාගෙන යති.



ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය "ස්වභාවධර්මයට එකඟ නොවන ලෙස සිදු කෙරෙන ලිංගික සංසර්ගය" අපරාධයක් ලෙස සලකන අතර ඒ සඳහා වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය.


සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර් ලිංගික (LGBTI) පුද්ගලයින්ට වෙනස් කොට සැලකීම ව්‍යවස්ථා විරෝධී බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවයේ විධිවිධාන යටතේ LGBTI පුද්ගලයින් ආරක්ෂා කර ඇති බවත් 2014 දී රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇත.

මෙම වසර 135 ක් පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිත නීතිය සමලිංගික ක්‍රියාවන් අපරාධයක් බවට පත් කිරීම පොත්වල පවතී; කෙසේ වෙතත්, මෙම නීතිය භාවිතා නොකරන අතර නිද්‍රා නීතියක් ලෙස ශ්‍රී ලංකාව තුළත් පවතින බවට නීතිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවසා ඇත.

එහෙත් සමලිංගික හැසිරීම් පිළිබඳ සාක්ෂි සැපයීමේ උත්සාහයක් ලෙස ශ්‍රී ලංකා බලධාරීන් 2017 සිට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකුට බලහත්කාරයෙන් ගුදමාර්ගය පරීක්‍ෂා කිරීම සහ බලහත්කාරයෙන් යෝනි පරීක්‍ෂා කිරීම ඇතුළත් ශාරීරික පරීක්ෂණවලට ලක් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සහ ඊක්වල් ග්‍රවුන්ඩ් 2020 වසරේදී ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2018 දී ඓතිහාසික තීන්දුවක් ගනිමින් 377 අහෝසි කරන ලද අතර, එය, අනෙකුත් පැරණි යටත් විජිතයන් ද ඉන්දියාව අනුගමනය කරමින් 377 අහෝසි කරනු අතැයි සමාජ ක්‍රියාකාරීන් තුළ බලාපොරොත්තු ඇති කළේ ය.

මෑත වසරවලදී, ආසියාවේ අනෙකුත් රටවල් ද සමලිංගික විවාහ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.

2019 වසරේදී තායිවානය සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට බවට පත් වූ අතර, තායිලන්ත රජය පසුගිය ජුනි මාසයේදී සමලිංගික කණ්ඩායම්වලට අවසර දෙන නීති කෙටුම්පත් සඳහා සිය අනුමැතිය ද ලබා දුන්නේ ය.

 SG Boys යනු සිංගප්පූරුවේ පළමු LGBTQ පොඩ්කාස්ට් වේ


(BBC සිංහල සේවය)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්